ICC වසරේ එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක්

ICC වසරේ එක්දින සංචිතය

2529

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (19) වසරේ විස්සයි විස්ස කණ්ඩායම නිවේදනය කිරීමෙන් අනතුරුව අද (20) ICC වසරේ එක්දින කණ්ඩායම ද නිවේදනය කර තිබුණා.

විස්සයි විස්ස සංචිතයේ නායකත්වය දැරූ Babar Azam එක්දින සංචිතයේ ද නායකයා ලෙස නම් කර තිබෙන අතර විස්සයි විස්ස සංචිතයේ ස්ථානයක් දිනා ගත් වනිඳු හසරංගට අමතරව එක්දින සංචිතය සඳහා තේරී පත්වන්නට තුන් ඉරියව් ක්‍රීඩක දුෂ්මන්ත චමීරට අවස්ථාව හිමිව තිබෙනවා.

නිමා වූ 2021 වසරේ දී සිය දක්ෂතා තවත් වැඩි දියුණු කර ගැනීමට සමත් වූ චමීර එක්දින තරග 14ක් සඳහා සහභාගී වෙමින් දවා ගත් කඩුලු සංඛ්‍යාව 20ක්. එහි දී එක් කඩුලු 5 අවස්ථාවක් ද සාර්ථක කර ගන්නට ඔහු සමත් වූ අතර ඔහුගේ සාමාන්‍ය දැක්වුණේ 29.30ක් වශයෙනුයි.

දකුණත් වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන චමීර මේ දිනවල ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය සහිතව ක්‍රියාත්මක වන සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය සඳහා කැඳවා තිබුණා.

විස්සයි විස්ස පිටියේ ද පෙරළිකාර චරිතයක් වූ වත්මන් විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ කිරුළ දරණ වනිඳු හසරංග 2021 දී එක්දින පිටියේ ද කැපී පෙනෙන දක්ෂතා දක්වන්නට සමත් වුනා.

එහි දී ඔහු එක්දින තරග 14ක් සඳහා සහභාගී වෙමින් 27.38 ප්‍රහාරාත්මක වේගයක් ද සමඟ වාර්තා කළ සමස්ත ලකුණු සංඛ්‍යාව 256ක්. ඊට ඇතුළත් අර්ධ ශතක ගණන 3ක්. එපමණක් නොව පන්දු යැවීමෙන් ද දක්ෂතා දැක්වූ ඔහු 4.56ක සාමාන්‍යයක් සමඟින් දවා ගත් කඩුලු සංඛ්‍යාව 12ක්.

සංචිතය සඳහා වනිඳු සහ චමීරට අමතරව, බංග්ලාදේශයෙන් ක්‍රීඩකයින් තිදෙනෙක්, අයර්ලන්තය, දකුණු අප්‍රිකාව සහ පාකිස්තානයෙන් ක්‍රීඩකයින් දෙදෙනා බැගින් මේ සංචිතයට නම් කර තිබෙනවා.

කෙසේ නමුත් මෙම සංචිතය සඳහා වත්මන් එක්දින ලෝක ශූරයින් වන එංගලන්තයෙන් කිසිදු ක්‍රීඩකයෙකු නම් කර නැහැ.

මීට සමගාමීව ICC වසරේ කාන්තා එක්දින සංචිතයක් ද ICC විසින් නිවේදනය කර තිබෙන අතර එහි නායකත්වය දරන්නේ එංගලන්ත ක්‍රීඩිකා Heather Knight විසිනුයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<