ලහිරු කුමාර කොදෙව් ඉනිම පාලනය කරයි

2625

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය (06) නිමා වෙද්දී සත්කාරක කොදෙව්වෝ සිය පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 246ක් ලබා සිටියි.

කොදෙව් තරග බිමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය අලුත් වෙයි ද?

බටහිර ඉන්දීය කොදෙව් සභාපතිවරයාගේ කණ්ඩායම සමඟ පැවති පුහුණු තරගය සංචාරක……

වේගපන්දු යවන්නන්ගේ නිජ භූමියක් වන කොදෙව් පිටියේ ඊයේ දිනයේ වඩාත් කතා බහට ලක්වූ ක්‍රීඩකයා වූයේ දකුණතින් වේගපන්දු යවන 21 වියැති ලහිරු කුමාර ය. මන්දගාමි ලකුණු පුවරුවක් සෑම අවස්ථාවකම නිර්මාණය වූ කොදෙව් ඉනිම මේ තරමින් පාලනය කිරීමට ඔහු සේ ම අනෙකුත් වේගපන්දු යවන්නන් ද දඟපන්දු යවන්නෝ ද සමත් වීම කැපී පෙණුනි.

ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සහ බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් කාසියේ වාසිය උරගා බැලීමට පිටියට පිවිසියේ දෙරට නායකයන් ලෙසින් ඔවු-නොවුන් හමුවන පළමු තරගය  බවට මෙය පත් කර ගනිමිනි. තරග තීරක ඉන්දීය ජාතික ජවගල් ශ්‍රීනාත්ගේ අතින් ඉහළට ඉගිල්ලුන කාසිය ඕවල් පිටියේ තණතීරුව මත පතිත වූයේ බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ වාසියට නතු විය. ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළහ.

පළමුවෙන් පන්දුවට පහර දීම වඩාත් යෝග්‍ය බැව් ප්‍රකට ට්‍රින්ඩෑඩ් හි කුවින්ස් පාක් ඕවල් තණතිරූවේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ දකුණත් සහ වමත් පිතිකරුවන් වූ ක්‍රෙග් බාත්වෙයිට් සහ ඩෙවෝන් ස්මිත් ය. නමුත් ඔවුන් දෙදෙනාට තම නායකයාගේ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම ඉෂ්ට කිරීමට ඉඩ ලැබුණේ නැත.

කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් පිටියේ අපේ ක්‍රිකට් ඉතිහාසය

වසර 22ක් වෙන බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ මේ දක්වා…….

සුරංග ලක්මාල් විසින් යැවුණු තරගයේ තෙවැනි පන්දුවාරයේ දී ක්‍රෙග් බාත්වෙයිට් නිරෝෂන් දික්වැල්ල වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යන විට ලබා සිටියේ ලකුණු 3ක් පමණි. ඒ වෙද්දී ලකුණු පුවරුව කියැවුණේ 4ක් ලෙසිනි.

අනතුරුව ඩෙවොන් ස්මිත්ට එක් වූ කිරන් පවෙල් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 36ක සබඳතාවක් එක් කෙරුණි. දිල්රුවන් පෙරේරා විසින් යැවුණ පන්දුවකට කිරන් පවෙල් විසින් එල්ල කරන ලද පහරකට ලකුණක් ලබා ගැනීමට කළ උත්සාහයේ දී ඩෙවොන් ස්මිත්ට තම කඩුල්ල අහිමි කර ගැනීමට සිදුවිය. ඔහුගේ කඩුල්ල ලබා ගැනීමට ලහිරු කුමාර, දිනේෂ් චන්දිමාල් සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සම්මාදම් විය. ඒ වෙද්දී ඔහු ලබා සිටියේ ලකුණු 7ක් පමණි.  

තෙවැනි කඩුල්ලට එක් වූ දකුණත් ක්‍රීඩක ෂායි හොප් තමන් මුහුණ දුන් සිව්වැනි පන්දුවේ දී ලහිරු කුමාරගේ පන්දුවකට එල්ල කළ හතරේ පහරකින් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 1000 සම්පූර්ණ කිරීමට සමත් විය. ඔහු තම ටෙස්ට් ලකුණු දහස වෙනුවෙන් ඉනිම් 33ක් වැය කර තිබුණි.

ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසින් කිරන් පවෙල් දැවී ගියේ ලහිරු කුමාරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීම නිසා ය. ඒ වෙද්දී ඔහු පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 38ක් ලබා සිටියේය. පවෙල් සහ හොප් අතර තෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 40කි.

පළමු දිනයේ දිවා විවේකය වෙනුවෙන් තරගය නතර කරන විට බටහිර ඉන්දීය කොදෙව් ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3ක් දැවී ලකුණු 99ක් ලෙසිනි. ඒ වෙද්දී ෂායි හොප් ලකුණු 29ක් ද, රොස්ටන් චේස් ලකුණු 11ක් ද ලබා ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටියහ.

ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 54ක් වෙද්දී ෂායි හොප් දවා ගැනීමට ලහිරු කුමාර සමත් විය. ඒ කඩුල්ල පිටුපස සිටි නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. ඒ වෙද්දී ෂායි හොප් පන්දු 70කට මුහුණ දී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 44ක් ලබා සිටියේය.

පස්වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වූයේ රොස්ටන් චේස් ය. රංගන හේරත්ගේ පන්දුවකට ඇන්ජලෝ මැතිව්ස් විසින් උඩ පන්දුවක් ලබා ගනිමින් ඔහුගේ ඉනිම නිමා කරද්දී පන්දු 83කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 38ක් ලබා සිටියේය.

දිනයේ තේ විවේකය වෙනුවෙන් තරගය නතර කරන විට බටහිර ඉන්දීය කොදෙව්වෝ කඩුලු 5ක් දැවී ලකුණු 153ක් ලබා සිටියහ. ඒ වෙද්දි ෂේන් ඩොව්රිච් (03) සහ ජේසන් හෝල්ඩර් (06) නොදැවී පිටියේ රැඳී සිටියහ. දිවා විවේකය සහ තේ විවේකය අතර කාලයේ දී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 54ක් පමණි. එම ලකුණු ප්‍රමාණය වෙනුවෙන් ඔවුන් කඩුලු 2ක් වැය කළහ.

තේ විවේකයෙන් පසුව තරමක් ලකුණු අතරට යෑමට කොදෙව් ක්‍රීඩකයෝ උත්සාහ කළ ද, එය එතරම්ම සාර්ථක වූයේ නැත. කෙසේ වෙතත් ඉනිමේ හොඳම ලකුණු සබඳතාව දිනයේ අවසන් කාර්තුවේ දී එක් කිරීමට හෝල්ඩර් සහ ඩොව්රිච් සමත් වූහ. ඔවුන් හය වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90ක සබඳතාවක් එක් කළහ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරමක් පසුබසී

මැලේසියාව පැවැත්වෙන 7 වැනි ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා…..

එම කඩුල්ලේ සබඳතාව අවසන් කිරීමට ලහිරු කුමාර සමත් වූයේ නැවත වතාවක් නිරෝෂන් දික්වැල්ල ද උදව් කර ගනිමිනි. දැවී ගිය ක්‍රීඩකයා වූයේ නායක ජේසන් හෝල්ඩර් ය. ඔහු පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 40ක් ලබා සිටියේය.

දිනය අවසාන වන විට ෂේන් ඩොව්රිච් පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 46ක් ලබා ගනිමින් දිනයේ වැඩිම ලකුණුලාභියා වෙමින් පිටියේ නොදැවී රැඳී සිටී. අනෙක් අන්තයෙන් පන්දු 32කට මුහුණ දෙමින් මේ දක්වා කිසිදු ලකුණක් ලබා නොගත් දේවේන්ද්‍ර බිශෝ පිටියේ රැඳී සිටි. කොදෙව් ක්‍රීඩකයෝ අවසන් කාර්තුව වෙනුවෙන් රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව කඩුල්ලක් පමණක් ලබා දෙමින් 93කි.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර ලකුණු 57කට කඩුලු 3ක් දවා ගත් අතර සුරංග ලක්මාල් සහ රංගන හේරත් අතර කඩුල්ල බැගින් බෙදී තිබුණි. බිඳ වැටුණ අනෙක් කඩුල්ල දුවද්දී දවා ගත් එකකි.

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ දිනයේ යැවිය යුතු නියමිත පන්දුවාර ප්‍රමාණයෙන් පන්දුවාර 6ක් ම අඩුව යවා තිබූ අතර එබැවින් තරගයේ දෙවැනි දිනය නියමිත වේලාවට වඩා වේලාසනින් පැවැත්වීමට නියමිතයි.  

බටහිර ඉන්දීය කොදෙව්; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 246 (84.0): කිරන් පවෙල් 38, ෂායි හොප් 44, රොස්ටන් චේස් 38, ෂේන් ඩොව්රිච් නොදැවී 46,  ජේසන් හෝල්ඩර් 40, ලහිරු කුමාර 3/57

තරගයේ උණුසුම් පුවත්, ලකුණු සටහන් හා තරග වාර්තා ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<