තුන් ඉරියව් දක්ෂතා නිසා ශාන්ත තෝමස් විද්‍යාලයට විශිෂ්ට ජයක්

493

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය ක්‍රීඩකයන් තම දඟ පන්දුව ඉදිරියේ අසරණ කරමින් සිය පාසල දැවැන්ත ජයග්‍රහණයක් කරා මෙහෙයවීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක පවිත් රත්නායක අද (15) සමත් විය. තම විද්‍යාලය ඉනිමක හා ලකුණු 124ක ජයක් ලබන විට දීප්තිමත් අනාගතයකට උරුමකම් කිව හැකි මෙම යොවුන් දඟ පන්දු යවන්නා විසින් තරගය පුරාවට බිඳ හෙලා තිබූ කඩුලු ගණන 10කි.

පසුගිය ලිපි: නිස්සංක සහ උදීශාන් සිය පාසල් ජය ටැඹ කරා මෙහෙයවයි

අද උදෑසන දෙවන දිනයටත් තරගය ආරම්භ කරන විට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටි ධර්මපාල ක්‍රීඩකයෝ ලකුණු 40ක් තුලදී කඩුලු 3ක් බිඳ වැටී තරමක පීඩනයකින් පසුවූහ. ඊයේ දිනයේදී මන්තිල විජේරත්න හා ඉශේන් පෙරේරාගේ විශිෂ්ට ශතක දෙකෙන් පණ ලැබූ තෝමස් ඉනිම කඩුලු 7කට ලකුණු 339ක් ලෙස සටහන් වීම ඔවුන්ට දැඩි හිසරදයක් වූවාට සැකයක් නැත.

එම පීඩනය ප්‍රතිවාදීන්ගෙන් ගිලිහෙන්නට ඉඩ නොදුන් ශාන්ත තෝමස් පිළේ දකුණත් මද වේග පන්දු යවන ක්‍රීඩක දිනුර ගුණවර්ධන හා පවිත් රත්නායක කඩුලු 3 බැගින් බිඳ හෙලමින් ධර්මපාල ක්‍රීඩකයින් ලකුණු 111කට සීමා කරන්නට සමත් විය. අසාර්ථක ප්‍රථම ඉනිම නිසාවෙන් දෙවන වරටත් පන්දුවට පහර දීමට සිදුවූ ධර්මපාල ක්‍රීඩකයින්ට එහිදී ද රැස් කර ගත හැකිවූයේ සියල්ලන්ම දැවී ලකුණු 104ක් පමණි.

තෝමස් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් කලකට අමතක නොවන පන්දු යැවීමක නිරත වුනු පවිත් රත්නායක දෙවැනි ඉනිමේදී ද නැවත වරක් ක්‍රියාත්මක වෙමින් ලකුණු 47ක් තුලදී ධර්මපාල පිතිකරුවන් 7 දෙනෙක්ම නැවතත් ක්‍රීඩාගාරයට හරවා යවන ලදී. ඔහුට අගනා සහයක් ලබාදුන් තෝමස් විද්‍යාලයේ අනෙක් වමත් දඟ පන්දු යවන්නා වන ඩෙලෝන් පීරිස් කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් විය. ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ හශන්ත විශ්වජිත් විසින් රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව 30කි.

මෙය මෙවර තරගාවලියේදී ධර්මපාල විද්‍යාලය අඛණ්ඩව ලැබූ දෙවන පරාජයයි. මීට සතියකට පමණ පෙර ඔවුන් වේල්ස් කුමර විද්‍යාලය හමුවේද පරාජයට පත්විය.

ජයග්‍රාහී තෝමස් ක්‍රීඩකයින් මීළඟ තරගයේදී කේම්බ්‍රියන් ක්‍රීඩකයින් මුණ ගැසීමට නියමිතව ඇත. ඒ සැප්තැම්බර් 22 හා 23 යන දිනයන්හී ගල්කිස්සේ දීය.

ශාන්ත තෝමස් විද්‍යාලය – කඩුලු 7ක් දැවී ලකුණු 339 (පන්දුවාර 80.2) – ඉශේන් පෙරේරා 107, මන්තිල විජේරත්න 102, රවිඳු කොඩිතුවක්කු 62, මහිම වීරකෝන්, 2/86, චමිඳු සමරසිංහ 2/89.

ධර්මපාල විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 111 (පන්දුවාර 41.2) – කණිෂ්ක ජයසුන්දර 23, ගිම්හාන් මුණසිංහ 21, දිනුර ගුණවර්ධන 3/30, පවිත් ජයරත්න 3/29.

ධර්මපාල විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 104 (පන්දුවාර 34.3) – දුලාජ් එගොඩගේ 28, හශන්ත විශ්වජිත් 30, පවිත් රත්නායක 7/47, ඩෙලෝන් පීරිස් 2/20.


ත්‍රිත්ව විද්‍යාලය හා ශාන්ත සර්වේසස් විද්‍යාලය අතර තරගය

අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමා වනවිට ශාන්ත සර්වේසස් විද්‍යාලය සිය ප්‍රථම ඉනිමට රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාවම ත්‍රිත්ව විද්‍යාලීය ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිම වෙනුවෙන් රැස් කරගෙන සිටියෝය.

ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට ත්‍රිත්ව විද්‍යාලය සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස් කරගත් ලකුණු 188 වෙනුවෙන් පිලිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සර්වේසස් ක්‍රීඩකයින් කඩුලු 4ක් බිඳ වැටී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 77කි.

 ත්‍රිත්ව විද්‍යාලය සහ ශා. සර්වේසස් විද්‍යාලය අතර තරගයේ ඡායාරූප ඇල්බමය 

ත්‍රිත්ව විද්‍යාලයේ වමත් දඟ පන්දු යවන්නා වන විමුක්ති නැදුමාල් විසින් මැද පෙළ සුනු විසුණු කරමින් දවාගත් කඩුලු 4 හේතුවෙන් ප්‍රතිවාදී සර්වේසස් විද්‍යාලය ලකුණු 166කට සීමා විය. ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන තිලාන් ප්‍රශාන් සටන්කාමී ඉනිමක නිරත වෙමින් තම කණ්ඩායම වෙනුවෙන් ලකුණු 53ක් ලබා ගන්නට සමත් විය. නමුත් ත්‍රිත්ව විද්‍යාලයේ වමත් පන්දු බල ඇණිය වන නැදුමාල්, නායක සනුගීත් සහ තිසරු ඩිල්ශාන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ප්‍රතිවාදී කඩුලු 9ක් තමන් අතරේ බෙදා ගත්හ.

සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලීය ක්‍රීඩකයෝ තරගය ජය පරාජයෙන් තොරව නිමා වන විට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 166ක් ලබා සිටියහ. ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් ඉතාමත් ස්ථාවර ඉනිම් දෙකක් ක්‍රීඩා කළ කළණ ද සොයිසා සහ උප නායක හසිත බෝයගොඩ නොදැවී අර්ධ ශතක වාර්තා කරන්නට සමත් වූහ.

ත්‍රිත්ව විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 188 (පන්දුවාර 67.1) – හසින්ත ජයසූරිය 58, තිසරු ඩිල්ශාන් 30, ශෙවෝන් ෆර්සිවල් 25, තිලාන් ප්‍රශාන් 2/27, ශශික ඩිල්ශාන් 4/44.

ශාන්ත ශර්වේසස් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 166 (පන්දුවාර 76.5) – තිලාන් ප්‍රශාන් 53, පසිඳු මනුප්‍රිය 35, තිසරු ඩිල්ශාන් 3/70, විමුක්ති නැදුමාල් 4/37, එස්. සනුගීත් 2/28.

ත්‍රිත්ව විද්‍යාලය (දෙවැනි ඉනිම) – එක් කඩුල්ලක් දැවී ලකුණු 166 (පන්දුවාර 39.2) – හසිත බෝයගොඩ 68*, කළණ ද සොයිසා 57*, එස්. සනුගීත් 33.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට