පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනා තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වූ තරගාවලිය පසු ගිය දා (05) නිමා විය. එහි දී අවසන් වටය සඳහා පිරිමි සහ කාන්තා බර පන්ති 4ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු තරග වැදුණි.

ඉන් ජයග්‍රහණ ලබා ගන්නට ක්‍රීඩකයන් තිදෙනෙකුත්, එක් ක්‍රීඩිකාවකුත් සමත් විය. මේ එම මූලික සංචිතය ගැන කෙරෙන කෙටි විපරමකි.

සංජය බණ්ඩාර – පිරිමි කි.ග්‍රෑ. 46-49 ලයිට් ෆ්ලයි වෙයිට් බර පන්තියSanjaya

මෙම බර පන්තියේ අවසන් වටයට එක්ව සිටියේ රාජකීය විද්‍යාලයේ ඒ. අල්තාෆ් සහ ධීරානන්ද විද්‍යාලයේ සංජය බණ්ඩාර යි. එහි දී විනිසුරු විසින් තරගය නතර කරන තෙක් ප්‍රතිවාදියාට පහර දුන් බණ්ඩාර ජය ගත්තේය.

බණ්ඩාර, ශක්තිමත් මනසකින් යුත් ක්‍රීඩකයෙකු බව ඔහුගේ මුල් තරග කිහිපයේදීද දක්නට ලැබුණි. විශේෂයෙන්ම හොරණ විද්‍යාරතන විද්‍යා පීඨයේ ක්‍රීඩක ජේ. කුමාරට එරෙහි තරගයේ දී බණ්ඩාරගේ මානසික ඒකාග්‍රතාවය මැනවින් ඔප්පු වූයේ කායික වෙහෙස විඳදරා ගනිමින් තරගය අවසන් වන තෙක්ම ප්‍රතිවාදියා පෙලන්නට ඔහු සමත් වීම නිසායි.

පිළිමතලාව ධීරානන්ද මහා විද්‍යාලයෙන් බොක්සිං පිටියට පිවිස ඇති සංජය බණ්ඩාර, මේ වනතෙක් සමස්ත ලංකා තරගාවලි කිසිවක් තුළ දී පරාජයට පත්වී නැත. සමස්ත ලංකා බොක්සිං තරගාවලි තුළ දී රන් පදක්කම් 6කට හිමිකම් කියන්නට ද ඔහු සමත්ව ඇත.

“එයාගේ වයස් මට්ටමේ වැඩිම රන් පදක්කම් තියෙන්නේ එයාටයි. ඒත් පිටරටක සංචාරයක් සඳහා එකතු වෙන්න ඔහුට අවස්ථාවක් ලැබුණේම නෑ. මොකද, සුදුසුකම් ලැබීමේ තරගාවලියක් පැවැත්වුණේම නෑ. මේ සැරේ තමයි එයාට මේ අවස්ථාව ලැබුණේ.” සංජය ගැන එසේ අදහස් පලකළේ ඔහුගේ රසිකයෙකු වන පල්ලේබෝවල විද්‍යාලයේ බොක්සිං පුහුණුකරු ජමිත ගයාන් ය.

විදේශ සංචාරයක් සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා බොක්සිං සංගමය මෙවර තීරණය කළේ 2017 පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමිනි. ඒ පළමු අවස්ථාවේ දී ම අවධානය තමා වෙත ලබා ගන්නට සංජය බණ්ඩාර සමත් විය.

“ඔහු මේ රටට පදක්කමක් ගේන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඔහු ලබා ගත් සියලු රන් පදක්කම් ලබා ගත්තේ සාධාරණව ක්‍රීඩා කරලා.” ජමිත, තවදුරටත් ඒ යොවුන් ක්‍රීඩකයා ගැන අදහස් දැක්වූවේය.

කෙවින් ප්‍රියසිංහ – පිරිමි, කි.ග්‍රෑ. 52 (ෆ්ලයි වෙයිට්) බර පන්තිය

Kevinෆ්ලයි වෙයිට් බර පන්තියෙන් අවසන් වටයට එක්වූයේ රාජකීය විද්‍යාලයේ කෙවින් ප්‍රියසිංහ සහ සාන්ත ජෝන් විදුහලේ එස්. හේමජිත් ය. එහි දී ජූරියේ 4-1ක බහුතරයකින් ජය ලබන්නට කෙවින් සමත් විය.

දිවයිනේ ප්‍රමුඛතම බොක්සිං තරගාවලියක් වන “ස්ටබ්ස් පලිහ” තරගාවලියේ දී රන් පදක්කම් දෙකක්ම ලබාගෙන ඇති කෙවින්, අභිමානවත් රාජකීය විදුහල් බොක්සිං ඉතිහාසය තුළ උපන් තවත් බොක්සිං ශූරයෙකි. සාරවත් බොක්සිං උරුමයක් සහිත රාජකීය විද්‍යාලය, මෙතෙක් ශ්‍රී ලංකාවට එඩී ග්‍රේ වැනි ඔලිම්පික් බොක්සිං ක්‍රීඩකයන් පවා නිර්මාණය කොට දී ඇත.

“සමස්ත ලංකා තරගාවලි 5ක රන් පදක්කම් ජයග්‍රහණ වලින් පස්සේ 6 වෙනි තරගාවලියේ දී තමයි ඔහුට මේ අවස්ථාව ලැබුණේ. මොකද තරගාවලි තිබුණෙ නැහැ. ඒත් ඔහු ලොකු කැපවීමකින් ක්‍රීඩා කළා.” ඔහුගේ පුහුණුකරු අබ්දුල්ලා ඉබුනු කීවේය.

“කලින් ගහපු තරගාවලි වලට වඩා මේක තරගකාරියි. ක්‍රීඩකයෝ ගොඩක් දියුණු වෙලා. පුහුණුකරුවන්ගේ කැපවීමත් එක්ක අපට මාස එක හමාරක් වගේ කාලෙක දී මේ තත්වෙට එන්න ලැබුණා.” කෙවින්, ThePapare.com සමඟින් අදහස් පලකළේ එසේය. බොහෝ විට, මේ සංචිතයෙන් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල තරණය කරන ක්‍රීඩකයන් දෙදෙනා අතරින් ඔහු එක් අයෙකු වේ යැයි සාධාරණ විශ්වාසයක් ඇති කර ගත හැක.

“අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර පදක්කමක් ගේන්න පුළුවන් ක්‍රීඩකයෙක් තමයි මේ.” අබ්දුල්ලා, ඔහු ගැන පසුවන්නේ දැඩි බලාපොරොත්තුවකිනි.

කෙවින්ගේ පහර දීමේ දක්ෂතාවයත්, ඉක්මණින් පහර මඟ හැරීමේ දක්ෂතාවයත්, නොසැලෙන මනසත් යන තුනම එක්වුවහොත් අබ්දුල්ලාගේ ඒ බලාපොරොත්තුව සැබෑවක් වනු ඇතැයි ධනාත්මකව සිතිය හැක.

වී.හෙට්ටිආරච්චි – පිරිමි, කි.ග්‍රෑ. 56 (බැන්ටම් වෙයිට්) බර පන්තිය

Hettiරාජකීය විද්‍යාලයේ වී. හෙට්ටිආරච්චිට එරෙහිව මෙම බර පන්තිය වෙනුවෙන් තරග වැදුණේ ධීරානන්ද විද්‍යාලයේ සී. ඒකනායක යි. එහි දී 3-2ක ජූරි බහුතරයක් සමඟින් හෙට්ටිආරච්චි ජය ගත්තේය.

හෙට්ටිආරච්චිගේ විශේෂ දක්ෂතාවයන් වන්නේ ඉක්මන් මඟහැරීම් සහ වළක්වා ගැනීම් ය. ඔහුගේ ඒ දක්ෂතාවයන් මැනවින් ඔප්පු කිරීමට ඔහුට අවසන් තරගයේ දී ඉඩ ලැබුණේ ඒකනායකගේ ඉක්මන් ප්‍රහාරයන් සහ වේගවත් ප්‍රතිප්‍රහාරයන් වළක්වා ගනිමිනි. රාජකීය බොක්සිං කණ්ඩායමෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල වෙත යන්නන් තෝරා ගැනෙන මූලික සංචිතයට ඇතුළත් වූ දෙවැන්නා ඔහු ය.

“මගේ ක්‍රීඩකයන් දෙදෙනාම සංචාරයට එක්වෙන්න සුදුසුයි.” කෙවින් ගැන මෙන්ම හෙට්ටිආරච්චි ගැන ද රාජකීය විද්‍යාලයීය පුහුණුකරු අබ්දුල්ලාගේ සිතෙහි බලාපොරොත්තුවක් ඇත.

“අපි ලොකු ඉතිහාසයක් තියෙන කණ්ඩායමක්. ඉතින් මම හිටියත් නැතත් මේ ක්‍රීඩකයන් රාජකීය උරුමය ඉදිරියට රැගෙන යාවි.” හෙට්ටිආරච්චි ගැන විමසීමේ දී, ආදී රාජකීයයෙකු වන අබ්දුල්ලා එසේ පිළිතුරු ලබා දුන්නේය.

එරංගා ප්‍රියදර්ශනී – කාන්තා, කි.ග්‍රෑ. 48-51 (ෆ්ලයි වෙයිට්) බර පන්තිය

Erangaසුදුසුකම් ලැබීමේ තරගවලට කාන්තා අංශයේ නියෝජනයකුත් එක්කරමින් මෙම බර පන්තියේ අවසන් තරගයට ඉංගිරිය ගාමිණී විද්‍යාලයේ එස්. කුමාරි සමඟින් සටන් වැදුණේ පල්ලේබෝවල විද්‍යාලයේ එරංගා ප්‍රියදර්ශනී ය. එහි දී ජූරියේ 3-2ක තීරණයකින් ප්‍රියදර්ශනී ජය ලැබුවාය.

හඟුරන්කෙත නගරයේ දුෂ්කර ගම්මානයක් වන පල්ලේබෝවල ප්‍රදේශයේ උපත ලද ඇයට දරා ගැනීමේ හැකියාව සහ ශක්තිය උපතින්ම උරුමව ඇත.

“2014 දී තමයි ඒ ඉස්කෝලේ බොක්සිං ක්‍රීඩාව ආරම්භ වුණේ. ඒ අවුරුද්දේම සමස්ත ලංකා රන් පදක්කමක් දිනා ගන්න ඇයට හැකිවුනා. ඇයගේ දරා ගැනීම ඉතා ඉහලයි.” ඇය ගැන එසේ අදහස් දැක්වීමට එක්වූයේ පිළිමතලාව ධීරානන්ද විද්‍යාලයේ බොක්සිං පුහුණුකරු කේ. සුනිල් ය. විනාඩි දෙකකට සීමා වූ කාන්තා බොක්සිං වටයකට තවත් විනාඩියක කාලයක් මෙම තරගාවලියේ දී එක්කොට තිබුණු බැවින් දරා ගැනීම අත්‍යාවශ්‍ය සාධකයක් විය.

ඇයගේ පුහුණුකරු, ජමිත ගයාන් ද මීට සම්බන්ධ කර ගැනීමට අපට හැකිවිය.

“අපට ලොකු පහසුකම් නැතුවයි අපි මේ හැමදේම ලබා ගත්තේ. දවස් තුනක්ම අපේ වියදමින් කෑම බීම ලබාගෙන මේ තරගයට ඇයව සහභාගී කරලා අපි ජයග්‍රහණය කළා. 2014, 2015 සමස්ත ලංකා තරගාවලියේ දී වගේම මේ අවුරුද්දෙත් ඇය රන් පදක්කම දිනා ගත්තා.” ඔහු කියා සිටියේ සතුටිනි.

“ඇයව කොහොමහරි මේ තරගාවලියට සහභාගී කළ යුතුයි. එක් ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක් යන බව තමයි අපට තරගාවලියට කලින් කිව්වේ. ඉතින් කිලෝ ග්‍රෑම් 7ක්ම බර අඩු කරගෙන, මේ බර පන්තියේ ගිය අවුරුද්දේ දක්ෂතම ක්‍රීඩිකාවට තමයි ඇය පහර දුන්නේ.” ඔහුගේ ඒ අදහසත් සමඟින් කුමක් හෝ මතභේදයක සේයා ද දක්නට හැකි වූ අතර ඒ පිළිබඳව අපි ඔහුගෙන් විමසා සිටියෙමු.

“කිලෝ ග්‍රෑම් 7ක් බර අඩු කරනවා කියන්නේ කොච්චර අමාරු වැඩක් ද කියලා මේ ක්‍රීඩාවේ ඉන්න අය දන්නවා. ඒත් ඇය ජය ගත්තා. ඉතිං ඇය මේ තරගාවලියට සුදුසු බව ඔප්පු කරලා තිබුණත් ක්‍රීඩිකාවක් නැතිව ක්‍රීඩකයන් දෙදෙනෙක් විතරක් සංචාරයට එක්වෙන බවට අහන්න ලැබෙනවා. ඉතින් ඒක ලොකු අසාධාරණයක්. ඇයගේ ක්‍රීඩා අනාගතයටත් අධ්‍යාපනයටත් ඒක බලපාන්න පුළුවන්.” ඔහු කීවේ කණගාටුවෙනි.

දේශීය ක්‍රීඩාවේ සුපුරුදු මතභේදාත්මක තත්වය යළි උද්ගත වන මේ මොහොතේ දී ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සාධනීය පිළියමක්‌ යොදා ගෙන එය වළකාගනු ඇතැයි ද මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා අනාගතයසුරක්ෂිත කරනු ඇතැයිද අපගේ බලාපොරොත්තුවයි.    

2017 පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල, එළඹෙන ජූනි මාසයේ දී බහමාස් රාජ්‍යයේ දී ඇරඹීමට නියමිතය. ක්‍රීඩාශීලීත්වය සෑම විටම අගය කරන ThePapare.com අපගේ පැතුම වන්නේ ඊට සුදුසුම ක්‍රීඩක යුගලය තේරීපත්වී ශ්‍රී ලංකාවට පදක්කමක් හෝ දෙකක්ම ලැබේවා යන්නයි. .

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට