ඇෆ්ගනිස්ථානය පෙරළිකාර දස්කම් දක්වද්දී ඉන්දියාවත් දස්කම් අතරට

67

8 වැනි වරට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක අද (5) කොළඹ දී පැවැත්වුණු අතර එහි දී ඇෆ්ගනිස්ථාන හා ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කර ගැනීමට සමත් විය. ඔවුන් හමුවේ පිළිවෙළින් පාකිස්තාන හා කුවේට් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පරාජයට පත් විය.

ගෞරවාන්විතව තරගාවලියට තිත තැබීමට ශ්‍රී ලංකාවට හැකි වෙයි ද?

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට්…..

ඇෆ්ගනිස්ථානය හා පාකිස්තානය 

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වුණු මේ තරගයට උදෑසන ඇදහැළුණු වර්ෂාපතනය නිසා තරගය ආරම්භ කිරීමට මිනිත්තු කිහිපයක් ප්‍රමාද විය. ඒ නිසාවෙන් එක් කණ්ඩායමකට පන්දුවාර 46 බැගින් වන තරගයක් ලෙස මේ තරගය ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානු නායක රොහෙයිල් නසීර් පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායකයාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වූ නායක ෆර්හාන් සාකිල් හා සෙදිකුල්ලා අටල් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 68ක් තුල ලකුණු 47ක සබඳතාවයක් ගොඩනැංවිය. 

නමුත් ෆහඩ් මුනිර් හා ආමිර් අලි වැනි දඟ පන්දු යවන්නන් හමුවේ ඇෆ්ගන් මැදපෙළ තරුණ පිතිකරුවන් අසරණ වූ නිසා ඔවුන්ගේ ඉතිරි කඩුලු 8 ලකුණු 81 තුල බිඳ වැටුණු නමුත්, 10 වැනි කඩුල්ලට පිටියේ එක්වූ ජම්ෂිඩ් ඛාන් සහ නූර් අහමඩ් එම ලකුණු පුවරුව සටනක් තරගයක් ලබා දිය හැකි මට්ටමේ ලකුණු සංඛ්‍යාවක් වෙත රැගෙන ගියේය. 

එම කඩුල්ලේ නොබිඳුණු සබඳතාවය ලකුණු 34*ක් වූ අතර එහි දී ජම්ෂිඩ් සහ නූර් නොදැවී ලකුණු 17* බැගින් රැස් කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 162ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානු කණ්ඩායමේ පිතිකරුවන් සියලුම දෙනා පන්දුවාර 19 කුත් පන්දු 4ක් තුල දවාලීමට ශෆිකුල්ලා ගෆාරි ප්‍රමුඛ ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ සමත්වූයේ ලකුණු පුවරුව ලකුණු 78ක් ලෙස සටහන්ව තබමිනි. ඒ සඳහා ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් හට ඔවුන්ගේ පන්දු රකින්නන්ගෙන් අගනා සහායක් හිමි විය.

පන්දු යැවීමෙන් කැපී පෙනුණු ශෆිකුල්ලා ගෆාරි ලකුණු 15කට කඩුලු 3ක් දවා ගන්නා විට, ෆසල් හක්, අබිදුල්ලා ටනිවාල් සහ නූර් අහමඩ් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය. පාකිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කර ගත් ඉර්ෆාන් ඛාන් ලකුණු 19ක් වාර්තා කරගන්නා ලදි.

ඇෆ්ගනිස්ථානය – 162/9 (46): සෙදිකුල්ලා අටල් 29, රහමනුල්ලා 27, ෆහඩ් මුනිර් 3/23, ආමිර් අලි 3/34, අබ්බාස් අෆ්රිඩි 2/26

පාකිස්තානය – 78 (19.4): ශෆිකුල්ලා ගෆාරි 3/15, නූර් අහමඩ් 2/12, ෆසල් හක් 2/21,  අබිදුල්ලා ටනිවාල් 2/21

ඇෆ්ගනිස්ථානයට ලකුණු 85ක ජයක්.

Photos: Sri Lanka U19 Cricket Team for Youth Asia Cup 2019

ThePapare.com | Waruna Lakmal | 05/09/2019 Editing and re-using…..


ඉන්දියාව හා කුවේට් 

මෙම තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා තරගය ආරම්භ කිරීමට හැකි වූයේ දහවල් 2ටයි. එක් ඉනිමක් පන්දුවාර 23කට සීමා වූ මේ තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම මන්දගාමී සී. සී. සී තණතීරුව මත පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් කුවේට් තරුණ කණ්ඩායම සිය නියමිත පන්දුවාර 23 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 110ක් රැස්කර ගත්තේය. එහි දී මීට් භාව්සාර් ලකුණු 28ක් ලබා ගනිමින් කුවේට් ලකුණු සටහන එවැනි මට්ටමක් දක්වා රැගෙන යාමට වැඩි දායකත්වයක් දැක්විය. පන්දු යැවීමේ දී දකුණතින් මද වේගපන්දු යවන පූර්නක් ත්‍යාගි ලකුණු 28කට කඩුලු 3ක් දවාලමින් දස්කම් දක්වන ලදි. 

ගියවර ශූරතාවය දිනා ගත් ප්‍රබල ඉන්දීය කණ්ඩායමට සිය ජයග්‍රහණ සඳහා හිමි වූ ලකුණු 111 පහසු ඉලක්කය කඩුලු 3ක් පමණක් වැය කර ගනිමින් සපුරා ගැනීමට ඉන්දීය පිතිකරුවන් සමත් විය. ඒ සඳහා ඔවුන් හට වැය වූයේ පන්දුවාර 19කුත් එක් පන්දුවක් පමණි. ඉන්දීය කණ්ඩායම පහසුවෙන්ම එම ඉලක්කය වෙත රැගෙන ගිය දකුණතින් පිතිකරු අර්ජුන් අසාඩ් 4 පහර 5ක් හා 6 පහර 2ක් එල්ල කරමින් නොදැවී ලකුණු 60*ක් වාර්තා කරගත්තේ පන්දු 58ක් පමණක් වැය කරමින් වීම සුවිශේෂී වේ.

කුවේට් – 110/7 (23): මීට් භාව්සාර් 28, ගෝකුල් කුමාර් 25, ආකාශ් සිං 3/22, පූර්නක් ත්‍යාගි 3/28

ඉන්දියාව – 114/3 (19.1): අර්ජුන් අසාඩ් 60*

ඉන්දියාවට කඩුලු 7ක ජයක්

තරගාවලියේ තවත් තරග දෙකක් පහත සඳහන් පරිදි අද (6) පැවැත්වෙන අතර තරග සියල්ලම ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 10ට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

  • ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම හා නේපාල 19න් පහළ කණ්ඩායම – කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී
  • බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය 19න් පහළ කණ්ඩායම – කටුනායක මේරියන්ස් ක්‍රිකට් පිටියේ දී 

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<