දුනු විදීමේ ලෝක ශූරතාවයට ලංකාවෙන් 3ක්

226

ඇමරිකාවේ පැවැත්වෙන Yankton 2021 දුනු විදීමේ ලෝක ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (20) විශේෂ පුහුණුවිම් සැසියකට සහභාගී වීමට නියමිත ය.

තිදෙනෙක්ගෙන් යුත් ශ්‍රී ලංකා දුනු විදින්නන්ගේ කණ්ඩායම පසුගිය දා මෙරටින් පිටත්ව ගිය අතර තරගාවලිය මේ මස 21 වැනිදා සිට 26 වැනිදා දක්වා ඇමරිකාවේ Yankton නගරයේ දී පැවැත්වීමට නියමිත ය. මෙවර මෙම ශූරතාවලිය පැවැත්වෙන්නේ 51 වැනි වරට ය.

තරගාවලියට ශ්‍රී  ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් සහභාගී වන අතර ඊට අමතරව ජාත්‍යන්තර විනිසුරු සුනේත්‍රා සෙනෙවිරත්න මහත්මියගේ සේවය ද ලෝක දුනු විදීමේ ශූරතාවලියට ලබා දේ. මෙරට නියෝජනය කරමින් එවැන්නකට සහභාගී වන මෙරට පළමුවැන්නිය වන්නේ සෙනෙවිරත්න මහත්මියයි. ඇය ශ්‍රී ලංකා පොලිස් දුනු විදින්නන්ගේ සංගමය නියෝජනය කරයි.

තරගාවලියට එක්වෙන වඩාත් පළපුරුදු ක්‍රීඩකයා වන්නේ Race Couse Archery Club හි සජීව් ද සිල්වා ය. 29 හැවිරිදි ඔහු Recurve Men ඉසව්ව නියෝජනය කරයි. සජීව් මේ වන විට Recurve පිරිමි අංශයේ ලෝක ශ්‍රේණිගත කිරීමේ 140 වැනි ස්ථානයේ රැඳී සිටින අතර ඔහුගේ හොඳම දක්ෂතාව ලෙස සටහන් වන්නේ ප්‍රසාද ලකුණු 656ක් ලබා ගැනීමයි.

2016 දකුණු ආසියානු තරගාවලියේ දී කණ්ඩායම් රිදි පදක්කම දිනා ගැනීමට සමත් වන සජිව් 2019 දකුණු ආසියානු තරගාවලියේ දී Recurve ඒකල ඉසව්වේ ලෝකඩ පදක්කමත්, මිශ්‍ර යුගල ඉසව්වේ ලෝකඩ පදක්කමත් සහ කණ්ඩායම් ඉසව්වේ රිදී පදක්කමත් දිනා දුන් ක්‍රීඩකයෙකි.

කාන්තා කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා පොලිස් දුනු විදින්නන්ගේ සංගමය නියෝජනය කරමින් අනුරාධා කරුණාරත්න සහභාගී වේ. Compound Women අංශයේ ලෝකයේ 181 වැනි ස්ථානයට ශ්‍රේණිගතව සිටින අනුරාධාගේ ඉහළ ම දක්ෂතාව වන්නේ ප්‍රසාද ලකුණු 655ක් ලබා ගැනීමයි. Recurve Women අංශයෙන් ද දක්ෂතා දක්වන ඇය ඉන් ලෝක ශ්‍රේණිගත කිරීමේ 376 වැනි ස්ථානයේ රැඳී සිටී.

40 වියැති අනුරාධා 2019 වසරේ දී ජාතික දුනු විදීමේ ශූරතාවලියේ දී නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමඟින් ඉන් රන් පදක්කම දිනා ගනිමින් දක්ෂතා දැක්වූවාය.

ඊට අමතර ව Colombo Archery Club හි හර්ෂනි ශෂිකලා කුමාරසිංහ ද Compound Women අංශයෙන් තරග වැදීමට නියමිතයි. 37 වියැති හර්ෂනි 2010 ආසියානු තරගාවලිය සහ 2016 දකුණු ආසියානු තරගාවලිය ද නියෝජනය කළා ය.

තරග කාලසටහන

සැප්තැම්බර් 20 ; පුහුණුව

සැප්තැම්බර් 21 ; සුදුසුකම් ලබා ගැනිමේ වටයේ තරග

  • 00 පැය සිට 12.00 පැය දක්වා Compound Women ඉසව් තරග
  • 00 පැය සිට 17.00 පැය දක්වා දක්වා Recurve Men ඉසව් තරග

සැප්තැම්බර් 22 : කණ්ඩායම් තරග

  • 45 පැය සහ 12.00 පැය දක්වා Compound Women ඉසව් තරග
  • 00 පැය සිට 16.15 පැය දක්වා Recurve Men ඉසව් තරග

සැප්තැම්බර් 23 : තනි ඉසව් තරග

  • 00 පැය සිට 12.15 පැය දක්වා Compound Women ඉසව් තරග
  • 00 පැය සිට 18.00 පැය දක්වා Recurve Men ඉසව් තරග

සැප්තැම්බර් 24 : අවසන් වටයේ තරග

සැප්තැම්බර් 25 :

  • 00 පැය සිට 12.00 පැය දක්වා Compound Women ඉසව්වේ අවසන් තරග

සැප්තැම්බර් 26 :

  • 00 පැය සිට 16.00 පැය දක්වා Recurve Men ඉසව්වේ අවසන් තරග

2021 ලෝක ශූරතා දුන්නෙන් විදීමේ තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකීයයන්ට ThePapare.com හි උණුසුම් සුබ පැතුම්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<