වර්ෂාවේ ආශිර්වාදයෙන් සිම්බාබ්වේ කණ්ඩායම අවසන් තරගයට

226
Zimbabwe vs West Indies 6th ODI tri series report
AFP PHOTO

ක්‍රිකට් ක්‍රීඩාවේදී තමන්ට වඩා ගව් ගණනක් ඉදිරියෙන් පසුවන කොදෙව් කණ්ඩායම පසුපසට ඇද දමමින් අවසන් තරගය සඳහා ඉඩකඩ වෙන්කර ගැනීමට අද (25) සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය. ඒ බුලවායෝ හිදී පැවති එක්දින තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 5කින් ජයග්‍රහණය කරමිනි.

පසුගිය ලිපි: තියුණු තරගයකින් සුපිරි ජයක් ලද ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමේ ලකුණු පුවරුව එක් අවස්ථාවක ලකුණු 89ට කඩුලු 7ක් ලෙස සටහන් වුවත්, අටවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු ලකුණු 38ක සබඳතාවයත්, නවවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු ලකුණු 91ක නොබිඳුණු සබඳතාවයත් නිසා මෙවන් විප්ලවීය ජයග්‍රහණයක් ලබා ගැනීමට පදනම සැකසිණි.

සිකන්දර් රාසා සහ ටෙන්ඩායි චිසෝරෝ අතර ගොඩ නැගුණු මෙම ලකුණු 91ක සබඳතාවය එදා මෙදාතුර සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් නවවැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වුනු හොඳම සබඳතාවය බවට පත්විය. ඒ වෙනුවෙන් රාසා හතරේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 76ක් ලබමින් තම උපරිම දායකත්වය දක්වන ලදී. චිසෝරෝ හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 42යි. ඒ අනුව සිම්බාබ්වේ ඉනිම අතරතුර වර්ෂාවෙන් සිදුවූ බාධාව නිසා කොදෙව් පිළට ජයග්‍රහණය සඳහා පන්දුවාර 49ක් තුල හිමිවූ ඉලක්කය ලකුණු 219ක් බවට පත්විය.

වැටී සිටි ආගාධයෙන් යම් තරමකට ගොඩ ඒමට සමත් වූ සිම්බාබ්වේ කණ්ඩායම, ඔවුන්ගේ සාම්ප්‍රදායික පන්දු යැවීමේ ක්‍රමවේදයද වෙනස් කරමින් අන්ත දෙකෙන්ම දඟ පන්දු යවන්නන් යොදා ගත්තේය. ඔවුන් මේ අයුරින් පන්දු යැවීම ආරම්භ කිරීමට දඟ පන්දු යවන්නන් දෙදෙනකුම භාවිතා කලේ ඔවුන්ගේ එක්දින ඉතිහාසයේ තුන්වැනි වතාවටයි. එම උපක්‍රමය සාර්ථක වූ බවට පෙරනිමිති පළකරමින් ටෙන්ඩායි චිසෝරෝ විසින් ජොන්සන් චාල්ස් සහ එවින් ලෙවිස් යන මුල්පෙළ කඩුලු 2 ඉක්මනින්ම පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.

කොදෙව් පිතිකරුවන්ට රිසිසේ පහරවල් කරා යාමට ඉඩ ප්‍රස්ථාව හිමිකර නොදුන් සිම්බාබ්වේ පන්දු යවන්නන් නිරන්තරයෙන්ම කඩුලු දවා ගනිමින් පීඩනය ඔවුන් මත පැටවීමට සමත් විය. ඒ අනුව පන්දුවාර 23ක් ගතවන තැන කොදෙව් ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 93ට කඩුලු 5ක් ලෙසයි. ඒ වන විටත් බුලවායෝ ක්‍රීඩාංගණයට මද වැස්සක් ඇද හැලෙමින් පැවතුණි.

ජයග්‍රහණය සඳහා ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කොදෙව් පිළට අවශ්‍ය කර තිබූ ලකුණු ගණන හඹා යෑමට උත්සාහ දැරූ ජොනතන් කාටර්, පන්දු 56ක් තුල නොදැවී ලකුණු 43ක් රැස්කල අතර ජේසන් හෝල්ඩර් පන්දු 17ක් තුල වේගවත් ලකුණු 22ක් එකතු කලේය. නමුත් එම සියලු උත්සාහයන් ගඟට කැපූ ඉනි බවට පත්කරමින් 28වැනි පන්දු වාරයේදී කොදෙව් පිළ ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ඩක්වර්ත් ලුවිස් ලකුණට වඩා ලකුණු 5ක් පසුපසින් සිටියදී වර්ෂාව ඇද හැලිණි. ඒ වන විට බටහිර ඉන්දීය කොදෙව් ඉනිම ලකුණු 124ට කඩුලු 5ක් ලෙස සටහන් විය.

ඉන් අනතුරුව නැවතත් තරගය ආරම්භ කිරීමේ අවස්ථාවක් හිමි නොවූ අතර නිසි කලට වැසි ලැබුණු සිම්බාබ්වේ කණ්ඩායම, ශ්‍රී ලංකාවත් සමඟ අවසන් තරගය සඳහා ඉඩ ප්‍රස්ථාව වෙන්කර ගැනීමට සමත් විය.

බිඳ වැටුනු සිම්බාබ්වේ ඉනිම නැවත පිළිසකර කරදී, අත්‍යවශ්‍යම අවස්ථාවේ කඩුලු දෙකක් ද බිඳ හෙලමින් සිම්බාබ්වේ කණ්ඩායමට නොසිතූ විරූ ජයග්‍රහණයක් හිමිකර දීමට උපකාරී වුනු ටෙන්ඩායි චිසෝරෝ තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම ලබන 27 වැනි ඉරු දින බුලවායෝ හිදී මෙම තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශූරතාවය වෙනුවෙන් එකිනෙකා සමග සටන් වදිනු ඇත.

සිම්බාබ්වේ – කඩුලු 8ක් දැවී ලකුණු 218 (පන්දුවාර 49): සිකන්දර් රාසා 76*, ටෙන්ඩායි චිසෝරෝ 42*, හැමිල්ටන් මැසකඩ්සා 20, ඈෂ්ලි නර්ස් 3/27, දේවේන්ද්‍ර බිෂූ 3/30.

බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 5ක් දැවී ලකුණු 124 (පන්දු 27.3): ජොනතන් කාටර් 43*, ක්‍රේග් බ්‍රත්වයිට් 24, ජේසන් හෝල්ඩර් 22, ශෝන් විලියම්ස් 2/18, ටෙන්ඩායි චිසාරෝ 2/23.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට