කවිෂ්ක සේනාධීරගේ කඩුලු 13 ත්‍රිත්ව ජයට එළියක් වෙයි

134

අනාගතයේ ලොව දිනන පාසල් ක්‍රිකට් තරු සොයා යාමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (23) සාර්ථකව අවසන් වූ අතර ඒ අතරින් කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය පරාජයට පත් කළ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ඉනිමක හා ලකුණු 57ක දැවැන්ත ජයක් ලබා ගැනීමට සමත් විය.

“ඔවුන් අපට කිසිම අවස්ථාවක් දුන්නේ නැහැ” – කේන් විලියම්සන්

නිමා වූ ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වැටී සිටි අවදානම කෙතරම් ද කියා ඔබට මතක ඇති. ඒ අවදානමේ තරම කෙතරම්…

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය

මහනුවර, අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී D කාණ්ඩයේ තරගයක් ලෙස නිමාව දුටු මේ තරගයෙන් ඉනිමක හා ලකුණු 57ක දැවැන්ත ජයක් ලබා ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් විය.

තරගය ඊයේ (22) දිනයට අවසන් වෙද්දී ත්‍රිත්ව විද්‍යාලයේ පළමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ  අභිෂේක් ආනන්දකුමාර් අර්ධ ශතකයක් වාර්තා කර ගෙන කඩුල්ලේ රැඳී සිටියේ මනරම් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 81*ක් වාර්තා කරගෙනයි. දිනයේ ආරම්භයේ දී ම ඔහුගේ කඩුල්ල දැවී යාමත් සමඟම සිය පළමු ඉනිම අත්හිටුවීමට ත්‍රිත්ව විද්‍යාලය තීරණය කළේය. පසිඳු තෙන්නකෝන් කඩුලු 3යි.

ලකුණු 124ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පැමිණි සාන්ත ආනා විද්‍යාල ක්‍රීඩකයින් එම අවාසිය පියවාගැනීමට පෙරාතුව සියල්ලන්ම දැවී ගියේය. පළමු ඉනිමේ දී මෙන්ම දෙවන ඉනිමේ දී ද සාන්ත ආනා පිතිකරුවන් ඉතාමත් හොඳින් පාලනය කළ ත්‍රිත්ව විද්‍යාලයේ දකුණතින් පිට දඟපන්දු යවන කවිෂ්ක සේනාධීර සාන්ත ආනා දෙවන ඉනිමත් සුනුවිසුනු කළේ සිය විද්‍යාලයට තරගයේ සම්පූර්ණ වාසිය හිමික රදෙමිනි.

Photos: Dharmapala College vs Nalanda College | U19 Cricket Tournament 2018/19

සාන්ත ආනා විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 68ක් වැනි අඩු ලකුණු ප්‍රමාණයකි. අවම ලකුණු මට්ටමකට සාන්ත ආනා පළමු ඉනිම හා දෙවන ඉනිම සීමා කළ සේනාධීර තරගය පුරාවට ලකුණු 54කට කඩුලු 13ක් දවා ගනිමින් සුපිරි පන්දු කරණයක නිරත විය.

සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම: 68 (38.2): කවිෂ්ක සේනාධීර 6/26.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම: 192/5d (28.4): අභිෂේක් ආනන්දකුමාර් 86, පුබුදු බණ්ඩාර 29, කවිෂ්ක සේනාධීර 29, පසිඳු තෙන්නකෝන් 3/48.

සාන්ත ආනා විද්‍යාල දෙවන ඉනිම: 67 (35.3): කවිෂ්ක සේනාධීර 7/28, උමෙයිර් රයිසාන් 3/24.

සාන්ත බෙනඩික්ට් හා මාතර සාන්ත තෝමස් වැඩි වාසිය අතට ගනී

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක් අද (22) සාර්ථක….

මොරටු මහා විද්‍යාලය හා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය

සත්කාරක මොරටු මහා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි වෙමින් මෙම තරගය නිමාවට පත්විය.

ඊයේ (22) අයහපත් ආලෝකය නිසාවෙන් පළමු දිනයට තරගය නවතා දමන විට මොරටු මහා විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 249ක් ලබාගෙන සිටියේ නිශාන් මදුෂ්ක (ලකුණු 78) හා චමල්ක පුෂ්පකුමාර (ලකුණු 71) ලබා ගත් අර්ධ ශතක සහායක් කරගෙනයි.

අද දිනයේ පළමු කාර්තුව තුල දී ම සිය පළමු ඉනිම ලකුණු 295කට සීමා කර ගත් මොරටු මහා විද්‍යාලය සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම ලකුණු 129කට සීමා කළේය. පැතුම් විහඟ ලකුණු 83කට කඩුලු 5යි.

>>Photos: Thurstan College v Prince Of Wales College – Singer U19 Cricket Tournament 2018/19<<

ලකුණු 166ක දැවැන්ත පළමු ඉනිමේ වාසියක් සහිතව නැවතත් පිත්ත නැවතත් අතට ගත් මොරටු මහා විද්‍යාලය ඉක්මනින්ම ලකුණු ප්‍රමාණයක් රැස්කර ගත්තේ තරගයේ ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන් වුවත් ඔවුන්ගේ කඩුලු කිහිපයක් ඉක්මනින්ම බිඳ වැටීම නිසා ඒ වෑයම එතරම් සාර්ථක නොවීය.

කෙසේ නමුත් ලකුණු 229ක ඉලක්කයක් සිය ප්‍රතිවාදීන් හට හිමි කර දුන් මොරටු මහා විද්‍යාලය තරගයේ නියමිත කාලය අවසන් වන විට සාන්ත අන්තෝනි විද්‍යාල දෙවන ඉනිමේ කඩුලු 3ක් දවාගෙන තිබූ නමුත් අවසන් කඩුලු 7 දවා ගැනීමට තරම් කාලයක් ඔවුන්ට නොලැබී ගියේය. මේ තරගය සුහද කාණ්ඩයේ තරගයකි.

මොරටු මහා විද්‍යාල පළමු ඉනිම – 295 (72.1): නිශාන් මදුෂ්ක 78, චමල්ක පුෂ්පකුමාර 71, ඩිල්ෂාන් දුලක්ෂණ 33*, පැතුම් විහඟ 5/83.

සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම – 129 (47): අවිශ්ක තරිඳු 43, ජොයෙල් පින්ටෝ 37, එරන් හංසමාල් 5/29.

මොරටු මහා විද්‍යාල දෙවන ඉනිම – 62/7d (20.2): පැතුම් විහඟ 4/19.

සාන්ත අන්තෝනි විද්‍යාල දෙවන ඉනිම – 35/3 (12.3):

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග

කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය

කාසියේ වාසිය දිනා ගත්  සත්කාරක තර්ස්ටන් විද්‍යාලයේ නායක සඳරු ඩයස් පළමුව පන්දුවට පහර දීමට වේල්ස් කුමර විද්‍යාලයට ආරාධනා කළේය.  සුහද තරගයක් ලෙස පැවැත්වූ මේ තරගයේ පළමු දිනය අයහපත් ආලෝක තත්වය නිසාවෙන් නවතා දමන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි වේල්ස් කුමර විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 220ක් ලබාගෙන සිටියේය.

වේල්ස් කුමර විද්‍යාලයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 12ක් ලබා සිටි තරිඳු අමරසිංහගේ දැවී යාමත් සමඟම පිටියේ එක්වූ වමත් හා දකුණත් පිතිකරුවන් යුගලය වන විනුජ රන්පුල් හා ප්‍රින්ස් ප්‍රනාන්දු දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 74ක සබඳතාවයක් ගොඩනංවන ලදි.

එහි දී 4 පහර 7ක් සමඟින් මෙම තරග වාරයේ ලබා ගත් තෙවන අර්ධ ශතකය වාර්තා කර ගත් ප්‍රින්ස් ප්‍රනාන්දු ලකුණු 53ක් ලබා ගනිමින් තරගයේ පළමු දිනය අවසානයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. ඊට අමතරව විනුජ රන්පුල්, නායක සුවත් මෙන්ඩිස්  හා නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳි සිටින දේවක පීරිස් (ලකුණු 38*) ලකුණු අතරට පිවිසියේය.

දඟපන්දු යවන ක්‍රීඩක හා නායක සඳරු ඩයස් තරගයේ පළමු දිනය තුලම වේල්ස් කුමර විද්‍යාලයේ කඩුලු 3ක් ලකුණු 74ක් තුල දවා ගත්තේය.

වේල්ස් කුමාර විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 220/6 (92): ප්‍රින්ස් ප්‍රනාන්දු 53, සුවත් මෙන්ඩිස් 43, දේවක පීරිස් 38*, විනුජ රන්පුල් 36, සඳරු ඩයස් 3/74.

කුරුණෑගල මලියදේව විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය

ඇතුගල්පුරයේ පැවති මේ සුහද තරගය කුරුණෑගල මලියදේව විදුහල් පිටියේ දී පළමු දිනයට ක්‍රියාත්මක විය. කාසියේ වාසිය දිනා ගත් සත්කාරක මලියදේව විද්‍යාලය ලබාගත් ලකුණු 123 වෙනුවෙන් වැඩි දායකත්වයක් දැක්වූ සුපුන් සුමානරත්න ලකුණු 36යි. අරෝෂණ ද සොයිසා ලකුණු 18කට කඩුලු 4ක් දවා ගනිමින් ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්විය.

තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ධර්මාශෝක විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 196ක් ලබාගෙන සිටින ලදි. ඒ නිසාවෙන් මේ තරගයේ පළමු දිනය අවසානයේ දී ම සිය පළමු ඉනිමේ ජය තහවුරු කරගැනීමට ධර්මාශෝක විද්‍යාලයට හැකි විය. එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දකුණතින් පිතිකරණයේ නිරත වන සේනා දේසායි ලකුණු 51ක් ලබාගෙන සිය අර්ධ ශතකය සපුරාගත් අතර නායක දිනුක් ඩිල්ෂාන් නැවත නැවතත් ලකුණු අතරට එමින් සිය දස්කම් ඔප මට්ටම් කරගන්නා ලදි. මලියදේව විද්‍යාලය වෙනුවෙන් ලකුණු 19කට කඩුලු 4ක් දවා ගැනීමට නිතිල ධර්මදාස සමත් විය.

මලියදේව විද්‍යාල පළමු ඉනිම – 123 (37.2): සුපුන් සුමනරත්න 36, නිසංජය හෙට්ටිආරච්චි 27, අරෝෂණ ද සොයිසා 4/18, කවිඳු නදීශාන් 3/42.

ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ): 196/8 (47.4): සේන දේසායි 51, දිනුක් ඩිල්ශාන් 40, අරෝෂණ ද සොයිසා 42, නිතිල ධර්මදාස 4/19.

පළමු දිනයට පැවැත්වූ තරග හෙට (24) දෙවන දිනයටත් පැවැත්වෙන අතර එහි තරග තොරතුරු ද ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. එසේම මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැත්වෙන තරගය හෙටත් (24) උදෑසන 9.30 සිට සජීව ලෙස ඔබ වෙත රැගෙන ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<