පාකිස්තාන ලෝක කුසලාන සංචිතයේ වෙනසක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

299

2021 පන්දුවාර විස්ස ලෝක කුසලානය සඳහා නම් කළ පාකිස්තාන සංචිතයට අත්දැකීම් බහුල පිතිකරුවෙකු වන Shoaib Malik කැඳවීමට පාකිස්තාන තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

පාකිස්තාන සංචිතය සඳහා නම් කළ පිතිකරු Sohaib Maqsood දේශීය තරග අතරතුර දී ආබාධයකට ලක්වීම නිසාවෙන් හිස්වූ ලෝක කුසලාන සංචිතයේ ස්ථානයට මෙලෙස Shoaib Malik කැඳවා තිබෙනවා.

මෙම ක්‍රීඩක ආදේශය පිළිබඳව අදහස් දක්වමින් පාකිස්තාන තේරීම් කමිටු නිලධාරි Muhammad Wasim ප්‍රකාශ කර තිබුණේ,

මෙම ලෝක කුසලානය සඳහා වෙහෙස වී වැඩ කිරීම නිසා මෙන්ම ඉතාමත් හොඳ රිද්මයක සිටි නිසා ලෝක කුසලාන තරගාවලිය අහිමි වීම පිළිබඳව Sohaib ගොඩක් කනගාටුවට පත්වෙනවා. අපිට ඔහුගේ තත්වය තේරුම් ගියත් මෙම ආබාධ ක්‍රීඩාවේ ම කොටසක්.

ඒ නිසා අපි තීරණය කළා Shoaib Malik ලෝක කුසලාන සංචිතයට කැඳවන්න. මට විශ්වාසයි ඔහුගේ අත්දැකීම් කණ්ඩායමට හොඳ දෙයක් වෙයි කියලා.”

පාකිස්තානයෙන් බිහි වූ සුපිරිතම පිතිකරුවෙකු වන Shoaib Malik 2009 සහ 2010 විස්සයි විස්ස ලෝක කුසලානවල දී පාකිස්තාන සංචිතයේ නායකත්වය දැරූ අතර 2010 ලෝක කුසලානය හැර අනෙක් සියලුම තරගාවලිවල දී පාකිස්තාන කණ්ඩායම ද නියෝජනය කළා.

මෙය පාකිස්තාන ලෝක කුසලාන සංචිතයේ සිදු කළ සිව්වැනි වෙනස්කම වන අතර මීට පෙර Sarfaraz Ahmed, Haider Ali සහ Fakhar Zaman ලෝක කුසලාන සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව කටයුතු කර තිබුණා.

පාකිස්තාන කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ සහභාගී වන පුහුණු තරග දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවැත්වීමට නියමිතව ඇති අතර ලෝක කුසලානයේ සහභාගී වන පළමු තරගය ඔක්තෝබර් 24 වැනිදා ඔවුන්ගේ ප්‍රබලතම ප්‍රතිවාදීන් වන ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<