ආජන්ටිනාව සහ එංගලන්තය ලෝක කුසලාන අවසන් පූර්ව ගැටුමට සුදුසුකම් ලබයි

1
FIFA 2026

2026 පාපන්දු ලෝක කුසලානයේ 30 වැනි දිනය අද (12) ක්‍රියාත්මක වූ අතර, තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ අවසන් තරග දෙක අද නිමාවට පත් වුනා.

මෙම තරගවලින් ජය ගනිමින් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට ආජන්ටිනාව සහ එංගලන්තය විසින් සමත් වුනා.

එංගලන්තය සහ නෝර්වේ

මෙම තරගය පුරාවට කණ්ඩායම් දෙකම සිය උපරිමය ලබා දෙමින් තරග වැදුණු අතර, මෙහි දී තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට නෝර්වේ කණ්ඩායමේ Andreas Schjelderup විසින් සමත් වුනේ තරගයේ 36 වැනි මිනිත්තුව තුළ දියි. එම ගෝලයත් සමඟ නෝර්වේ තරගයේ පෙරමුණට පැමිණීමට සමත් වූ නමුත්, තරගයේ 45+2 මිනිත්තුව තුළ Jude Bellingham විසින් වාර්තා කළ ගෝලයත් සමඟ තරගය නැවතත් සම මට්ටමට පැමිණියා.

මේ අතර එංගලන්තය වෙනුවෙන් Harry Kane තවත් ගෝලයක් ඒ ආසන්න කාලයක දී වාර්තා කළ නමුත්, Off Side නීතිය අනුව එය අවලංගු කෙරුණා. එමෙන්ම තරගයේ දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් පසුව නෝර්වේ කණ්ඩායම වාර්තා කළ ගෝලයක් ද අවලංගු කෙරුණු අතර, කණ්ඩායම් දෙකම ආසන්න ගෝල අවස්ථා වෙත පැමිණි ගෝල කිහිපයක් ම ව්‍යර්ථ වී ගියා.

මේ අනුව තරගයේ නියමිත මිනිත්තු 90 තුළ කණ්ඩායම් දෙකම එක් ගෝලය බැගින් ලබමින් සම මට්ටමේ රැඳීම නිසා, තරගය අතිරේක කාලය දක්වා රැගෙන ගිය අතර, එහි දී තරගයේ 93 වැනි මිනිත්තුව තුළ එංගලන්තය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට Jude Bellingham විසින් සමත් වුනේ තරගයේ සිය දෙවැනි ගෝලය මෙන්ම, තරගාවලියේ සිය 06 වැනි ගෝලය ද වාර්තා කරමිනුයි.

මේ අනුව මෙතෙක් තරගාවලිය තුළ එංගලන්තය වෙනුවෙන් Jude Bellingham සහ Harry Kane යන දෙදෙනා ම ගෝල හය බැගින් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.

එමෙන්ම තරගාවලිය තුළ ගෝල 07ක් වාර්තා කර සිටි Erling Haaland හට මෙම තරගයේ දී එකදු ගෝලයක් හෝ වාර්තා කළ නොහැකි වූ අතර, එම හේතුව ද සමඟ නෝර්වේ දේශයට සිය හොඳම ලෝක කුසලාන ගමනට නිමාව තැබීමට සිදු වුනා.

ආජන්ටිනාව සහ ස්විස්ටර්ලන්තය

මෙම තරගයේ දී ආජන්ටිනාවට නොසිතූ විරූ අභියෝගයක් ලබා දීමට ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයින් විසින් සමත් වුනා.

තරගයේ 10 වැනි මිනිත්තුවේ දී Alexis Mac Allister විසින් ගෝලයක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඒත් සමඟම ආජන්ටිනාව තරගයේ පෙරමුණට පැමිණීමට සමත් වුනා. ඉන් අනතුරුව තරගයේ පළමු අර්ධය නිමා වන තෙක් තරගය 1-0ක් ලෙස පැවති නමුත්, තරගයේ 67 වැනි මිනිත්තුවේ දී ස්විස්ටර්ලන්තය වෙනුවෙන් Dan Ndoye විසින් ගෝලයක් වාර්තා කිරීමත් සමඟ තරගය නැවත සම මට්ටමට පැමිණියා.

කෙසේ වෙතත් තරගයේ 72 මිනිත්තුවේ දී Breel Embolo විසින් රතු කාඩ් පතක් ලබමින් පිටියෙන් ඉවත් වීමත් සමඟ ස්විස්ටර්ලන්තයට ක්‍රීඩකයින් දස දෙනෙකු සමඟ ආජන්ටිනා ආක්‍රමණශීලී ප්‍රහාරයට මුහුණ දීමට සිදු වුනා.

කෙසේ වෙතත් මෙහි ඩී ස්විස්ටර්ලන්තය ඉතා හොඳ මට්ටමේ ආරක්ෂණයක් සහිතව තරගය නියමිත කාලයෙන් ඔබ්බට ද රැගෙන යෑමට සමත් වුනා.

තරගයේ 112 වැනි මිනිත්තුව තුළ ආජන්ටිනාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ Julian Alvarez විසින් අග්‍රගණ්‍ය ගෝලයක් වාර්තා කරමින් තරගයේ වැඩි වාසි ආජන්ටිනාව දෙසට හැරවීමට සමත් වූ අතර, තරගයේ 120+1 මිනිත්තුව තුළ Lautaro Martinez විසින් ආජන්ටිනාව වෙනුවෙන් තෙවැනි ගෝලය ද වාර්තා කරමින් තරගයේ ජය තහවුරු කිරීමට සමත් වුනා.

මේ අනුව 1954 ලෝක කුසලානයෙන් පසුව ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයකට පිවිසුණු ස්විස්ටර්ලන්තයේ ලෝක කුසලාන ගමනට තිත තබමින්, නොකඩවා දෙවැනි වරටත් ලෝක කුසලාන අවසන් පූර්ව වටයට පිවිසීමට ආජන්ටිනාවට හැකියාව ලැබුණා.

2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>