චීන තායිපේ හමුවේ යොවුන් දළ ඇතුන් දණ ගසයි  

449

2018 ආසියානු වයස අවුරුදු 19න් පහළ රග්බි තරගාවලියේ සිය පළමු තරගය සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ රග්බි කණ්ඩායම චීන තායිපේ කණ්ඩායම හමු වූ අතර ලකුණු 18-15ක් ලෙස ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහණය උදුරා ගන්නට තායිපේ ක්‍රීඩකයින් සමත් විය.

ෆ්ලයි හාෆ් ක්‍රීඩක ඉෂාර ආබාධයකට ලක්වෙයි

වයස අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවය ආරම්භ වීමට තවත් දින…

දෙවන අර්ධයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තායිපේ ක්‍රීඩකයන්ට ප්‍රබල සටනක් ලබා දුන් නමුත් තායිපේ කණ්ඩායම උත්සාහක දිනුම් තුනක් වාර්තා කරද්දී ශ්‍රී ලංකාවට සීමාව ඉක්මවා යාමට හැකි වූයේ දෙවතාවක් පමණි. වෙන් චෙන්ග් ලින්, චෙන් කන්ග් චෑන්ග් සහ වෙයි ලුන් ලින් (Wen Cheng Lin, Cheng Kang Chang & Wei Lun Lin) තායිපේ වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කළ අතර ඉෆාම් ෆරීඩ් හා කළිඳු නන්දිල ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කරන ලදි.

තරගයේ පළමු මිනිත්තු කිහිපය ඉතා උණුසුම් වූ අතර මොහොමඩ් ශාබීර්ගේ අතපසුවීමක් නිසා චීන තායිපේ කණ්ඩායමට දඬුවම් පහරක් හිමි විය. Sean Gilgawey පහසුවෙන් ලකුණු එකතු කළේ උණුසුම් තරගයක පෙරනිමිති පෙන්වමිනි. (තායිපේ 03-00 ශ්‍රී ලංකා)

තරගයේ පෙරමුණ ගත තායිපේ ක්‍රීඩකයින් ප්‍රබල ආක්‍රමණයක් දියත් කළේ ඊළඟ මිනිත්තු කිහිපය ශ්‍රී ලංකා අර්ධයේම රැඳෙමිනි. 12 වන මිනිත්තුවේ දී ඔවුන් සාර්ථක වූයේ Cheng Kang Chang උත්සාහක දිනුම් රේඛාව ඉක්මවා ගිය නිසයි. සිය සෙන්ටර් ක්‍රීඩකයාගෙන් යොමු වුණු පන්දුව රැක ගත් Cheng Kang Chang දක්ෂ ධාවනයක යෙදෙමින් ශ්‍රී ලංකා ආරක්ෂක ක්‍රීඩකයින් සිව් දෙනෙක් මගහැරියේ තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරමිනි. පසුව පුනරූපණවල දී ඔහු පැති සීමාව ඉක්මවා ගිය බව පෙනී ගියත් ඒ වන විට විනිසුරු උත්සාහක දිනුම ලබා දී තිබුණි. එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (තායිපේ 08-00 ශ්‍රී ලංකා)     

යොවුන් රග්බි කණ්ඩායමේ සුක්කානම ගැමුණු චේතියට

වින්ග්, සෙන්ටර් මෙන්ම ෆුල් බැක් ස්ථානවල ද එක සේ දස්කම් දක්වන…

නැවත තරගය ආරම්භ වීමෙන් අනතුරුව Wei Lun Lin සිදු කළ අතපසුවීමක් නිසා ලැබුණු දඬුවම් පහරක් ජනිඳු දිල්ශාන් ප්‍රතිවාදී උත්සාහක දිනුම් සීමාව අසලින්ම පිටියෙන් ඉවතට යැව්වේ ශ්‍රී ලංකා කණ්ඩායමට අනගි අවස්ථාවක් උදා කර දෙමිනි. Line out අවස්ථාව සාර්ථක කර ගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් Rolling Maul අවස්ථාවකින් ඉදිරියට ඇදුණු අතර ඉෆාම් ෆරීඩ් සාර්ථක ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු රැස් කිරීමට සමත් විය. තුවාන් සාමිල් අමතර ලකුණු එකතු කිරීමට සමත් වූයේ නැත. (තායිපේ 08-05 ශ්‍රී ලංකා)    

පළමු අර්ධයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපවරක්ම ආක්‍රමණයන් දියත් කළත් ඔවුන්ගේ එම උත්සාහයන් අසාර්ථක කරන්නට ඉවසීමෙන් ක්‍රීඩා කළ තායිපේ ක්‍රීඩකයින් සමත් විය.

පළමු අර්ධය: චීන තායිපේ 08 (1T, 1P) – 05 (1T) ශ්‍රී ලංකාව

තරගය නැවත ආරම්භ වී මිනිත්තු පහකට පසු හිමන්ත හිරුශාන් දිනා දුන් දඬුවම් පහර තුවාන් සාමිල් දක්ෂ ලෙස ලකුණු බවට පත් කළේ තරගයේ ලකුණු සම කරමිනි. (තායිපේ 08-08 ශ්‍රී ලංකා)     

ඊට සුලු මොහොතකට පසු දඬුවම් පහරක් සීමාවෙන් ඉවතට යවමින් තායිපේ ක්‍රීඩකයින් Line out අවස්ථාවක් සාර්ථක කරගෙන තියුණු ආක්‍රමණයක නිරත වූ අතර මිනිත්තු කිහිපයක උත්සාහයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක වළලු බිඳ දැමූ Wen Cheng Lin ලකුණු රැස් කරන්නට සමත් විය. (තායිපේ 13-08 ශ්‍රී ලංකා)     

තායිපේ සංචාරයට එක්වන 19න් පහළ සංචිතය නම් කෙරේ

චීන තායිපේ හීදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු රග්බි….

තරගයේ උණුසුම දිගටම පවත්වා ගනිමින් ජනිදු දිල්ෂාන් එල්ල කළ පා පහරකින් ගුවනට ගිය පන්දුව හඹා ගිය කළිඳු නන්දිල දෙවන ශ්‍රී ලංකා උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. මුබින් ෆලීල් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේ තරගයේ පළමු වතාවට ශ්‍රී ලංකාවට තරගයේ පෙරමුණ දිනා දෙමිනි. (තායිපේ 13-15 ශ්‍රී ලංකා)     

අවසන් මිනිත්තු කිහිපයේ දී තායිපේ ක්‍රීඩක Wei Lun Lin ශ්‍රී ලංකාවෙන් තරගය උදුරා ගැනීමට සමත් වූයේ අවාසනාවන්ත ලෙසයි. Kang-Changගේ පන්දු යොමු කිරීමක් රැක ගෙන Wei Lun Lin උත්සාහක දිනුමක් වාර්තා කළේ 65 වන මිනිත්තුවේ දී. ශ්‍රී ලංකාවට ඉතා කුඩා බලාපොරොත්තුවක් ඉතිරි කරමින් එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (තායිපේ 18-15 ශ්‍රී ලංකා)       

අවසන් මිනිත්තු කිහිපයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කෙතරම් උත්සාහ කළත් තායිපේ ක්‍රීඩකයින්ගේ ආරක්ෂක වළලු බිඳ හෙළන්නට ඔවුන්ට කිසිදු අවස්ථාවක් ලැබුණේ නැත.

අවසන් ලකුණු තත්වය: චීන තායිපේ 18 (3T, 1P) -15 ශ්‍රී ලංකාව (2T, 1C, 1P)

ලකුණු රැස් කිරීම

චීන තායිපේ  

  • Cheng Kang Chang (1T), Wen Cheng Lin(1T), Wei Lun Lin (1T), Sean Gilgawey (1P)

ශ්‍රී ලංකාව

  • ඉෆාම් ෆරීඩ් (1T), කළිඳු නන්දිල (1T), තුවාන් සාමිල් (1P), මුබින් ෆලීල් (1C)

 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<