“Bumrah සහ මාලිංග අතර පැහැදිලි වෙනසක් තියෙනවා”

131

කෙටි කලක් තුල වත්මන් වේගපන්දුවේ අගරජු කිරුළ තමන් සතුකර ගැනීමට සමත් වූ Jasprit Bumrah පිළිබඳව අටුවා ටීකා කීමට අවශ්‍ය නොවන්නේ ඔහු සාම්ප්‍රදායික වේගපන්දු යවන්නෙකුගේ භූමිකාවෙන් ඔබ්බට ගොස් ඔහුටම ආවේණික වූ ශෛලියකින් සහ රිද්මයකින් ක්‍රිකට් ලෝකය උඩුයටිකුරු කිරීමට සමත් වූ අතිදක්ෂකයෙකු නිසාවෙනි.

ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය නිරතුරුව යොමුවන්නේ ඔහු වෙනස්ම ආකාරයේ අරුත් ගැන්වීමක් වේගපන්දුවට ලබා දෙමින් පිතිකරුවන්ගේ ආධිපත්‍යය සහමුලින්ම සුනුවිසුනු කරදැමීමට සමත් වූ නවක පරපුරේ පුරෝගාමී පන්දු යවන්නෙකු වන බැවිනි. 

තම පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කර වසර දෙකකට ආසන්න කාලයක් ගත වන මොහොතේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අඩුම තරග සංඛ්‍යාවක් වැය කරමින් ටෙස්ට් කඩුලු 50 සීමාව පසු කර ගිය වේගවත්ම ඉන්දියානුවා ලෙස Bumrah වාර්තා පොත් සියල්ල අලුත් කිරීමට සමත්කම් දැක්වූයේ තවත් එවැනිම වාර්තාවන් රැසක හිමිකාරිත්වය ද තමන් සතු කරගනිමිනි.

නියමාකාරයෙන් ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන්  අවධානය යොමු කරමින් ඔහුගේ ක්‍රීඩා ජීවිතය නිවැරදිව කළමනාකරණය ගැනීමට හැකි වුවහොත් ටෙස්ට් කඩුලු 400යේ කඩඉම අභිබවා යාම Bumrah හට එතරම් අපහසු කර්ත්‍යවයක් නොවනු ඇති බවට කොදෙව් කණ්ඩායමේ හිටපු වේග පන්දු විශේෂඥයෙකු වන Courtley Ambrose ද වරෙක සඳහන්කොට තිබුණි. 

ඔහුට අමතරව ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක Venkatesh Prasadද Bumrahගේ පන්දු යැවීමේ ඉරියව්වේ ඇති සුවිශේෂීතා සම්බන්ධයෙන් පැහැදිලි කරුණු විග්‍රහයක් ඉදිරිපත්කොට තිබුණේ Cricket.com සමඟ පැවති සාකච්ඡාවක් සඳහා එක්වෙමිනි.

තවත් ක්‍රිකට් පුවත්:

“Bumrah කියන්නේ වෙනස්ම ආරක පන්දු යවන්නෙක්. ඔහුටම ආවේණික ඉරියව්වකින් පන්දු යවන නිසා පිතිකරුවන්ට Bumrahට එරෙහිව මුහුණ දෙක හිතන තරම් පහසු කටයුත්තක් නෙවෙයි. Lasith Malinga සහ Bumrah කියන්නේ එකම ආරක පන්දු යවන්නන් දෙදෙනෙක්. නමුත් දෙදෙනාගේම පන්දු යැවීමේ ඉරියව් සියුම්ව අධ්‍යයනය කළොත් කැපී පෙනෙන  වෙනස්කම් කිහිපයක්ම දැකගන්න පුළුවන්.”

“Malinga පන්දුව මුදා හරින අවසන් මොහොතේ දී ඔහුගේ අත රැගෙන එන කෝණයට විරුද්ධ දිශාවෙන් තමයි Bumrah පන්දුව මුදා හරින්නේ. සරලව කිව්වොත් Bumrah පන්දු යවන්නේ ඔරලෝසුව කටුව 11 දී තියෙන කෝණයෙන්. ගොඩක් පිතිකරුවන්ට ඔහුගේ පන්දු තෝරා බේරාගෙන පහර දෙද්දී එන ගැටලුව තමයි පන්දුව තණතිල්ලේ පතිත වුනාට පස්සේ කෙළින්ම ගමන් කරනවා ද නැත්තන් තමන්ගේ කඩුල්ල තුලට එනවා ද කියන එක. ඔහුගේ මේ සුවිශේෂී පන්දු යැවීමේ දක්ෂතාව බොහෝ අංගයන්ගේ හොඳ සම්මිශ්‍රණයක්.”

විස්සයි විස්ස තරග රටාවේ ආගමනයත් සමඟ මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව වෙනත් මානයක් වෙත යොමුව ඇති බව සඳහන් කර සිටින Prasad මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේ නව නිපැයුම් සහ තාක්ෂණික මෙවලම් භාවිතයෙන් වේගපන්දු යවන්නන්ගේ දක්ෂතා වඩාත් ඔප්නැංවීමට අවස්ථාවක් උදා වී ඇති බවයි.

ක්‍රිකට් ක්‍රීඩාව අත්කරගෙන තියෙන දියුණුවත් එක්කම වේගපන්දු යැවීමේ අංශයෙනුත් ලොකු ප්‍රගතියක් අත්කරගෙන තියෙනවා කියලා අපිට පේනවා. පිතිකරුවන්ට යෝග්‍ය තණතිලි නිර්මාණය වීමත් එක්කම පන්දු යවන්නන් දැන් හුරු වෙලා තියෙනවා නොයෙකුත් අත්හදා බැලීම් කරන්න. Back of the hand, off-cutter, off-cutter bouncer, knuckleball සහ yorker වගේ නොයෙක් උපක්‍රම දැන් වඩාත් සූක්ෂමව පන්දු යවන්නන් භාවිතා කරනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<