ශාන්ත ජෝසප්, ආනන්ද සහ තර්ස්ටන්ට ප්‍රථම දිනයේ වැඩි වාසි

572
Dineth Madurawala

ශාන්ත පැට්‍රික් විද්‍යාලයට එරෙහිව අගනා ශතකයක් හිමි කර ගන්නට ශාන්ත ජෝසප් විද්‍යාලයේ ක්‍රීඩක දිනෙත් මදුරාවල ඊයේ (16)  දිනයේදී සමත්කම් දැක්වීය. ඔහු විසින් මෙම දක්ෂතාවය පෙන්නුම් කළේ යාපනයේ දී පැවති 19න් පහළ පාසල් ක්‍රිකට් තරගයක් අතරතුරදීයි.

පසුගිය ලිපි: තුන් ඉරියව් දක්ෂතා නිසා ශාන්ත තෝමස් විද්‍යාලයට විශිෂ්ට ජයක්

ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ ප්‍රධාන දේවගැති ජේරෝ සෙල්වනායගම් සහ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ප්‍රධාන දේවගැති ට්‍රැවිස් ගැබ්‍රියෙල් විසින් මූලික අඩිතාලම දමා දුන් මෙම විද්‍යාල දෙක අතර තරගය, මෙතැන් පටන් වාර්ෂිකව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ජෝසප් විද්‍යාලයේ නායක හරීන් කුරේ ඔවුන් මෙවර තරග වාරයේ මුහුණදෙන පළමු තරගය වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමේ අභියෝගයට මුල පිරුවේය. ඔහුගේ තීරණයට උපරිම සාධාරණයක් ඉටු කළ ජෝසප් විද්‍යාලයේ පිතිකරුවන් ලකුණු අතරට පිවිසෙමින් කඩුලු 5කට ලකුණු 386ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරන ලදී.

දිනයේ වීරයා බවට පත්වූ දිනෙත් මදුරාවල දැකුම්කළු ඉනිමක නිරත වෙමින් හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමගින් පන්දු 106ක් තුලදී නොදැවී ලකුණු 101ක් රැස් කරන්නට සමත් විය. ඔහුට අනගි සහයක් ලබා දුන් ඩැනියෙල්, නිපුන් හා රේවන් ජෝසප් විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කරන ලදී.

දිනයේ නිමාව සනිටුහන් වන විට පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන පැට්‍රික් විද්‍යාලය ලකුණු 65කට කඩුලු 6ක් බිඳ වැටී ඉතාමත් අසීරු අඩියක පසුවේ. ජෝසප් විද්‍යාලය වෙනුවෙන් ඉතාමත් හොඳ පන්දු යැවීමක නිරත වුනු නායක හරීන් කුරේ සහ ජෙහාන් ඩැනියෙල් කඩුලු 2 බැගින් ලබා ගත්හ.

ශාන්ත ජෝසප් විද්‍යාලය – කඩුලු 5ක් දැවී ලකුණු 386 (පන්දුවාර 63) – දිනෙත් මදුරාවල 101* ජෙහාන් ඩැනියෙල් 70, නිපුන් සුමනසිංහ 68, රේවන් කෙලී 69, පහන් පෙරේරා 37*, එන්. මුනික් 2/110, ජී. රතීශාන් 2/88.

ශාන්ත පැට්‍රික් විද්‍යාලය – කඩුලු 6ක් දැවී ලකුණු 65 (පන්දුවාර 32) – ජේ. අනුජන් 15, හරීන් කුරේ 2/4, ජෙහාන් ඩැනියෙල් 2/11.


ආනන්ද විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර තරගය

ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහිව ඊයේ දිනයේදී පැවති තරගයේ ප්‍රථම දිනය නිමාවන විට වැඩි වාසිය තමන් සතු කර ගැනීමට ආනන්ද විද්‍යාලය සමත් විය. වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගයක් වූ මෙය පනාගොඩ හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනූ ආනන්ද විද්‍යාලයේ නායක කවිශ්ක අන්ජුල මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව මහින්ද විද්‍යාලයට ලබා දුන්නේය. ඒ අනුව පිටියට පිවිසි මහින්ද පිළේ පිතිකරුවන්ට පිටියේ වැඩි වේලාවක් රැඳී සිටින්නට ඉඩ නොදුන් ආනන්ද විද්‍යාලයේ වමත් දඟ පන්දු යවන්නන් දෙපළ වන අසේල සිගේරා සහ දිලීප ජයලත් කඩුලු 3 බැගින් තමන් අතරේ බෙදා ගන්නට සමත් විය.

මහින්ද විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කවිඳු ලකුණු 35ක් සහ කෙවින් නොදැවී ලකුණු 33ක් රැස් කල ද ඔවුන්ට ඉනිම අවසානයේදී ලබාගත හැකි වූයේ ලකුණු 131ක් පමණි.

දිනය නිමා වන විට එම ලකුණු සංඛ්‍යාව කඩුලු 5ක් පමණක් දැවී සම කරන්නට ආනන්ද පිතිකරුවන් සමත් විය. නායක කවිශ්ක අන්ජුල නොදැවී ලකුණු 31ක් ලබමින් පිටියේ රැඳී සිටියි.

මහින්ද විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 131 (පන්දුවාර 66) – කවිඳු එදිරිවීර 35, කේ. කෙවින් 33*, අසේල් සිගේරා 3/16, දිලීප ජයලත් 3/21, සුපුන් වරාගොඩ 2/22.

ආනන්ද විද්‍යාලය – කඩුලු 5ක් දැවී ලකුණු 131 (පන්දුවාර 32) – කවිඳු ගිම්ගාන 36, සහන් සුරවීර 32, කවිශ්ක අන්ජුල 31*.


තර්ස්ටන් විද්‍යාලය හා ධර්මපාල විද්‍යාලය අතර තරගය

උප නායක නිපුන ලක්ෂාන් විසින් බිඳ හෙලන ලද කඩුලු 5 නිසාවෙන් ප්‍රථම දිනයේදීම තරගයේ පෙරමුණ ගන්නට තර්ස්ටන් විද්‍යාලය සමත් විය. පන්නිපිටියේදී පැවති මෙය වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග වාරයේ තවත් තරගයකි.

තර්ස්ටන් විද්‍යාලයේ ඇරයුමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ධර්මපාල ක්‍රීඩකයින්ට මෙවරද පිත්තෙන් සාර්ථක වන්නට හැකි වූයේ නැත. මහිම වීරකෝන් සහ ගිම්හාන් පෙරේරා පිළිවෙලින් ලකුණු 39ක් හා 25ක් බැගින් රැස් කරද්දී ඔවුන්ගේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 118කට පමණක් සීමා විය. අනර්ඝ පන්දු යැවීමක නිරත වුනු ලක්ෂාන් ලකුණු 33ක් පමණක් ලබාදෙමින් ප්‍රතිවාදී කඩුලු 5කට වග කියන්නට සමත් විය.

ඊයේ දිනයට තරගය නතර කරන විට තර්ස්ටන් විද්‍යාලය කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 205ක් ලබා සිටි අතර ඒ සඳහා සවන් ප්‍රභාෂ් සහ කසුන් අබේරත්න පිළිවෙලින් ලකුණු 58ක් හා 41ක් ලබමින් දායකත්වය දැක්වූහ. නොදැවී පන්දුවට පහර දෙන නායක චරණ නානායක්කාර ලකුණු 27ක් ද, ප්‍රගීෂ මෙන්ඩිස් ලකුණු 72ක් ද ලබා සිටිති.

ධර්මපාල විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 118 (පන්දුවාර 40.3) – මහිම වීරකෝන් 39, ගිම්හාන් පෙරේරා 25, නිපුන ලක්ෂාන් 5/33, තුශාල් මදුශංක 2/24.

තර්ස්ටන් විද්‍යාලය – කඩුලු 2ක් දැවී ලකුණු 205 (පන්දුවාර 52) – ප්‍රගීෂ මෙන්ඩිස් 72*, සවන් ප්‍රභාෂ් 58, කසුන් අබේරත්න 41, චරණ නානායක්කාර 27*.

(මෙම තරග තුනම අද දිනයටත් ක්‍රියාත්මක වේ)

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට