ජය කණුව සොයා ගිය ශ්‍රී ලංකාවට නොසිතූ අභියෝගයක්!

557

පාකිස්තානු කණ්ඩායම සමඟ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට මුහුණ පා සිටින්නේ නොසිතූ ඉරණමකටයි. ඒ ඊයේ (08) වේලාසනින්ම පාකිස්තානු කණ්ඩායම දවාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම මේ වනවිට නායගොස් ඇති බැවිනි. කෙසේවෙතත් පළමු ඉනිමේ දී සුපිරි ක්‍රීඩා කෞෂල්‍යයක් ප්‍රකට කරමින් රැස්කළ දැවැන්ත ලකුණු පුවරුව මේ වනවිට ශ්‍රී ලංකාවට දැවැන්ත ආශිර්වාදයක් වී ඇත.

දිමුත්ගේ ශතකයෙන් හැඩවුණු ඉනිම පාකිස්තානුවන් හඹායාම අරඹයි!

පාකිස්තානු – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද දිනය (07) නිමා වෙද්දී තරගය තුල සුරක්ෂිත වන්නට ශ්‍රී ලංකා පිළ සමත් වී සිටියි.

ඊයේ දිනය සඳහා තරගය ආරම්භ කරන විට ලකුණු 482ක දැවැන්ත ලකුණු පුවරුවක් පසුපස හඹා යමින් සිටි පාකිස්තානු පිළ කිසිවෙකු නොදැවී ලකුණු 51ක් රැස් කරගෙන සිටියහ. ඒ අනුව ඔවුන් පසුවුනේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 431ක් පිටුපසිනි. කෙසේවෙතත් ඊයේ උදෑසන පාකිස්තානු කණ්ඩායමට තවත් ලකුණු 10ක් එක්වෙද්දී තම ටෙස්ට් දිවියේ මංගල කඩුල්ල ලෙස ශාන් මසූඩ්ගේ කඩුල්ල බිඳ දමන්නට ලහිරු ගමගේට හැකිවිය. ඒ මසූඩ් එල්ල කළ ඩ්‍රයිව් පහරක් පිත්තේ ඇතුළත දාරයේ වැදී කඩුල්ලේ ගැටුනු බැවිනි. දැවී යනවිට මසූඩ් රැස් කරගෙන සිටියේ ලකුණු 16ක් පමණි.

ඉන් අනතුරුව පාකිස්තානු පිළේ අනෙක් ආරම්භක පිතිකරුවා ද පිටියෙන් ඉවත් කරන්නට දිල්රුවන් පෙරේරාට හැකිවිය. මෙම තීරණය අභියෝගයට ලක් කරමින් ලකුණු 39ක් ලබාසිටි සැමී අස්ලාම් DRS අවස්ථාවක් ලබා ගත්ත ද එය කෙලින්ම කඩුල්ලේ ගැටිය යුතු පන්දුවක් බවට තෙවැනි විනිසුරු තීරණය කරන ලදී. ඒ අනුව ඔහුට කඩුල්ල හැර යාම හැරුණුකොට වෙනත් විකල්පයක් නොවීය. ශ්‍රී ලංකාවට හිසරදයක් වීමට පෙරම අසාද් ශෆීක් (12) සහ බාබර් අසාම් (08) පිටියෙන් ඉවත් කිරීමට ද පිළිවෙලින් සුරංග ලක්මාල් සහ රංගන හේරත් සමත් විය. ඒ වනවිට පාකිස්තානු ඉනිම දැක්වුනේ ලකුණු 109ට කඩුලු 4ක් ලෙසිනි.

දිමුත්ගේ 90 ගැටලු විසඳන්නට හෂාන්ගෙන් පොරොන්දුවක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධූරය දරන හෂාන් තිලකරත්න දක්‍ෂ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකි. දකුණු අප්‍රිකාවේ දී…

දැවැන්ත තර්ජනයකට මුහුණ දී සිටි තම කණ්ඩායමේ අභිමානය වෙනුවෙන් අසාර් අලි සහ හැරිස් සොහේල් අතරේ සබඳතාවයක් ගොඩ නැගෙන්නේ ඉන් අනතුරුවයි. නිරතුරුවම කඩුලු දවා ගනිමින් සිටි ශ්‍රී ලංකාවට ප්‍රතිරෝධයක් එල්ල කළ ඔවුන් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක සබඳතාවයක් එක් කළහ. කෙසේවෙතත් රංගන හේරත්ගේ අත්දැකීම් සහ දක්ෂතාවය හමුවේ සුපිරි ටෙස්ට් පිතිකරුවෙකු වන අසාර් අලි දැවී යාමත් සමඟ මෙම සබඳතාවය බිඳ වැටුණි. ඒ වනවිට අසාර් තම ටෙස්ට් දිවියේ 27 වැනි අර්ධ ශතකය ලෙස හතරේ පහර 6ක් සමඟින් ලකුණු 59ක් රැස් කරගෙන සිටියේය.

තම මංගල ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන හැරිස් සොහෙල් ඊයේ තම පළමු ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ ද එය නායගොස් තිබූ පාකිස්තානු ඉනිම පිළිසකර කිරීමට තරම් ප්‍රමාණවත් නොවීය. හතරේ පහර 4ක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 56ක් ලබාසිටි ඔහුව දවා ගත්තේ දිල්රුවන් පෙරේරා විසිනි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා පිළේ ජය ගමනට තිබූ සියලු බාධාවන් ඉවත් වී මාවත පැහැදිලි වූ නිසා ලකුණු 262කට පාකිස්තානු ඉනිම කෙලවර කරන්නට ශ්‍රී ලංකාවට හැකිවිය. පන්දු යැවීමේදී සුපිරි දඟ පන්දු යුගලයක් බවට පරිවර්තනය වෙමින් සිටින රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා කඩුලු 3 බැගින් දවාගත් අතර යොවුන් ක්‍රීඩක ලහිරු ගමගේ සහ සුරංග ලක්මාල් කඩුලු 2 බැගින් දවා ගත්හ.

මේ අනුව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 220ක් පිටුපසින් සිටි පාකිස්තානයට නැවත වරක් පන්දුවට පහර දීමට අවස්ථාව හිමි වුවද ශ්‍රී ලංකා පිළ තරගයේ ඉදිරිය තීරණය කළේ ඊට වඩා වෙනස් ආකාරයකටයි. තවමත් ගෙවී යන්නේ තරගයේ තෙවැනි දිනය වූ නිසා පාකිස්තානුවන් එතරම් කඩතොළු වී නැති තණතිල්ල මත දෙවැනි ඉනිම සාර්ථක කරගනු ඇතැයි ඔවුන්ගේ විශ්වාසය විය. ඒ අනුව සාමාන්‍ය ලෙස තම දෙවැනි ඉනිම අරඹන්නට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණයකට එළැඹියේය. ඒ අවසන් දිනය තුල පාකිස්තානු පිතිකරුවන්ට පන්දුව පිළි ගැනීම එතරම් පහසු නොවන බව දන්නා හෙයිනි.

සංගා වෙනස් විදිහේ ක්‍රිකට් තරගයකට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර, පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක ශාහීඩ් අෆ්රිඩි, එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ඉයන් මොර්ගන් හා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරේන්ද්‍ර ශෙවාග් යන ක්‍රීඩකයින්ගේ…

නමුත් ඊයේ රාත්‍රී ආහාරයෙන් පසු පන්දුවාර 15කට පමණක් මුහුණ දුන් ශ්‍රී ලංකා පිළේ සැලසුම් සියල්ල උඩු යටිකුරු කරන සිදුවීමක් වාර්තා විය. ඒ ප්‍රථම ඉනිමේ වැරදි සියල්ල අමතක කරමින් ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වූ පාකිස්තානු කණ්ඩායම දිනය නිමාවීමට පෙර ශ්‍රී ලංකා පිළේ කඩුලු 5ක්ම සොරාගත් බැවිනි. ඒ අතරතුර ශ්‍රී ලංකා දෙවැනි ඉනිමට එක්වුනේ ලකුණු 34ක් පමණි. දැවී ගිය කඩුලු 5 අතර ප්‍රථම ඉනිමේ වීරයින් බවට පත්වූ දිමුත් කරුණාරත්නගේ (07) සහ දිනේෂ් චන්දිමාල්ගේ (00) කඩුල්ල ද තිබීම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ දැඩි කණස්සල්ලට හේතුවිය.

තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන සදීර සමරවික්‍රමට ද ඊයේ දිනයේ ලකුණු 13ක් අවාසනාව කැටුව ආවේය. ඒ වහබ් රියාස්ගේ පන්දුවකට කඩුලු රකින්නා අතර උඩපන්දුවක් ලබා දී ඔහු දැවී ගිය බැවිනි. රාත්‍රී රැකවලා ලෙස පිටියට පිවිසි සුරංග ලක්මාල් ද වැඩි වේලාවක් පිටියේ නොරැඳුනු නිසා ඉන් අනතුරුව සාමාන්‍යය පරිදි පිතිකරණය සඳහා යොමුවුණු නායක දිනේෂ් චන්දිමාල්ව ද දවා ගැනීමට වහබ් රියාස්ට අවස්ථාව උදාවිය. මේ වනවිට විශේෂඥ පිතිකරුවන් ලෙස පිටියේ රැඳී සිටින්නේ කුසල් මෙන්ඩිස් (8*) සහ නිරෝෂන් දික්වැල්ල පමණක් වන නිසා තරගය තුල මුල්වරට යම් පීඩනයක් ශ්‍රී ලංකාව දෙසට එල්ල වී ඇත.

පන්දු යැවීමේදී පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් වහාබ් රියාස් කඩුලු 3ක් ද, මොහොමඩ් අබ්බාස් සහ යසීර් ෂා එක් කඩුල්ල බැගින් ද බිඳ හෙලූහ. කෙසේවෙතත් ශ්‍රී ලංකා පිළ මේ වනවිට පාකිස්තානු ප්‍රථම ඉනිමට වඩා ලකුණු 254ක් ඉදිරියෙන් සිටීම නිසා තවත් ලකුණු 150කට වැඩියෙන් ලබාගතහොත් තරගය ජය ගැනීමේ වැඩි අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවනු ඇත. මේ වනවිට අනිවාර්යයෙන් තීරණයක් සහිත තරගයක් බවට පෙරළී ඇති මෙම උණුසුම් තරගයේ අවසානය ශෝකාන්තයක් නොවී සුඛාන්තයක් බවට පත්කර ගැනීමේ වගකීම හිමිව ඇත්තේ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා යන පිතිකරුවන්ට සහ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ටයි.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 482 (පන්දුවාර 159.2)
දිමුත් කරුණාරත්න 196, දිනේෂ් චන්දිමාල් 62, දිල්රුවන් පෙරේරා 58, නිරෝෂන් දික්වැල්ල 52, සදීර සමරවික්‍රම 38, කෞෂාල් සිල්වා 27, යසීර් ෂා 6/184, මොහොමඩ් අබ්බාස් 2/100.

පාකිස්තානු (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 262 (පන්දුවාර 90.2)
අසාර් අලි 59, හැරිස් සොහෙල් 56, සැමී අස්ලාම් 39, යසීර් ෂා 24, ශාන් මසූඩ් 16, වහාබ් රියාස් 16, දිල්රුවන් පෙරේරා 3/72, රංගන හේරත් 3/84, ලහිරු ගමගේ 2/38, සුරංග ලක්මාල් 2/41.

ශ්‍රී ලංකා (දෙවැනි ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 34 (පන්දුවාර 14.3)
සදීර සමරවික්‍රම 13*, කුසල් මෙන්ඩිස් 8*, දිමුත් කරුණාරත්න 7, කෞෂාල් සිල්වා 3, වහාබ් රියාස් 3/10, මොහොමඩ් අබ්බාස් 1/6.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න