ක්‍රිකට් ක්‍රීඩාවේ යුගයක් වර්ණවත් කළ ග්‍රේග් චැපල්

229
Greg Chappell, Australia v England, 4th Test, Sydney, January 1974-75. (Photo by Patrick Eagar/Popperfoto via Getty Images/Getty Images)

එය 1970/71 අළුබඳුන තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයයි. එංගලන්ත කණ්ඩායමේ ජෝන් ස්නෝව් බ්‍රිස්බේන් නුවර පැවති පළමු ටෙස්ට් තරගයේ දී ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අන්ත අසරණ කරමින් සුවිශේෂී පන්දු යැවීමක යෙදුණ අතර දෙවන ටෙස්ට් තරගයේදීත් ස්නෝව්ගෙන් දැඩි තර්ජනයක් ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට එල්ල වන ස්වරූපයක් පෙනෙන්නට තිබුණි.

බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් වැකා ක්‍රීඩාංගණයේ පැවති අළුබඳුන තරග වාරයේ එම දෙවන තරගය පර්ත් වැකා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණ පළමු ජාත්‍යන්තර තරගය විය. එනිසාම තරගය හොඳින් නිමා කර ගැනීමට ඕස්ට්‍රේලියානුවන් දැඩි ලෙස අධිෂ්ඨාන කරගෙන සිටියෝය.

වේගපන්දුවෙන් විකුම් පෑ අසමසම ‘මැකෝ’

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු බලඇණියක සිටි උසින් අඩුම ක්‍රීඩකයා ඔහු වන්නට පුළුවන. ඔහුගේ උස යාන්තම් අඩි පහයි අඟල් නමයක් පමණ විය. නමුත්…

එංගලන්ත කණ්ඩායම මුල් ඉනිමට රැස් කළ ලකුණු 397ට පිළිතුරු බඳින්නට ගිය සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුලු පහ ලකුණු 107ක් වන විට ක්‍රීඩාගාරයට හරවා යවන්නට එංගලන්ත පන්දු යවන්නන් සමත්වී සිටියහ. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායම අන්ත අසරණ තත්ත්වයකට වැටී සිටි මොහොතක කෙසඟ සිරුරකින් යුත් තරුණයෙක් පිතිකරණයට පිටියට පිවිසියේය. 

එතෙක් වේලා හොඳින් පන්දුවට පහර දුන් ඉයන් රෙඩ්පාත් සමඟ දීර්ඝ සබඳතාවයක් ගොඩ නැගූ ග්‍රේග් චැපල් නම් එකී තරුණයාගේ ආගමනය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් එක් පිතිකරණ පුරාවෘත්තයක ආරම්භය විය.

සිය මංගල ටෙස්ට් ඉනිම අගනා ලකුණු 108කින් සමරන්නට චැපල් සමත් වූ අතර එය අලංකාර හතරේ පහර දහයකින් සරසාලන්නට ද ඔහු සමත් විය. හයවැනි කඩුල්ල ලෙස ග්‍රේග් පිටියෙන් නික්මෙන විට ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව කියවුණේ 326ක් ලෙසිනි. සිය මංගල ටෙස්ට් තරගයේ දී පෑ සුවිශේෂී දස්කම් තරගාවලියේ සෙසු තරගවල දී දැක්වීමට නොහැකිවූවත් ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකාගරයේ යම් විශේෂ තැනක් දිනා ගැනීමට ග්‍රේග් චැපල් සමත් විය. 

1948 වසරේ අගෝස්තු මස හත්වැනිදා දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර දී උපත ලද ග්‍රෙගරි ස්ටෙෆාන් චැපල්ට ක්‍රිකට් ක්‍රීඩාව නුහුරු අත්දැකීමක් වූයේ නැත. 

ග්‍රේග්ගේ මව ජීන් රිචර්ඩ්සන් කලක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ වික්ටර් රිචර්ඩ්සන්ගේ දියණිය වූ අතර වික්ටර් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ස්වර්ණමය යුගයක සාමාජිකයෙකු විය. ග්‍රේග්ගේ වැඩිමහල් සොයුරු ඉයන් මෙන්ම බාල සොයුරු ට්‍රෙවෝ ද ඉතාම කුඩා කාලයේ දී ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කිරීමට චැපල් දෙමාපියන් තීරණය කර තිබුණි.

“මගේ පියා ඉතාම කුඩා කාලයේ සිටම ලෙදර් පන්දුවෙන් ක්‍රීඩා කිරීමට හුරු කළා. නමුත් ඔහු ආරක්ෂිත උපාංග අපිට ලබා දුන්නේ නැහැ. ලෙදර් පන්දුවෙන් ක්‍රීඩා කිරීම කෙතරම් වේදනාකාරී ද කියන කාරණාව අපට මුල සිටම දැණුනා.” ග්‍රේග්ට තම කුඩා කාලය ගැන ඇත්තේ එවන් මතකයකි.

කුඩා කාලයේ දී ම ක්‍රිකට් හා බැඳුණ ග්‍රේග් 1966/67 ෂෙෆිල්ඩ් පලිහ තරගාවලිය වෙනුවෙන් දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් වික්ටෝරියානු කණ්ඩායමට එරෙහිව පළමු පෙළ වරම් දිනා ගත්තේය.

ග්‍රේග් සිය මංගල පළමු පෙළ තරගයේ දී ම ලකුණු 53ක් සහ 62ක් රැස් කිරීමට සමත් විය. ඒ වන විටත් ග්‍රේග්ගේ වැඩිමහල් සොයුරු ඉයන් දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙන්ම ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සමත්කම් දක්වා තිබුණි. වික්ටෝරියානු කණ්ඩායමට එරෙහිව ග්‍රේග් සහභාගි වූ සිය පළමුපෙළ තරගය ක්‍රියාත්මක වන විට ඉයන් සිටියේ ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම සමඟ දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වෙමිනි.

චැපල් සහෝදරයින් මෙන්ම ඔවුන්ගේ සීයා වූ වික්ටර් රිචර්ඩ්සන් ද තමන් සහභාගි වූ මුල්ම පළමුපෙළ තරගයේ දී ම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් විය. වික්ටර් රිචර්ඩ්සන් සිය මංගල පළමුපෙළ තරගයේ දී ලකුණු 51ක් රැස් කළ අතර ඉයන් චැපල් වික්ටෝරියානු කණ්ඩායමට එරෙහිව සිය මංගල තරගයේ දී ලකුණු 59ක් රැස් කිරීමට සමත් විය. 

ග්‍රේග් මංගල පළමුපෙළ තරගයේ දී රැස් කර ගත් අර්ධ ශතකය හැරුණු විට ට්‍රෙවෝ ද ක්වීන්ස්ලන්ත කණ්ඩායමට එරෙහිව සටන්කාමී අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

ග්‍රේග් චැපල් පවසන ආකාරයට ඔහුට ක්‍රිකට් ජීවිතයේ හොඳම අවවාදය ලැබී ඇත්තේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගෙන් බව පැවසේ. බ්‍රැඩ්මන් සහ චැපල් පවුල අතර අතීතයේ පටන් නොහොඳ නෝක්කාඩු පැවති බව ප්‍රසිද්ධ කාරණාවකි.

වරක් ග්‍රේග් චැපල් පන්දුවට පහර දීමට යෑමට සැරසී ක්‍රීඩක විවේකාගරයේ සිට පිත්ත අතට ගෙන පහරවල් කිහිපයක් එල්ල කරමින් සිටියේය. එවකට ඕස්ට්‍රේලියානු තේරීම් කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටි ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ක්‍රීඩක විවේකාගරයට පැමිණියේ අහම්බයකින් මෙනි.

“තරුණයා, මම ඔබ නම් ඔය විදියට පිත්ත අල්ලන්නේ නෑ” බ්‍රැඩ්මන් පැවසුවේ බැරෑරුම් ලෙසය.

“මම අන්තිමට ලියපු පොතේ ඔය ගැන පැහැදිලි කිරීමක් තියනවා කියවන්න” බ්‍රැඩ්මන් තවදුරටත් පැවසුවේය.

පොත් ගෙන ඉගෙනීමට වෙලාවක් නොමැති බව තේරුම් ගත් ග්‍රේග් චැපල් පිත්ත බ්‍රැඩ්මන් දෙසට දිගු කරමින් ඔහුව නිවැරදි කරන ලෙස පැවසුවේය.

ක්‍රිකට් පිටියට පියඹා පැමිණි දකුණු අප්‍රිකානු පියාසැරියා

1992 බෙන්සන් සහ හෙජස් ලෝක කුසලානයේ තරගයක් බ්‍රිස්බේන් නුවර දී පැවැත්වෙමින් තිබුණි. තරගය පැවැත්වුණේ පාකිස්තානු කණ්ඩායම…

ග්‍රේග් චැපල් පසුකලෙක පැවසූ ආකාරයට පාදය දෙසින් පහරවල් එල්ල කිරීමට බ්‍රැඩ්මන්ගෙන් ලැබුණ උපදෙස මහත් උපකාරි වූ බව කියවේ.

මංගල තරගයේ ශතකයෙන් පසුව තරමක් දුරට අසාර්ථක වුවද 1972 අළුබඳුන තරග වාරයේ දී නැවත ලකුණු අතරට පිවිසෙන්නට චැපල් සමත් විය.

1973 වසරේ දකුණු ඕස්ට්‍රේලියාවේ සිට ක්වීන්ස්ලන්තය දක්වා සංක්‍රමණය වූ චැපල් ක්වීන්ස්ලන්ත කණ්ඩායමේ නායකත්වයට පත්විය. එය එක්තරා ආකාරයකින් අනාගත ඕස්ට්‍රේලියානු නායකත්වය වෙනුවෙන් කළ පෙරහුරුවක් විය.

“ඇත්තටම මගේ හිතේ කෙළවරක ඕස්ට්‍රේලියානු නායකත්වය ගැන සිතිවිල්ලක් තිබුණා. ඒ වෙනුවෙන් යම් පෙරහුරුවක් අවශ්‍ය කළා. මගේ වැඩිමහල් සහෝදරයා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සහ දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම් දෙකේම නායකයා. මට දැඩි තීරණයක් ගැනීමට සිදුවී තිබුණා. එදා ඇඩිලේඩ් නුවර සිට බ්‍රිස්බේන් දක්වා ගිය ගමන මගේ ජීවිතයේ ගත් හොඳම තීරණවලින් එකක්”

මේ අතරවාරයේ ක්‍රම ක්‍රමයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තම ස්ථානය ස්ථාවර කරගත් චැපල් 1975 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයේ දී ප්‍රථම වතාවට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයට පත්විය.

තමන් නායකත්වය දුන් ප්‍රථම තරගයේ දී ඉනිම දෙකේම ශතක ලබා ගැනීමට චැපල් සමත් විය. තමාගේ නව නිවහන වූ බ්‍රිස්බේන් නුවර පැවති මෙම තරගයේ ඉනිම දෙකේ දී පිළිවෙළින් ලකුණු 123ක් සහ 109*ක් ලබා ගන්නට චැපල් සමත් විය. 1975 පෘඩෙන්ෂල් ලෝක කුසලානය දිනා ඕස්ට්‍රේලියාවට පැමිණි කොදෙව් කණ්ඩායම තරග 5-1ක් ලෙස පරාජය කරන්නට ඕස්ට්‍රේලියානුවන්ට හැකියාව ලැබුණි.

එසේ ආරම්භ වූ නායකත්ව ගමනේ දී ටෙස්ට් තරග 48ක දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙය වූ ග්‍රේග් චැපල් ඉන් තරග 21ක ජය සිය කණ්ඩායමට ලබා දෙන්නට මූලිකත්වය ගත්තේය.

සෑමවිටම ඉතා අලංකාර පිතිකරණ රටාවක් විදහා පෑ ග්‍රේග් චැපල් මානසික ඒකාග්‍රතාවය ඉහළින්ම තබා ගත් පිතිකරුවෙකු බවට අවිවාදයෙන්ම සැලකේ.

ටෙස්ට් තරග 87කට ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ චැපල් එහි දී ලකුණු 7110ක් රැස් කරගැනීමට සමත් වූ අතර එයට ශතක 24ක් ඇතුලත් විය. සිය මංගල ටෙස්ට් තරගයේ දී මෙන්ම අවසාන ටෙස්ට් තරගයේ දී ද ශතක වාර්තා කර ගැනීමට චැපල් සමත් විය. ටෙස්ට් තරගවල දී ලකුණු 7000 ඉක්මවා රැස් කළ මුල්ම ඕස්ට්‍රේලියානු පිතිකරුවා ද ග්‍රේග් චැපල් විය.

එක්දින තරග ආරම්භ වූ සමයේ එක්දින පිටියේ පෙරළිකාරි පිතිකරුවෙකු වූ චැපල් එක්දින තරග 74ක දී ලකුණු 2331ක් රැස් කරගැනීමට සමත් විය.

ඉඳහිට මද වේගපන්දු යවමින් ප්‍රතිවාදීන් අසරණ කරන්නට සමත් වූ චැපල් අග්‍රගණ්‍ය පන්දු රකින්නෙකු ද විය. 

ක්‍රිකට් ලොවම භීතියෙන් මුසපත් කළ ‘සුදු අකුණු සැරය’

අසීමිතව රග්බි ක්‍රීඩාවට පෙම් කළ ඔහු කිසිමදාක ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන්නට සිහින මැව්වේ නැත. නමුත් දෛවය ඒ සියල්ල වෙනස් කළේය. “කුඩා කාලයේ මට….

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් වුවද චැපල්ගේ නම කියවෙන්නේ මතභේදාත්මක සිද්ධීන් කිහිපයක් සමඟ වේ.

1981 වසරේ නවසීලන්තය සමඟ මෙල්බර්න් නුවර පැවති එක්දින තරගයක් ජය ගැනීමට නවසීලන්තයට අවසන් පන්දුවෙන් ලකුණු හතක් ලබා ගැනීමට සිදු වූ අතර එවෙලේ පන්දු යවමින් සිටි තම සහෝදරයා වන ට්‍රෙවෝ චැපල්ට එවකට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය දැරූ ග්‍රේග් උපදෙස් දෙන්නේ පන්දුව අත යටින් යවන ලෙසයි. තරගය ඕස්ට්‍රේලියානුවන් ජය ගත්ත ද ග්‍රේග් චැපල් ලබා දුන් එම උපදෙස ක්‍රිකට් ලොව බොහෝ දෙනා ඉතා පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කළහ.

පසුකලෙක ඉන්දියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයට පත් චැපල් එවකට ඉන්දියානු නායකයාව සිටි සව්රව් ගංගුලි සමඟ ඇති කර ගත් ගැටුමට ජනමාධ්‍ය ඔස්සේ විශාල ප්‍රසිද්ධියක් ලැබුණි. එමෙන්ම ඇතැම් ඉන්දියානු ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා රටාව වෙනස් කිරීමට ද චැපල් අසාර්ථක උත්සහයක් දැරූබව කියවුණි. ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ග්‍රේග් චැපල් උපයා ගත් කීර්තිය බොහෝ දුරට මතභේදාත්මක සිද්ධීන් නිසා හීන කරගත් බව බොහෝ දෙනාගේ මතයයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<