ගෙවී විය වසරේ ට්‍රැක් එකේ සිදුවුනු දෑ

276

ගතවුනු 2018 වර්ෂය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පිටියට ඉතාම සුබදායක කාල පරිච්ඡේදයක් වුනා. වසර පුරා පැවැත්වුනු තරගාවලි රැසකින් ජ්‍යෙෂ්ඨ මෙන්ම යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සුපිරි දස්කම් දැක්වීම ඊට හේතුවයි.

2018 වසරේ හොඳම මලල ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව නම් කෙරේ

2018 IAAF මලල ක්‍රීඩා සම්මාන උළෙල ඊයේ (5) දින මොනාකෝ හිදී පැවැත්වුනු…

වරෙක ආසියානු මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ බලවත්ම රටක් වූ ශ්‍රී ලංකාවට පසුගිය වසර 10 නම් එතරම් සුබදායකවූයේ නැහැ. 2007 දී දිනාගත් එක් පදක්කමක් පමණක් හැරුනු කොට ඔවුන්ට සැලකිය යුතු දස්කම් දක්වන්නට නොහැකි වුනා. කෙසේ වෙතත් මේ වසරේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුපිරි දක්ෂතා දැක්වූයේ ලාංකීය මලල ක්‍රීඩාව නිවැරදි මගට පිවිසෙමින් ඇති බවට ඉඟි පලකරමිනි.

  • ක්‍රීඩාවේ මහගෙදර යළි විවෘත වේ

වසර අටක දීර්ඝ විරාමයකට තිත තබමින් ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ මහගෙදර, එනම් සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය යළිත් වරක් ක්‍රීඩාව සඳහා විවර වුනා. එතෙක් කාලයක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් භාවිතා කළේ මලල ක්‍රීඩා ධාවන පථයකට වඩා වර්ෂා කාලයන් වල දී පිහිනුම් තටාකයක් බවට පත් වෙමින් තිබූ අබල දුබල දියගම ක්‍රීඩාංගණයයි. අලුතින් එලන ලද කෘතීම මංතීරු සමඟින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විවෘත වූ සුගතදාස ක්‍රීඩාංගණය මේ වසරේ දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ලැබුණු ලොකුම තෑග්ග යැයි පැවසීමේ වරදක් ද දක්නට නැත.

  • පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ  දී ඉතිහාසය අලුතෙන් ලියැවෙයි

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවර පැවැති 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට අමතක නොවන තරග සංචාරයක් වුනා. ඒ එහිදී ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක දිනාගත් වැඩිම පදක්කම් ගණන දිනාගත් නිසයි. සිය පදක්කම් ගොන්නට තවත් පදක්කමක් එකතු කරන්නට නොහැකි වූවද පිරිමි 100 x 4 ඉසව්වේ සයවන ස්ථානය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම නව ජාතික වාර්තාවක් පිහිටවූයේ 2015 වසරේ පිහිටුවා තිබූ වාර්තාගත තත්පර 39.38ක තරග කාලය අභිබවා තත්පර 39.08 කින් එම ඉසව්ව නිම කරමිනි.

  • දකුණු ආසියාව හොල්ලමින් තරුණ වීරයෝ එලි බසියි

තුන්වන දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය (SAJAC) පසුගිය මැයි මස කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. ඒ වසර ගණනාවකට පසු ශ්‍රී ලංකාවේ දී පවත්වනු ලැබූ පළමු ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලිය ලෙසයි. කෙසේ වෙතත් සාර්ථක තරගාවලියක් අවසන් කරන්නට ශ්‍රී ලංකා කණිෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූයේ ඉන්දියාවට හොඳ තරගයක් දෙමින් තරගාවලියේ දෙවන ස්ථානයට පත් වෙමිනි. ඔවුන්ගේ පදක්කම් මල්ලට රන් පදක්කම් 12ක් රිදී පදක්කම් 10ක් හා ලෝකඩ පදක්කම් 19ක් එකතු වී තිබුණු අතර මලල ක්‍රීඩාවේ පැහැබර අනාගතයක පෙරනිමිති පලකරමින් ඔවුන් නව තරගාවලි වාර්තා අටක් ද පිහිටුවීමට සමත් වුනා.

Video – “අභියෝගවලට මුහුණ දෙන්න ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කරගන්න ඕන”

ඕනෑම දෙයක් ජයග්‍රහණය කිරීමට හොඳ සැලැස්මක් අවශ්‍ය වෙනවා. එළඹෙන 2019…..

  • ආසියානු කණිෂ්ඨ තරග බිමේ වාර්තාගත පදක්කම් මල්ලක් (AJAC)

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දීද දස්කම් පෙන්වීමේ අරමුණින් ජපානය බලා පියාසර කළ අතර එහිදී පදක්කම් නවයක් දිනාගත් ඔවුන් සිය සාර්ථකම ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ලෙස 2018 වසරේ තරගාවලිය ඉතිහාසයට එකතු කරන්නට ද සමත් විය. රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් හතරක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ඔවුන් විසින් දිවයිනට රැගෙන ආ අතර ආසියානු ධාවන පථය හෙල්ලූ අරුණ දර්ශන පිරිමි මීටර 400 ඉසව්ව තත්පර 45.79 කින් අවසන් කරමින් රන් පදක්කමක් දිනා ගනු ලැබුවා. 17 හැවිරිදි පාරමී වසන්ති මාරිස්ටෙලා සිය හොඳම පුද්ගලික දක්ෂතාව තත්පර 15 කින් අලුත් කරමින් කාන්තා මීටර 3000 ඉසව්වේ රන් පදක්කම (10:21.54) දිනා ගත්තේ දීප්තිමත් අනාගතයක මං සළකුණු කරමිනි. සිය වයසට වඩා වසර දෙකක් වැඩිමල් ක්‍රීඩිකාවන් සමඟ තරග කරමින් ඇය එම දක්ෂතාවය පෙන්නුම් කළ අතර 2020 රන් පදක්කම වෙතට ද ඇය ඇස ගසාගෙන සිටින්නේ මුළු ආසියාවම ඈ කුමක් කරන්නේ යැයි නෙත් යොමා බලා සිටින විටදී ය.

  • යොවුන් දක්ෂයෝ තවත් පියවරක් ඉහළට

මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය සමයේ ෆින්ලන්තය වෙත පියාසර කළේ IAAF ලෝක වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වීමේ අරමුණ ඇතිවයි. පදක්කමක් සමඟින් ආපසු තම මව්‍ රට වෙත ඒමට නොහැකි වූවත් පිරිමි 400 x 4 කණ්ඩායම අවසන් මහා තරගය දක්වා දුරක් යාමට සමත් වුනේ ලෝක ශූරතාවලියක අවසන් මහා තරගයට පිවිසුණු පළමු ශ්‍රී ලංකා කණ්ඩායම බවට පත්වෙමිනි. ඔවුන් එහිදී අටවන ස්ථානය ලබමින් ඉසව්ව අවසන් කළත් මෙම තරගාවලයේ දී මුළු ආසියාවෙන්ම අවසන් මහා තරගයකට පිවිසුණු එකම කණ්ඩායම ශ්‍රී ලංකාව වීම විශේෂත්වයට කරුණක් විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<

ආසියානු ක්‍රීඩා උළලේ හොඳම දක්ෂතා මලල ක්‍රීඩා කණ්ඩායමෙන්

මෙතක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ආසියානු ක්‍රීඩා උළෙලකට ගිය විශාලම කණ්ඩායම මෙවර ඉන්දුනීසියාවට ගියේ පදක්කම් රැසක් බලාපොරොත්තුවෙන්.ක්‍රීඩකයින් 172 ක් කැන්දාගෙන යාමට නිලධාරින් 72 ක් ගියත් ඔවුන්ට යළිත් මව්බිමට පැමිණීමට සිදුවූයේ හිස් අතින්.ශ්‍රී ලංකාව වෙනුවෙන් ජවන හා පිටිය ඉසව් නියෝජනය කරන්නට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනා ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම දක්ෂතා දැක්වූ ක්‍රීඩා කණ්ඩායමයි.අවසාන මොහොතේ පදක්කමක් පෙනී පෙනී නූලෙන් පදක්කමක් ගිලිහුණු පිරිමි මීටර 400X4 ඉසව්ව ඉතා උණුසුම් වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් (3:02.74) එම ඉසව්වේ සිව්වන ස්ථානයට තරගය නිමා කළ නිසයි.සුපිරි දක්ෂතා පෙන්වූ එම කණ්ඩායමට 19 වියැති අරුණ දර්ශන හා පසිඳු කොඩිකාර යන කෝඩුකාරයින් දෙදෙනාද ඇතුලත් වීම විශේෂත්වයක්.    

ලංකා කොඩිය ඉහළටම ඔසවන්නට පාරමී සමත් වෙයි

වසරේ වටිනාම පදක්කම ලෙස ශ්‍රී ලංකාවේ පළමු යොවුන් ඔලිම්පික් පදක්කම ශ්‍රී ලංකාවට ගෙන එන්නට පාරමී වසන්ති මාරිස්ටෙලා සමත් වූයේ සුපිරි වසරකට සුපිරි අවසානයක් ලබා දෙමින් මීටර 2000 බාධක දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගන්නට පාරමී වසන්ති සමත් වීම ඇයට පමණක් නොව ඔබටත් මටත් අභිමානයක්.

කතාන්දර කොතෙක් තිබුණත් දක්ෂතා එසේ නොවේ

ආජන්ටිනාවේ දී පැවති තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 2000 බාධක…..

ඒ 2007 වසරේ IAAF ලෝක ශූරතාවයේදී සුසන්තිකා ජයසිංහ දිනූ ලෝකඩ පදක්කමට පසුව ශ්‍රී ලංකාවට හිමි වුණු පළමු අන්තර්ජාතික පදක්කමයි.17 වියැති පාරමී කෙන්යානු, ඉතියෝපියානු ක්‍රීඩිකාවන් පසු කර ඉදිරියටම දිව ගියේ ශ්‍රී ලංකාවට අභිමානයක් වෙමින්.

එම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අතර සෙනිරු අමරසිංහ හට ලෝකඩ පදක්කමක් නූලෙන් ගිලිහුණේ උස පැනීමේ ඉසව්වෙන් සිව්වන ස්ථානයට ඉසව්ව අවසන් කිරීම නිසයි.දිලාන් බොල්ගොඩ මීටර 400 ඉසව්ව හත්වැන්නා ලෙස නිමා කරද්දී ශේලින්ඩා ජැන්සන් සිය වේගයෙන් ලොවම කම්පනය කළේ අවසන් මහා තරගයට නොපිවිසුණත් දෙවන අදියරේ තරගයකදී සිය හොඳම පෞද්ගලික දක්ෂතාවය වාර්තා කරමින්.