19න් පහළ බාලිකා පාසල් ක්‍රිකට් තරගාවලියට දින තීන්දුයි

19න් පහළ පාසල් බාලිකා ක්‍රිකට් තරගාවලිය 2021/22

1172

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල්  බාලිකා ක්‍රිකට් තරගාවලිය ලබන සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ලීග් ආකාරයට පැවැත්වෙන මේ තරගාවලිය සඳහා කාණ්ඩ 6ක් යටතේ දිවයින පුරා විසිරුණු පාසල් කණ්ඩායම් 34ක් සහභාගී වන අතර රත්ගම දේවපතිරාජ විද්‍යාලය පසුගිය වසරේ ශූරයින් ලෙස මෙවර තරගාවලියට අවතීර්ණ වෙනවා. එසේම පසුගිය වර තරගාවලියේ දී අනුශූරයින් බවට පත්වුණේ වාද්දුව මධ්‍ය විද්‍යාලයයි.

මේ තරගාවලියේ මූලික වටයේ තරග වටය අප්‍රේල් මස 3 වැනිදාට පෙර නිමා කළ යුතු අතර එහි දී සෑම කාණ්ඩයකම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින පාසල් කණ්ඩායම් දෙක සහ එහි තුන්වැනි ස්ථානය දිනා ගන්නා හොඳම කණ්ඩායම් 4ක් සමඟ සමස්ත කණ්ඩායම් 16ක් තරගාවලියේ ඉදිරි තරග වටය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත. එතැන් සිට තරගාවලියේ අවසන් මහා තරගය දක්වා පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට තරගාවලිය ක්‍රියාත්මක වෙනු ඇත.

මෙවර තරගාවලිය සඳහා බලන්ගොඩ විද්‍යාලෝක විද්‍යාලය, ලේලිඹේ මහා විද්‍යාලය මාතලේ, මිරිහානේගම මහා විද්‍යාලය, හබරණ ආදර්ශ විද්‍යාලය, මන්නාරම පේසලායි සාන්ත ෆාතිමා මධ්‍ය මහා විද්‍යාලය, නමුණුකුල නවලගම මහා විද්‍යාලය, අම්පාර රුහුනුගම විද්‍යාලය, මහියංගණය ඔරුබෙන්ඩි මහා විද්‍යාලය, අවිස්සාවේල්ල මීගොඩ මහා විද්‍යාලය, අතරගලේවැව මහා විද්‍යාලය සහ කුරුකන්කුලම විජයබා මහා විද්‍යාලය යන පාසල් 11 පළමු වරට එක්වෙනවා.

තරගාවලිය පිළිබඳව ඒ ඒ පාසල් දැනුම්වත් කිරීම වෙනුවෙන් පැවති වැඩසටහනේ දී මෙවර පාසල් තරගාවලිය සඳහා එක්වන නව කණ්ඩායම් 11 සඳහා ක්‍රිකට් භාණ්ඩ ඇතුළත් බෑග් කට්ටලය බැගින් ලබා දීම ද සිදු කෙරුණා.

මෙවර තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම් සහ ඔවුන් තරග වදිනු ලබන කාණ්ඩ මෙසේයි,

  • A කාණ්ඩය (සබරගමුව) – කෑගල්ල සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය, කෑගලු බාලිකා විද්‍යාලය, තෝලංගමුව ඩඩ්ලි සේනානායක විද්‍යාලය, යටියන්තොට සිරිවර්ධන මහා විද්‍යාලය, බලන්ගොඩ විද්‍යාලෝක විද්‍යාලය
  • B කාණ්ඩය (මධ්‍යම පළාත සහ වයඹ පළාත) – මහමායා බාලිකා විද්‍යාලය මහනුවර, මහනුවර සාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය, නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය, ලේලිඹේ මහා විද්‍යාලය මාතලේ, ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසල, මිරිහානේගම මහා විද්‍යාලය.
  • C කාණ්ඩය (උතුරු මැද සහ උතුරු පළාත) – එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය විද්‍යාලය, හබරණ ආදර්ශ විද්‍යාලය, මන්නාරම පේසලායි සාන්ත ෆාතිමා මධ්‍ය මහා විද්‍යාලය, ජයසිරිපුර විද්‍යාලය, අතරගලේවැව මහා විද්‍යාලය, කුරුකන්කුලම විජයබා මහා විද්‍යාලය.
  • D කාණ්ඩය (ඌව සහ නැගෙනහිර පළාත) – ඔක්කම්පිටිය විජයබා විද්‍යාලය, වැල්ලවාය එතිලිවැව මහා විද්‍යාලය, මහියංගනය ඔරුබෙන්ඩි මහා විද්‍යාලය, නමුණුකුල නවලගම මහා විද්‍යාලය, අම්පාර රුහුනුගම විද්‍යාලය.
  • E කාණ්ඩය (දකුණ සහ බස්නාහිර පළමු) – රත්ගම දේවපතිරාජ විද්‍යාලය, මාතර අනුර මහා විද්‍යාලය, වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය, පානදුර සාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය, දොඹගොඩ සීලරත්න මහා විද්‍යාලය, අවිස්සාවේල්ල මීගොඩ මහා විද්‍යාලය.
  • F කාණ්ඩය (බස්නාහිර දෙවන) – ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, මොරටුව වේල්ස් කුමාරි විද්‍යාලය, මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විද්‍යාලය, නුගේගොඩ අනුලා විද්‍යාලය, මාරපොල මහා විද්‍යාලය.

තරගාවලියේ සියලූම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න අප සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<