ශ්‍රී ලංකාවට එරෙහි Shubman Gill ගේ ඉන්දීය බලඇණිය

India tour of Sri Lanka

3
Cricket, 

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග ද්විත්වයකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 15 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

>>ඉන්දු – ශ්‍රී ලංකා වසර 44ක ටෙස්ට් තරග ඉතිහාසය<<

දෙරට ක්‍රීඩකයෝ මෙම තරගාවලියට එක් වෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ටෙස්ට් ශූරතාවලිය ද නියෝජනය කරමිනුයි. එම තරගාවලියේ මෙතෙක් ඉන්දියාව 5 වැනි ස්ථානයේ සිටිමින් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින අතර ශ්‍රී ලංකාවට හිමි ඇත්තේ 6 වැනි ස්ථානයයි.

ICC World Test Championship Points table
Team Mat Won Lost Tied Drawn N/R Points PCT
ඉන්දියාව 9 4 4 0 1 0 52 48.15
ශ්‍රී ලංකාව 4 1 1 0 2 0 20 41.67

තරගයට එක් වෙන සංචාර ඉන්දීය කණ්ඩායමේ නායකත්වය 26 හැවිදිරි වියේ පසුවෙන ඉදිරි පෙළ පිතිකරු Shubman Gill වෙත හිමි ව තිබෙනවා. ඔහු ශ්‍රී ලංකාවට එරෙහි ව ඉන්දීය කණ්ඩායමක් මෙහෙයවන ඉන්දීය 12 වැනි නායකයා වන අතර, ශ්‍රී ලංකාවට එරෙහි ව ටෙස්ට් තරගයකට එක් වෙන ඔහුගේ මංගල අවස්ථාව ද මෙයයි.

ඔහු මෙතෙක් මේ දක්වා ටෙස්ට් තරග 9ක දී නායකයා ලෙසින් ඉන්දීය කණ්ඩායම මෙහෙයවා ඇති අතර ඉන් තරග 5ක් ජයග්‍රහණය කරා මෙහෙයවමින් සාර්ථක නායකත්වයේ ගමනක නිරත ව සිටිනවා. ඔහුගේ නායකත්වය යටතේ පැවැති අනෙකුත් තරග අවසන් වී ඇත්තේ එක් තරගයක් විසඳුමකින් තොරව සහ ඉතිරි තරග 3 පරාජය වෙමිනුයි.

නායකත්වයේ කිරුළ පළඳිමින් පිටියට පිවිසි ඉනිම් 15 දී ඔහු විසින් ශතක 6ක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 1076ක් ලබා තිබෙනවා. එහි සාමාන්‍ය 82.76ක් ලෙසින් පවත්වාගෙන යෑමට ඔහු සමත් ව සිටිනවා. ඒ අතර ඔහුගේ ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම ලෙසින් ක්‍රීඩා කරන ලද ඉනිම ද තිබෙනවා. ඒ එංගලන්තයට එරෙහි ව  Birmingham හි දී පන්දු 387කට මුහුණ දෙමින් හතරේ පහර 30ක් සහ හයේ පහර 3ක් සමඟින් ලබා ගත් ලකුණු 269යි.

Shubman Gill ගේ අවසන් ටෙස්ට් ඉනිම් 5 තුළ ශතක ද්විත්වයක් සහ අර්ධ ශතකයක් ඇතුලත් ව තිබෙන අතර ඔහු සෑම විටක ම ලකුණු අතර සිටිමට උත්සාහ දරා තිබෙන බැව් එම දත්ත පරිශීලනය කිරීමේ දී දැකගත හැකියි.

නායකත්වය ද දරමින් 2025 වසරේ දී එංගලන්ත සංචාරයක යෙදෙන Shubman Gill, තරග 5කින් යුත් එම තරගාවලියේ දී ඉනිම 10ක දී ශතක 4ක් සමඟින් ලකුණු 754ක් ලබා ගන්නා ලද අතර එය ඉන්දීය නායකයෙක් තරගාවලියක දී ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් කරමින් එම ලැයිස්තුවේ පළමු වැනියා බවට ද පත් වුණා. ඔහු එහි දී අභිබවා යන්නේ 1978/79 තරග සමයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් තරග 6ක දී Sunil Gavaskar විසින් ලබා සිටි ලකුණු 732යි.

මෙතෙක් ටෙස්ට් තරග 41කට ක්‍රීඩා කර ඇති Shubman Gill ඉනිම් 74ක දී ශතක 11ක් සහ අර්ධ ශතක 8ක් සමඟින් ලකුණු 2968ක් ලබා සිටිනවා.

ඔහුගේ නායකත්වය යටතේ පිටියට එක් වෙන ක්‍රීඩකයන් අතුරින් KL Rahul සුවිශේෂී චරිතයක්. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 68ක ඉනිම් 119කට ක්‍රීඩා කරමින් ශතක 12ක් සහ අර්ධ ශතක 20ක් සමඟින් ලකුණු 4153ක් ලබා සිටිනවා. ඒ අතර ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 7ක ඉනිම් 11ක දී ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලබා ගත් ලකුනු 354ක් ද තිබෙන අතර කණ්ඩායමේ උප නායකත්වය ද හිමි ව ඇත්තේ ඔහුටයි. මෙවර තරගාවලියට එක් වෙන ඉන්දීය සංචිතයේ සිටින ක්‍රීඩකයන් අතුරින් වැඩිම ටෙස්ට් ලකුණුලාභියා ද වෙන්නේ ඔහුයි.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Ravindra Jadeja මෙම තරගාවලිය හා එක්වෙන්නේ පසුගිය වසර අග පැවැති දකුණු අප්‍රිකානු තරගාවලියට පසුවයි. මේ දක්වා ටෙස්ට් තරග 89ක ඉනිම් 133ක දී ශතක 6ක් සහ අර්ධ ශතක 28ක් සමඟින් ලකුණු 4095ක් ලබා සිටින Ravindra Jadeja ඒ අතර ඇති හොඳම ඉනිම ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාවට වීම විශේෂත්වයක්. ඒ 2022 වසරේ දී Mohali හි දී පන්දු 228කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලබාගත් ලකුණු 175යි.

Ravindra Jadeja තම හොඳම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළ තරගයේ ශතකය ලබා ගැනීමෙන් අනතුරුව – මාර්තු 05,2022

එම ඉනිමත් සමඟින් ඔහු ශ්‍රී ලංකාවට එරෙහි ව ටෙස්ට් තරග 7කට ක්‍රීඩා කරමින් ඉනිම 9ක දී තවත් අර්ධ ශතකයක් ද එක් ව ලකුණු 326ක් ලබා ගනිමිනුයි මෙම තරගාවලිය හා එක් වෙන්නේ.

කඩුල්ල පිටුපස දැවැන්ත මෙහෙවරක් සිදු කරන 28 වැනි වියේ පසුවෙන කඩුලු රකින්න වමත් පිතිකරු Rishabh Pant ද මෙම කණ්ඩායම හා එක් ව සිටිනවා. ඔහු මෙතෙක් ටෙස්ට් තරග 50ක ඉනිම් 87ක දී ශතක 8ක් සහ අර්ධ ශතක 19ක් සමඟින් ලකුණු 3557ක් ලබා ගනිමින් සහ කඩුල්ල පිටුපස දවා ගැනීම් 178කට දායක වෙමින් මෙම තරගය හා එක් වෙනවා.

ඔහු ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 2ක ඉනිම් 3කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 185ක් ලබා තිබෙනවා.

ඔහුට අමතර ව මෙතෙක් ටෙස්ට් තරග 29ක ඉනිම් 54ක දී ශතක 7ක් සහ අර්ධ ශතක 13ක් සමඟින් ලකුණු 2535ක් ලබා සිටිය ද තවමත් ශ්‍රී ලංකා සමඟින් ටෙස්ට් තරගයකට එක් ව නොමැති 24 වැනි වියේ පසුවෙන Yashasvi Jaiswal ද මෙම කණ්ඩායමේ අසුනක් වෙන්කර ගෙන සිටිනවා.

එමෙන් ම මෙරට පැමිණි ඉන්දීය සංචිතයට කෝඩුකාර ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ද එක් කර තිබෙනවා. ඒ අතර මෙතෙක් පළමු පෙළ තරග 54ක ඉනිම 85ක දී ශතක ද්විත්වයක් සහ අර්ධ ශතක 14ක් සමඟින් ලකුණු 2223ක් ද සහ දකුණතින් පිට දඟ පන්දු යවමින් කඩුලු 188ක් ද ලබා සිටින 33 හැවිරිදි වියේ පසුවෙන Saransh Jain, තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසින් කණ්ඩායමට එක් කර තිබෙනවා.

එමෙන් ම 32 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් වේග පන්දු යවමින් ටෙස්ට් කඩුලු 140ක් ලබා සිටින Mohammed Siraj ද, ටෙස්ට් කඩුලු 90ක් ලබා සිටින 26 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් පිට දඟ පන්දු යවන Devdutt Padikkal ද පන්දු යවන්නන්ගේ බලමුළු ශක්තිමත් කරන්නෝ ලෙසින් ඉන්දීය කණ්ඩායම හා එක් ව සිටිනවා.

මෙතෙක් පළමු පෙළ තරග 43කට ක්‍රීඩා කරමින් ඉනිම 71ක දී කඩුලු 162ක් ලබා සිටින 29 වැනි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන Auqib Nabi ද, එක්දින තරග 6කට පමණක් ක්‍රීඩා කර ඇති 26 වැනි වියේ පසුවෙන දකුණතින් වේග පන්දු යවන Gurnoor Brar ටෙස්ට් තරග පිටියට කෝඩුකාරයන් ලෙසින් ඉන්දීය කණ්ඩායම හා එක් ව සිටිනවා.

ඉන්දීය ටෙස්ට් සංචිතය

 

Shubman Gill (නායක), KL Rahul (උප නායක), Yashasvi Jaiswal, Dhruv Jurel (කඩුලු රකින්නා), Devdutt Padikkal, Rishabh Pant (කඩුලු රකින්නා), Sai Sudharsan, Ravindra Jadeja, Saransh Jain, Manav Suthar, Auqib Nabi, Gurnoor Brar, Kuldeep Yadav, Mohammed Siraj, Prasidh Krishna.

මෙම තරගාවලියේ දී සුවිශේෂී කඩඉම්වලට පිවිසිය හැකි ඉන්දීය ක්‍රීඩකයෝ

  • Shubman Gill : ටෙස්ට් ලකුණු 3000 සමාජයට එක් වීම සඳහා ඔහුට තවත් අවශ්‍ය ව ඇත්තේ ලකුණු 31ක් පමණයි.
  • Devdutt Padikkal : ටෙස්ට් කඩුලු 100ක් ලබා ගැනීමට ඔහුට අවශ්‍ය ව ඇත්තේ කඩුලු 10ක් පමණයි.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<