වසර 25කට පෙර කණපිට හැරවුණු ඕස්ට්‍රේලියානු නූල් සූත්තර

1184
Who saved sri lanka team

සොටානි ඔස්කාර් යන නම කියූ සැණින් ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන් හට එක වරම සිහියට නැගෙන පුද්ගලයෙකු නොවුනත්, මේ නම දකුණු අප්‍රිකා ක්‍රීඩාලෝලීන් අතර නම් මේ වන විට ජාතික වීරයෙකු තරමටම ජනප්‍රිය යයි කීම අතිශයෝක්තියක් නොවේ.

ඔස්කාර් යනු ස්ටීවන් ස්මිත් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානුවන් පන්දුව පළුදු කරන ආකාරය තම තෙවන ඇසට හසු කර ගත් කැමරා ශිල්පියායි. විශිෂ්ට දක්ෂතාවලින් හෙබි ක්‍රීඩකයන් දෙපලකට සහ පැහැබර අනාගතයක පෙර ලකුණු පෙන්වමින් සිටි නවකයෙකුට මතක හිටින කාලයකට ක්‍රිකට් අහිමි කළ මෙම සිදුවීමත් සමඟ සමාජයේ කතා බහට ලක්වූ ප්‍රබල මාතෘකාවක් ලෙස, ඩැරන් ලීමන්ගේ පුහුණුකාරීත්වය  යටතේ ඕස්ට්‍රේලියාව ‘කුමන ක්‍රමයකින් හෝ තරග ජය ගත යුතුය’ යන ස්ථාවරයට පැමිණ සිටීම හැඳින්විය හැක.

ස්මිත්ට මගහැරුණු පාඩම ඕස්ට්‍රේලියාවටම සාපයක් වූ හැටි

ඕස්ට්‍රේලියාවට යනු සෙසු රටවලට සාපේක්ෂව වඩා වැඩි සැලසුමක් සහිතව ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන…

බෙහෝ ක්‍රීඩාලෝලීන්ගේ චෝදනාත්මක බැල්ම ඩැරන් ලීමන් වෙත යොමු වුවද, ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් කරවන්නන් ‘කුමන අයුරකින් හෝ ජය ගත යුතුය’ යන ස්ථාවරයට පිවිසියේ අද ඊයේ නොවන බව ශ්‍රී ලාංකික පැරණි ක්‍රිකට්ලෝලීන් හට නම් හොඳින්ම මතකය. සමාජ ජාල මාධ්‍ය තුලින් ලොව තොරතුරු ගලා යාම කිහිප ගුණයකින් වැඩි කරන්නට දායක වූ මාක් සකර්බර්ග්, ප්‍රාථමික පාසලේ ගුණ කිරීම සහ බෙදීම ඉගෙන ගනිමින් සිටි එම කාලයේ ඕස්ට්‍රේලියානුවන්ගේ නූල් සූත්තර ඔවුන්ටම ඇඹරවූ ගැලවුම්කරුවෙක් ශ්‍රී ලංකාවේ සිටි බව වැඩි දෙනෙක් දැනගත්තේ නැත. ඒ අන් කිසිවෙකු නොව මෙරටින් බිහිවූ විශිෂ්ටතම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන දිවංගත ලක්ෂ්මන් කදීර්ගාමර් මහතායි.

ලක්ෂ්මන් කදීර්ගාමර් මහතා

සියවසක් පුරා ක්‍රිකට් කරළියේ පතාක යෝදයන් ලෙස වැජඹුණු රටවල් අතලොස්සට ශ්‍රී ලංකාව නම්  පුංචි දූපත් වාසීන්ගෙන් තර්ජනයක් එල්ල වෙමින් පවතින බව 1990 දශකයේ මැද භාගය වන විට බොහෝ දෙනා තේරුම් ගෙන තිබූ අතර හොඳින් බැරි නම් නරකින් මේ තර්ජනය මුලිනුපුටා දැමීමට ඕස්ට්‍රේලියානුවන් පළමු පියවර තැබුවේ 1995 වසරේ ශ්‍රී ලංකාව එරට තරග සංචාරයක නිරත වෙමින් සිටිය දී පැවති බොක්සිං දින ටෙස්ට් තරගය අතරතුර දී යි. එහි දී ඕස්ට්‍රේලියානු විනිසුරු ඩැරල් හෙයාර් මුත්තයියා මුරලිදරන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව පවසමින් ඔහු යැවූ පන්දු කිහිපයක් නිපන්දු ලෙස සංඥා කළ අතර එය සැලසුම් සහගත ක්‍රියාවලියක් ලෙස බොහෝ දෙනා හඳුන්වන්නේ මුරලි යැවූ පා දඟපන්දු පවා විනිසුරු හෙයාර් විසින් නිපන්දු ලෙස සංඥා කිරීම හේතුවෙනුයි.

ඕස්ට්‍රේලියානු විනිසුරු ඩැරල් හෙයාර් මුත්තයියා මුරලිදරන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව පවසමින් ඔහු යැවූ පන්දු කිහිපයක් නිපන්දු ලෙස සංඥා කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ සිදුවීම ඉදිරියේ සැලුණේ නැත. එවක ක්‍රිකට් පාලක මණ්ඩලයේ ද සවිය ඇතිව කොන්ද කෙළින් තබාගෙන ප්‍රශ්නයට මුහුණ දීමට නායක අර්ජුන රණතුංග සමත් විය. කෙසේ වෙතත් මෙම සම්පූර්ණ ගැටලුවේ දී එවක රජයේ විදේශ කටයුතු අමාත්‍ය ධූරය හෙබවූ ලක්ෂ්මන් කදීර්ගාමර් මහතාගේ මැදිහත් වීම පිළිබඳ අතලොස්සක් හැරුණු විට කිසිවෙකු දැන සිටියේ නොවේ. කදීර්ගාමර් මහතාගෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයට ලැබුණු උපදේශය ඉතා සරල එකකි.

”ඕස්ට්‍රේලියානුවන්ගේ චන්ඩිකම්වලට නැමෙන්න එපා”

1996 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට සති දෙකකට පෙර සියයකට අධික පිරිසකට මරු කැඳවමින් පුපුරා ගිය මහ බැංකු බෝම්බය, අඬන්න බලා සිටි ඕස්ට්‍රේලියානුවන්ගේ ඇසට ඇඟිල්ලෙන් ඇනීමක් බඳු විය. 1995 බෙන්සන් ඇන්ඩ් හෙජස් තරගාවලියේ දී ශ්‍රී ලංකාව කියන්නේ කවුදැයි හොඳින් හඳුනාගෙන සිටි ඕස්ට්‍රේලියානුවන් සහ බටහිර ඉන්දීය කොදෙව්වන් බෝම්බය පිටින් දමා මෙරටට ඒම ප්‍රතික්ෂේප කරද්දී යලිත් ප්‍රශ්නයට මැදිහත් වන්නට සිටියේ විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදීර්ගාමර් මහතාමයි. එවක ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ආනා පුංචිහේවා මහතා අමතන අමාත්‍යවරයා උපදෙස් දෙන්නේ මෙරටට පැමිණෙන සියලු කණ්ඩායම් වෙත රාජ්‍ය නායකයෙකුට සපයන මට්ටමේ ආරක්ෂාවක් සපයන්නට සූදානම් බව ක්‍රිකට් ලෝකයට දැනුම් දෙන ලෙසයි.

නමුත් මස් රාත්තලම ඉල්ලා සිටි ඕස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කරද්දී ෂේන් වෝන් පැවසූ අදහසක් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සත්කාරකත්වයට මෙන්ම මෙරට සංචාරක කර්මාන්තයට ද මරු පහරක් එල්ල කරන්නට සමත් විය. ”අපි කොළඹ සාප්පු සවාරියේ යෙදෙන අතරතුර බෝම්බයක් පිපිරුවොත් මොකද වෙන්නේ.” මේ ප්‍රකාශය කදීර්ගාමර් මහතාගේ රතු කට්ට පන්නවන්නට හේතු වී තිබුණි. මාධ්‍යයෙන් වෝන්ගේ ප්‍රකාශය පිළිබඳ අදහස් විමසූ විට කදීර්ගාමර් මහතාගේ පිළිතුර වුණේ ”සාප්පු සවාරි යාම ගෑනුන්ගේ වැඩක්” යන්නයි. මේ ප්‍රකාශය රාජ්‍ය තාන්ත්‍රික සංග්‍රාමයක ආරම්භයක් බවට පත් විය.

”මලුත් ඉතින් ගෑණුන්ටම තමයි.”

ඕස්ට්‍රේලියාව තුල කදීර්ගේ ප්‍රකාශයට එරෙහිව විරෝධතා රැල්ලක් ගොඩ නැගෙද්දී දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ද ගැටලුකාරී තත්ත්වයක් දක්වා පළුදු වීමේ අවදානමක් මතු වන අයුරක් දක්නට ලැබුණි. තත්ත්වය සමනය කිරීම සඳහා ලක්ෂ්මන් කදීර්ගාමර් මහතා කළේ ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ගැරත් එවන්ස් මහතා වෙත මල් පොකුරක් යැවීමයි. නමුත් යලිත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ ලබා දීමට කදිම පිළිතුරක් ද ඔහු සතුව පැවතුනි.

1999 වසරේ දී යලිත් මුරලිට ඕස්ට්‍රේලියාවේ දී පන්දුව දමා ගැසීමේ චෝදනා එල්ල වන විට මුරලි පසුපස හිට ගන්නට අර්ජුන රණතුංග සිටියා මෙන්ම, අර්ජුන පසුපස සිට ගන්නට ලක්ෂ්මන් කදීර්ගාමර් ද සැදී පැහැදී සිටින ලදි. ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් මුරලිගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බවට තහවුරු කර තිබියදී පවා රොස් එමර්සන් ඔහුගේ පන්දු නීති විරෝධී බවට සංඥා කරද්දී අර්ජුන කණ්ඩායම ද රැගෙන පිටියේ හතරේ සීමාව අසලට ගියත් ඥානාන්විත ලෙස පිටියෙන් ඉවතට නොගොස් නැවතුණු අතර ඔහු සහ විනිසුරු එමර්සන් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුව අර්ජුන හට දීර්ඝ තරග තහනමක අවදාමක් මතු කර තිබුණි.

අර්ජුන රණතුංග සහ විනිසුරු එමර්සන් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුව ©Getty Images

”අපි කොළඹ සාප්පු සවාරියේ යෙදෙන අතරතුර බෝම්බයක් පිපිරුවොත් මොකද වෙන්නේ, සාප්පු සවාරි යාම ගෑනුන්ගේ වැඩක් ”

නමුත් වහාම ප්‍රශ්නයට මැදිහත් වුන කදීර්ගාමර් විදේශ අමාත්‍යවරයා දක්ෂ නීතිඥයන් සමඟින් වහා මෙම ප්‍රශ්නයේ පාලනය සියතට ගෙන නායකයාව ආරක්ෂා කර ගන්නා ලෙස ක්‍රිකට් පාලක මණ්ඩලයට උපදෙස් ලබා දුන් අතර අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු උපද්‍රවයක් සිදු වූයේ නැත. වසර ගණනාවකට පසුව රොස් එමර්සන් ප්‍රසිද්ධියේ පිළිගත්තේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහළ නිලධාරියෙකුගේ උවමනාව මත තමන් මුරලි පන්දුව දමා ගසන බවට සංඥා කළ බවයි. මෙලෙස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පරිපාලනයේ නිරුවත ලොවට ප්‍රකාශ වුවද ඔවුන්ගේ නූල් සූත්තරවලින් ශ්‍රී ලංකාව ගලවා ගත්තේ කවුරුන්ද යන වග මෙරට බොහෝ දෙනෙක් පවා දැන සිටියේ නැත.

ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අනුපමේය සේවයක් සිදු කරන අතරම කදීර්ගාමර් මහතා ක්‍රිකට් හරහා රට එක්සත් කිරීමට පියවර ගත් ආකාරය ද අමතක කළ නොහැක. ජාත්‍යන්තරයෙන් මෙරට තුල දෙමළ ජනතාවට කෙනෙහිලිකම් සිදු වන බවට දිගින් දිගටම චෝදනා එල්ල වූ සමයක කදීර්ගාමර් මහතා අර්ජුන රණතුංග හට මුරලි වෙනුවෙන් පෙනී සිටීමට සවියක් බවට පත්වීම හරහා ලොවට පණිවුඩයක් දුන්නේ කණ්ඩායමේ සිටින එකම ද්‍රවිඩයා වෙනුවෙන් සිංහල බෞද්ධයෙක් තම අනාගතය පරදුවට තබා පෙනී සිටීමත්, කණ්ඩායමක් තම ද්‍රවිඩ සොහොයුරා පසුපස සිට ගැනීමත් සිදුවන රටක මේ ජාතීන් දෙකට සහයෝගයෙන් ජීවත් වීමේ නොහැකියාවක් නැති බවටයි.

මාධ්‍ය හමුවේ දී ස්මිත් හඬා වැටෙමින් ©Sky Sports

ඇලන් බෝඩර් සමයේ සිට ජයග්‍රහණය සඳහා අවංක නොවූ ක්‍රම සොයා යාම පුරුදු වූ ඕස්ට්‍රේලියානුවන් වෙත කර්මය පලිසන් දීමට සියවසකින් හතරෙන් එකක පමණ කාලයක් ගත වුවත්, අවසානයේ ලැබුණු ප්‍රතිඵලය වේදනාවෙන්, ලැජ්ජාවෙන්, කඳුලින් මෙන්ම අති දක්ෂ ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ අහිමිවීමෙන් ඉතිරිවූ දැවැන්ත කළු පැල්ලමක් ක්‍රීඩාවට උරුම කරන ලදි. නමුත් ශ්‍රී ලංකාවෙන් බිහිවූ කදීර්ගාමර් වැනි උපක්‍රමශීලී නායකයන් (දේශපාලන නායකයන් වුවත්) ක්‍රීඩාව භාවිත කළේ රටට ගෑවුණු කළු පැල්ලම් මකා දැමීම සඳහායි. පදක්කම් සහ කුසලාන වෙනුවෙන් ක්‍රීඩාවේ ගෞරවය කෙලෙසන්නන් ඊයේ අද මෙන්ම හෙට ද නොඅඩුව බිහි වනු ඇති. නමුත් තාවකාලික කීර්තිය වෙනුවෙන් ක්‍රීඩාව පාවා දීමට වඩා මනුෂ්‍යත්වයේ නාමයෙන් ක්‍රීඩාව සැමගේ අභිවෘද්ධිය උදෙසා භාවිත කිරීම වඩාත් ඵලදායක බව ලොවට කියන ලක්ෂ්මන් කදීර්ගාමර් වැනි මහත්වරුන් ද, ඉඳ හිට හෝ මෙලොව පහල වන බව, ඉඳ හිට හෝ අපට මතක් වීම සතුටට කරුණකි.

අතීත කරුණු උපුටා ගැනීම  https://www.thepapare.com/aussies-sissies-and-kadir/ ලිපියෙනි.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<