ක්‍රිකට් ලොවේ දැවැන්තයන් “SLC ලෙජන්ඩ්ස් තරඟාවලියේ” සමාරම්භයට

151
Wasim Akram
AFP PHOTO

ක්‍රිකට් ඉතිහාසයේ වමත් වේගපන්දු යවන්නන් අතරින් අතිදක්ෂම වේගපන්දු යවන්නා ලෙස බොහෝදෙනා විසින් සැලකෙන වසීම් අක්‍රම් විසින් එළඹෙන දෙසැම්බර් මස පළමුවැනි දා SSC ක්‍රීඩාංගනයේදී වේග පන්දුකරණය පිළිබඳ විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් දැනුම් දෙන ලදී.

පසුගිය ලිපි: SLC ප්‍රීමියර් ලීග් තරඟාවලිය සතියකින් කල් යයි

එළඹෙන 30 වැනිදා පැවැත්වීමට නියමිත “ඩයලොග් ක්‍රිකට් රාත්‍රිය” සඳහා ගෞරවණීය ආරාධිතයකු සේ සහභාගී වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා විසින් කරන ලද ආරාධනයකට අනුව, සුල්තාන් ඔෆ් ස්වින්ග්” ලෙස හැඳින්වෙන අක්‍රම් මහතා 29වැනිදා මෙරටට පැමිණෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංවර්ධනය කිරීම සඳහා ගෙන ඇති ආසන්නතම පියවර වන “ජාත්‍යන්තර ක්‍රිකට් ජ්‍යෙෂ්ඨයන් සහභාගී වන තරඟාවලිය” මීළඟ මාස කිහිපයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිත අතර ඊට එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන්ට අවශ්‍ය උපදේශනය ලබාදෙමින්, තරඟාවලියේ සමාරම්භයටද ඔහු සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති,ගරු තිලංග සුමතිපාල මහතා,

“මේ මොහොතේදී අප පුදුමාකාර දක්ෂ තරුණ ක්‍රීඩකයන් පිරිසක් පිරිවරාගෙන සිටින ගමන්ම, 2019 ලෝක කුසලානය ඉක්මන් යතාර්ථයක් වේවි. අප දැනටමත් තාක්ෂණික සහ විද්‍යාත්මක අංශයන් අදාළ තැන්වලට යොමුකොට තිබෙනවා. වටිනාමක් නියම කළ නොහැකි තරමේ දැනුමක් සහ අත්දැකීමක් මේ දැවැන්ත ප්‍රතිරූප විසින් තරුණ ක්‍රීඩකයන්ට ලබාදෙන අතර ඉන් ඔවුන්ට අවශ්‍ය ක්‍රීඩා දැනුම හොඳින් ලැබේවි.” යැයි පැවසුවේය.

වසර 19ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේදී වේගපන්දුකරණයේ නව ඉසව් ලොවට හඳුන්වා දුන් අයෙකු ලෙස ක්‍රිකට් විශේෂඥයින් විසින් වසීම් අක්‍රම් ව හඳුන්වනු ලබයි. වරක් ක්‍රිකට් රචකයෙකු විසින් සටහන් කර තිබුණේ එක්දින හා ටෙස්ට් පිටියේදී එකලෙසම කඩුළු බිඳදැමූ අක්‍රම්ගේ ක්‍රීඩා රටාව “මනෝහර” බවයි.

“අපේ නවතම තරඟාවලියටත්,තරුණ ක්‍රීඩකයන්ටත්, පුහුණු කාර්යමණ්ඩලවලටත් උපදේශනය ලබාගැනීමට, ක්‍රීඩකයෙකු වගේම හොඳ මහත්මයෙකු වන වසීම් අක්‍රම් වගේ කෙනෙකු තමයි සුදුසුම. අපේ උත්සාහයේ කොටසක් වෙමින් අක්‍රම් මහතා අපේ ආරාධනය භාරගැනීමම අපට ලොකු ගෞරවයක්” ක්‍රිකට් සභාපතිවරයා එසේ තම අදහස් දැක්වීම නිමකළේය.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට