ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු ජාතික වාර්තාව අනිතාගෙන්

169

අද (22) මාතර කොටවිල දී ආරම්භ වූ 43 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු ශ්‍රී ලංකා ජාතික වාර්තාව බිහි කරන්නට ශ්‍රී ලංකාවේ කාන්තා රිටි පැනීමේ ඉසව්වේ පෙරළිකාර ක්‍රීඩිකාවක් වන අනීතා ජෙගතීස්වරන් සමත් විය. එහි දී අනීතා විසින් අලුත් කරනු ලැබුවේ මීට පෙර ඇය විසින්ම තබා තිබූ වාර්තාවයි.

ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් තරග මාතර දී

43 වන වරට පැවැත්වෙන ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් මහා තරග එළඹෙන 22 වැනි දා සිට 24 වැනි දා..

පසුගිය වසරේ දී ද යාපනයේ පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලේ ආරම්භක දිනයේ දී ම තරගාවලියේ පළමු ජාතික වාර්තාව බිහි කරන්නට සමත් වූ අනීතා ඒ අනුව මෙවර ද එම දක්‍ෂතාවය මාතර දී දක්වන්නට සමත් විය. ඒ අනුව ඇය විසින් මීට පෙර තබා තිබූ ජාතික වාර්තාව සෙන්ටි මීටරයකින් අභිබවමින්, මීටර 3.48ක දක්ෂතාවයක් දක්වමින් නව ජාතික වාර්තාවක් පිහිටුවන්නට අනීතා සමත් විය. ඒ අනුව උතුරු පළාත නියෝජනය කරමින් තරගාවලිය සඳහා සහභාගී වූ ඇය කාන්තා රිටි පැනීම ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නා ලදි.

කොටවිල ප්‍රදේශය සහ ඒ අවට මේ වන විට තරමක් ඉක්මණින් වෙනස් වන සුළු කාලගුණ තත්වයක් පවතින අතර විටෙක අධික වැසි ඇද හැලුණු නමුත් පසුව දැඩි අව් රශ්මිය පතිත වන්නට විය. ඒ අනුව අනීතා මීටර 3.45ක පැවති තරගාවලි වාර්තාව පසුකිරීමෙන් අනතුරුව ක්‍රීඩාංගණයට වර්ෂාව අද හැලෙන්නට වූ අතර ඒ වන විට ලබා දී තිබූ උස ප්‍රමාණයන් ඉතා පහසුවෙන් අභිබවමින් සිටි අනීතාගේ ක්‍රීඩා විලාශයට එය බාධාවක් විය. නමුත් මිනිත්තු කිහිපයකට පසුව වර්ෂාව පහව යාමත් සමඟ තරගය නැවතත් ආරම්භ වූ අතර එහි දී මීටර 3.48ක උස ප්‍රමාණය සඳහා ඇය ගත් පළමු උත්සාහය අසාර්ථක විය. නමුත් දෙවැනි උත්සාහයේ දී එම උස ප්‍රමාණය සාර්ථකව අභිබවන්නට අනීතා සමත් වූයේ පැවති ශ්‍රී ලංකා වාර්තාව ද අලුත් කරමිනි.

ජාතික වාර්තාව අලුත් කිරීමෙන් අනතුරුව ඇය ආසියානු තරග සඳහා සුදුසුකම් ලබා ගැනීමේ උස ප්‍රමාණය වන මීටර 3.50 සඳහා උත්සාහ කළ නමුත් එහි දී ඇය ලබාගත් උත්සාහයන් 3ම අසාර්ථක විය. නමුත් ඇද හැලුණු අධික වර්ෂාව නිසා දිවයාමට තිබූ මාර්ගය ඉතා තෙත බරිත වී තිබූ අතර පිනුම ලබාගැනීම සඳහා වූ ප්‍රදේශය ද මඩ සහිත තත්වයක පැවති බව සඳහන් කළ යුතුය.

සිය ජයග්‍රහණයෙන් අනතුරුව ThePapare.com සමඟින් අදහස් දැක්වූ අනීතා පවසා සිටියේ;

“ජාතික වාර්තාව අලුත් කිරීමට ලැබීම ලොකු සතුටක්. නමුත් මගේ ඉලක්කය වෙච්ච මීටර 3.50 ක උස ප්‍රමාණය සාර්ථක කරගන්න බැරි වීම පිළිබඳව දුකක් තියෙනවා. නමුත් ඒ සඳහා මම ඊළඟ තරගාවලියේ දී මට හැකි උපරිමයෙන් උත්සාහ කරනවා.”

වර්ෂාවෙන් තරගයට එල්ල වූ බාධාව පිළිබඳව විමසා සිටි විට ඇය ප්‍රකාශ කර සිටියේ;

“තරගය අතරතුර දී ඇද හැලුණු වර්ෂාව නිසා ඇගේ උණුසුම අඩුවුනා. ඊට පස්සේ ඒක ඉහළ නංවාගන්න තරමක් අමාරු වුනා. මට හිතෙන්නේ ඒ නිසා තමයි මට බලාපොරොත්තු වුන විදිහට දක්‍ෂතා දක්වන්න බැරි වුනේ. මේ වසරට තියෙන තරගාවලි දැන් ඉවරයි. නමුත් ඊළඟ වසරේ දී මම එන්නේ ලොකු බලාපොරොත්තුවක් එක්ක. ඒ ආසියානු තරග සඳහා සුදුසුකම් ලබා ගැනීමේ උස ප්‍රමාණය වන මීටර 3.50 සාර්ථක කර ගන්න එක.”

ඒ අනුව ‘යාපනයේ රිටි පැනීමේ රැජිණ’, අනීතා හට ශ්‍රී ලංකාවේ ධජය ජාත්‍යන්තර තලයට රැගෙන යාමට හැකියාව ඇති බව ඇය නැවත වරක් සනාථ කිරීමට සමත් විය. ඒ පිට පිට කිහිප වරක්ම කාන්තා රිටි පැනීමේ ඉසව්ව සඳහා වන ශ්‍රී ලංකා ජාතික වාර්තාව අලුත් කිරීමට ඇය සමත් වීමත් සමඟයි. ඒ අනුව මෙම වසර තුළ දී කාන්තා රිටි පැනීම ඉසව්ව සඳහා වන ජාතික වාර්තාව 4 වරක් අලුත් කිරීමට ඇය සමත් වී ඇත. ඒ පළමු සහ දෙවන වර ජාතික සුදුසුකම් ලබාගැනීමේ තරගවල දී, තෙවන වර ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දී සහ සිව්වන වර මෙම 43 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී ය.

ඒ අනුව අනීතා හට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා දෙමින්, ඇයගේ මෙම දේශීය ජයග්‍රහණ ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය මාර්ගය සැකසීම වගකිව යුතු බලධාරීන් සතු කාර්යයක් බව අපි මතක් කරදීමට කැමැත්තෙමු.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<