ගහට ගහක් මුණ ගැසෙන මොරටුව = ලීඩ්ස් වූ දා

8919

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා එංගලන්තයට එරෙහිව ලබාගත් සුපිරි ජය ගැන මේ වනවිට මුළු ලෝකයම කතාබහ කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් යනු පෙරලි කිරීමට උපතින්ම හැකියාවක් තිබෙන ජාන, ඔවුන්ට උපතින්ම ලැබෙන නිසයි. 

 

මැතිව්ස්ගේ ජේත්තුකාර ඉනිමට මාලිංගගෙන් තල්ලුවක්

මෙතෙක් දවසක් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලකුණු සොයමින් සිටි…..

මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙක්ම පාහේ සාර්ථක වූ බව සැබෑය. නමුත් ඒ සඳහා අවශ්‍ය කරන පළමු ජය ලබාගත්තේ කාසියේ වාසිය ජයගෙන ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමත් සමඟයි. ඉන් අනතුරුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ දක්වා පැවති තරග දක්වා සාර්ථක ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සහ කුසල් පෙරේරා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 3ක් ලෙස දැක්වෙන විට ක්‍රීඩාගාරයේ රැඳී සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහ ප්‍රේක්ෂකයින්ට තරගය පහසුවෙන්ම එංගලන්තය ජයගනු ඇතැයි යම් බලාපොරොත්තුවක් ඉතිරි කරමිනි. නමුත් නියම තරගය ආරම්භ වූයේ ඉන් පසුවයි. 

එංගලන්ත තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් දක්නට ලැබුනු අතර එහි සාර්ථකම වෙනස්කම ලෙස අවිශ්ක ප්‍රනාන්දු දැක්විය හැක. මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ අවිශ්ක ප්‍රනාන්දු එදින ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණියේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයෙන් බිහිවූ ක්‍රීඩක ලහිරු තිරිමාන්න වෙනුවෙනි. තවමත් 21 හැවිරිදි අවිශ්ක මේ දක්වා ක්‍රීඩා කර ඇති එක්දින තරග සංඛ්‍යාව 07කි. ඒ තරගය ඔහුගේ පළමු ලෝක කුසලාන තරගය යි. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 2 අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය පසුව ආරම්භක පිතිකරුවෙකු ලෙස නම් දරා සිටි අවිශ්ක අංක 03 ක්‍රීඩකයා ලෙස පිටියට පිවිසිනි. ඔහු පන්දු 39ක් තුළ වේගවත් ලකුණු 49ක් වාර්තා කරන්නේ එංගලන්ත පන්දු ‍යවන්නන්ට පිටිය සිසාරා පහරවල් එල්ල කරමිනි. එංගලන්තය ඇතුළු ලෝක ක්‍රිකට් විචාරකයින් පුම්බන ලද ජොෆ්රා ආචර් නම් පන්දු යවන්නා එවූ පන්දුවක් පිටියෙන් එළියට යවා පන්දුව නැති කරන්නට තරම් අවිශ්කගේ සිත ජව සම්පන්න විය. ආචර් යනු සැබෑ දක්ෂයෙකි. නමුත් ඒ එල්ල කළ පහර නිසා ඔහුගේ හුලං තරමක් හෝ බසින්නට ඇති බවට ඔහුගේ ඉරියව් වලින් ලෝකයාට පෙනෙන්නට විය. ඒ පහර ඔබ අප කාගේත් සිත්ගත් පහරක් වූයේ ඒ නිසාම නොවේද? එය ඔබම සිතා බලන්න.

අවිශ්ක ආර්චර්ට දැවැන්ත 6 පහර එල්ල කළ අවස්ථාව

ශ්‍රී ලංකාව මේ තරගයට මෙන්ම තරගාවලියට පැමිණෙන විට ලෝකයාම ශ්‍රී ලංකාව එතරම් ගණන් නොගන්නට හේතු වූයේ ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් දිගින් දිගටම අසාර්ථක වූ නිසයි. නමුත් එංගලන්ත තරගයේ දී එම සියලු වාග් ප්‍රහාර, සමාජ මාධ්‍ය ප්‍රහාර ඇතුළු ප්‍රහාරයන් සියල්ලම සඳහා නිසි පිළිතුරක් ලබාදෙන්නට හැකි මූලික අඩිතාලම අවිශ්ක සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ කුසල් මෙන්ඩිස් යන දෙදෙනා විසින් සකසන්නට වූයේ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක සබඳතාවයක් ගොඩ නංවමිනි. ඒ සඳහා අනෙක් අන්තයෙන් සිය උපරිම සහාය ලබාදුන් මෙන්ඩිස් පන්දු 68ක් තුළ ලකුණු 46ක් වාර්තා කරගන්නට සමත් විය. මෙන්ඩිස් එහිදී ඉවසිලිවන්ත ලෙස පිතිකරණයේ නිරත වෙමින් ඒ සබඳතාවය ඉදිරියට රැගෙන යාමටද කටයුතු කළ නමුත් එහි දුක්බරම කාරණය වූයේ ඔවුන් දෙදෙනාටම පහසුවෙන් වාර්තා කරගැනීමට තිබුනු අර්ධ ශතක දෙක ගිලිහී යාමයි. 

ස්ටොක්ස්ගේ උඩපන්දුව අතඇරුනම මම බය වුනා – මෙන්ඩිස්

ගෙවී ගිය වසර කිහිපය පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීම ඉතාමත්…..

“ඔහු nets වල හොඳින් ක්‍රීඩා කළා. අපි ඔහුට අවස්ථාව දෙන්න බලාගෙන හිටියේ. ගොඩක් සතුටුයි ඔහු ඇවිල්ලා අපි බලාපොරොත්තු වුන ප්‍රතිඵලයම අපේ කණ්ඩායමට ලබා දුන්න එක ගැන. ඒ වගේම ඔහු කිසිම බයක් නැතුව පහර දුන්නා. අපි හිතනවා ඔහු මේ ආරම්භය අනාගතයේ දී ලොකු දස්කම් දක්වා රැගෙන යාවි කියලා.” ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න එංගලන්ත තරගයෙන් අනතුරුව කියා සිටියේය. 

එංගලන්ත තරගයට පෙර පැවති පුහුණුවීම් අතරතුර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා ද කුසල් මෙන්ඩිස් දිගින් දිගටම අසාර්ථක වන අවස්ථාවන් වලදී ඔහු ගැන පැවසුවේ මෙවැන්නක්. 

“ඔව්. ඔහු මේ දිනවල අසාර්ථකයි තමයි. නමුත් ඔහුගේ ඇඟේ තාම ධනාත්මක ක්‍රිකට් එක තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔහු නැවත ඉතාමත් ඉක්මණින් ඔහුගේ ක්‍රිකට් එක ආයිත් ගහයි කියලා.” 

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට තරගය පිළිබඳව යම් බලාපොරොත්තුවක් ලබාදුන් සබඳතාවය අවසන් වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාගේ වෑයම අපතේ නොයැවීමට ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා යන දෙදෙනා කටයුතු කළේ ශ්‍රී ලංකා මැදපෙළ තවමත් සවිමත් බවට ලෝකයාටම පෙන්නුම් කරමිනි. 

අවිශ්කට වයස අවුරුදු 21යි, මෙන්ඩිස්ට වයස අවුරුදු 24යි. දෙදෙනාගේ වයස් පරතරය වයස අවුරුදු 3ක්. ඔවුන් දෙදෙනාම බිහිවන්නේ ශ්‍රී ලංකා පාසල් මහා ක්‍රිකට් තරග පිටියේ ඉහළ නාමයක් දිනාගත් ඔබ අප කොයි කවුරුත් දන්නා “මොරටු රන් මහා සටන” හරහායි. නමුත් ඒ එක් පාසලකින් නොවේ. එක් අයෙක් සාන්ත සෙබස්තියන් පුතුනුවෙක්  වනවිට අනෙක් කෙනා වේල්ස් කුමර විද්‍යාල පුතුනුවෙකි. එදා සෙල්ලම් කළේ ඔවුන්ගේ පාසල ජයග්‍රහණය කිරීම වෙනුවෙන් වුනත් දැන් ඔවුන් සටන් වදින්නේ ඔවුන්ගේ රටට ජයග්‍රහණය අත්කර දීම වෙනුවෙනි. 

කුසල් මෙන්ඩිස් 2013 වසරේ වේල්ස් කුමර විද්‍යාල පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා බවට පත්වෙමින් 63 වන මොරටු මහා සටනේ දී සිය කණ්ඩායම මෙහෙයවන විට 2016 වසරේ සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ අවිශ්ක ප්‍රනාන්දුය. ඔවුන් දෙදෙනා පාසල් මහා තරග ක්‍රිකට් පිටියේ 2012, 2013 සහ 2014 යන වර්ෂයන් වලදී එකිනෙකාට එරෙහිව ප්‍රතිවාදී කණ්ඩායම් වල සිට ක්‍රීඩා කර තිබෙන බව මොරටු මහා රන් සටනේ ඉතිහාසය සොයා බැලූ විට පෙනේ. එනම් අවිශ්ක වයස අවුරුදු 14දී පාසල් මහා ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමේ වරම දිනාගෙන තිබෙනවා. 

මොරටු මහා රන් සටනේ – දෙදින මහා තරග ඉතිහාසය 

වර්ෂය   කුසල් මෙන්ඩිස් අවිශ්ක ප්‍රනාන්දු
2012  (62 වන මොරටු මහා සටන) 0 හා 30    14
2013  (63 වන මොරටු මහා සටන) 48 හා  42 49
2014   (64 වන මොරටු මහා සටන)

      

89 හා  28 47 හා 36

මේ පාසල් ක්‍රිකට් පිටියේ අතීත මතකයන් සහ පසුගිය 21 වැනිදා ලීඩ්ස් හි හෙඩන්ග්ලි පිටියේ දී මුණගැසුනු ඒ බැඳීම ජනප්‍රවාදයේ  එන “ගහට ගහක් මොරටුවේ හමුවුනා වගේ” නෙවෙයිද? 

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම. 


>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<