2020 පැරාලිම්පික් උළෙලෙ සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් රෝදපුටු ටෙනිස් ක්‍රීඩක සුරේෂ් ධර්මසේන, ඔරු පැදීමේ ක්‍රීඩක මහේෂ් ජයකොඩි සහ දුනු විඳීමේ ක්‍රීඩක සම්පත් බණ්ඩාර අද (27) තරග බිමට පිවිසියා.

රෝද පුටු ටෙනිස් ඉසව්වේ මූලික වටයේ තරගයට සහභාගී වූ සුරේෂ් ධර්මසේන චිලී ක්‍රීඩක Alexander Cataldo සමඟ තරග වැදුණා.

මිනිත්තු 25කට අධික වෙලාවක් පැවති මෙම තරගයේ පළමු වටයේ දී ප්‍රතිවාදියාට හොඳ සටනක් ලබා දීමට සුරේෂ්ට හැකි වූ නමුත් එම වටය 6-3ක් ලෙස ජය ගැනීමට Alexander Cataldo සමත්  වුනා.

>> පැරාලිම්පික් උළෙලේ ප්‍රථම දිනයේ ඡායාරූප ඇල්බමය <<

දෙවැනි වටයේ අවසන් භාගයේ දී නැවතත් තරගයට පිවිසෙමින් ප්‍රතිවාදියාට තියුණු අභියෝගයක් එල්ල කිරීමට සුරේෂ්ට හැකි වුනත් එම වටය ද ලකුණු 6-4ක් ලෙස ජය ගත්තේ Alexander Cataldo විසිනුයි.

ඒ අනුව තරග වට 2-0ක් ලෙස සුරේෂ් පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට Alexander Cataldoට හැකි වුනා.

ශ්‍රී ලාංකික පැරා දුනු විඳීමේ ක්‍රීඩක සම්පත් බණ්ඩාර ශ්‍රී ලංකා වේලාවෙන් අද (27) උදෑසන 2020 ටෝකියෝ පැරාලිම්පික් තරග බිමට පිවිසියා. දුනු විඳීමේ තරගවල පිරිමි කේවල Recurve ඉසව්ව නියෝජනය කළ ඔහු අද සහභාගී වුනේ ශ්‍රේණිගත කිරීමේ තරග වටයටයි.

තරග වට දොළහකින් සමන්විත වූ එම ඉසව්ව වට හය බැගින් අර්ධ දෙකකට වෙන් කිරීමට කටයුතු කර තිබූ අතර තරග සම්පූර්ණ ඊතල විඳීම් 72කට සීමා වී තිබුණා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග බිමට පිවිසි සම්පත් බණ්ඩාර එහි පළමු අර්ධයේ දී ලකුණු 289ක් සහ දෙවැනි අර්ධයේ දී ලකුණු 300ක් ලබා ගැනීමට සමත් වුනේ සමස්ත තරගයේ දී ලකුණු 10 බැගින් ලබා ගත් අවස්ථා 13ක් ද සමඟයි.

ඒ අනුව සම්පූර්ණ අර්ධ දෙක අවසානයේ දී මුළු ලකුණු 589ක් ලබා ගැනීමට සම්පත් බණ්ඩාර හට හැකි වූ අතර එම ලකුණු සමඟ සමස්ත ලකුණු සටහනේ 23 වැනි ස්ථානයට පැමිණීමට ඔහුට හැකි වුනා.

එම දස්කම් මත අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට සම්පත් හට හැකි වූ අතර ඔහු සැප්තැම්බර් මස 03 වනදා ඉන්දීය ක්‍රීඩක Chikara Vivek සමඟ තරගවැදීමට නියමිතව ඇත.

කෙසේ නමුත් ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාවයට පැමිණීමට සම්පත් හට අද දින නොහැකි වූ අතර නිමා වූ ආසියානු සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී ඔහු ලකුණු 628ක් ලබා ගනිමින් පෞද්ගලික හොඳම දක්ෂතාව වාර්තා කර තිබුණා.

මෙම තරග වටයේ පළමු ස්ථානය මුළු ලකුණු 644ක් ලබා ගත් ඉරාන ක්‍රීඩක Gholamreza Rahimi හට හිමි වූ අතර දෙවැනි ස්ථානය මුළු ලකුණු 639ක් ලබා ගත් චීන ක්‍රීඩක Zhao Lixueට හිමි වුනා.

2020 ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ ඔරු පැදීමේ (Rowing) ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක මහේෂ් ජයකොඩි මූලික වටයේ තරගය හයවැන්නා ලෙස අවසන් කිරීමට සමත් වුනා.

PR1 පිරිමි කේවල ඉසව්ව සඳහා සහභාගී වූ මහේෂ් ජයකොඩි එම ඉසව්ව අවසන් කිරීමට ගත් කාලය මිනිත්තු 12:16.80ක්.

එම කාලයත් සමඟ ඔහුට එම ඉසව්වේ අවසන් වටය සඳහා එකවර සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූ නමුත් හෙට (28) පැවැත්වීමට නියමිත Repechage (මූලික වටයේ පරාජය වූ ක්‍රීඩකයන් සහභාගී වන) තරග වටයේ දී ඔහුට අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට තවත් අවස්ථාවක් ඉතිරි වී තිබෙනවා.

කෙසේ නමුත් මහේෂ් හට මෙම තරගයේ දී ඔහුගේ පෞද්ගලික හොඳම කාලයට ආසන්න වීමට නොහැකි වූ අතර ඔහුගේ පෞද්ගලික හොඳම කාලය දැක්වෙන්නේ මිනිත්තු 10:30.00ක් ලෙසයි.

මහේෂ් නියෝජනය කළ මූලික වටයේ තරගය ජයග්‍රහණය කළේ මිනිත්තු 9:56.47ක කාලයකින් ඉසව්ව අවසන් කළ යුක්‍රේන ක්‍රීඩක Roman Polianskyi විසිනි. 

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ දෙවැනි දිනය වන හෙට (28) උදෑසන මහේෂ් තරග බිමට පිවිසීමට නියමිතයි.

Paralympic 2020 28th fixtures2020 පැරාලිම්පික් උළෙලේ සියලූම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟම. 

>> 16 වැනි ගිම්හාන පැරාලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<