ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ පසු බසී

69
U19 Asia Cup 2024 - Sri Lanka SF match

ආසියානු ක්‍රිකට් කවුන්සිලය 11 වැනි වරටත් සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ ගමන් මඟ ඉන්දීය කණ්ඩායම විසින් නිමා කළා.

Sharja ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (6) පැවැති 2 වැනි අවසන් පූර්ව වටයේ තරගයෙන් ඉන්දීය ක්‍රීඩකයන් ඉදිරියේ ශ්‍රී ලංකාවට කඩුලු 7ක පරාජයකට මුහුණ දීමට සිදු වීමත් සමඟින් ශ්‍රී ලංකාවට මෙම ඉරණමට මුහුණ දීමට සිදු වුනා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 173ක් ලබා ගත් අතර හඹා ගිය ඉනිමේ දී ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

විහස් තෙව්මික (නායක), පුලිඳු පෙරේරා, දුල්නිත් සිගේරා, ශාරුජන් ශන්මුගනාදන් (කඩුලු රකින්නා), විමත් දින්සර, ලක්වින් අබේසිංහ, කවිජ ගමගේ, විරාන් චමුදිත, ප්‍රවීන් මනීශාන්, නිව්ටන් රන්ජිත්කුමාර් සහ කුගදාස් මතුලාන්.

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

Mohamed Amaan (නායක), Ayush Mhatre, Vaibhav Suryavanshi, C Andre Siddarth, KP Karthikeya, Nikhil Kumar, Harvansh Pangalia  (කඩුලු රකින්නා), Hardik Raj, Kiran Chormale, Chetan Sharma සහ Yudhajit Guha

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර ඔවුන්ගේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 8ක් වෙද්දී දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වුනා. ඒ අනුව දුල්නිත් සිගේරා (2), පුලිඳු පෙරේරා (6) සහ විමත් දින්සර (0) අඩු ලකුණුවලට තම ඉනිම් සීමා කර ගත්තා.

අනතුරු ව ශාරුජන් ශන්මුගදාසන් සහ ලක්වින් අබේසිංහ එක් ව සිව් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 93ක සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව යම් තරමකින් ගොඩ ගැනීමට සමත් වූවා.

ශාරුජන් ශන්මුගදාසන් පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 42කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණා. ඉන් අනතුරු ව පිටියට පිවිසි කවිජ ගමගේ (10), නායක විහස් තෙව්මික (14) සහ විරාන් චමුදිත (8) දැවී ගිය අතර ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙසින් එතෙක් සාර්ථක ඉනිමක නිරත වූ ලක්වින් අබේසිංහ දැවී යනවා.

ඔහු දැවී යන විට පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 69ක් ලබා සිටියා. ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව ප්‍රවීන් මනීශ (5), නිව්ටන් රංජිත්කුමාර් (5) ද දැවී ගිය අතර ඉනිම අවසන් වෙන විට කුගදාස් මතුලාන් ලකුණු නොලබා නොදැවී පිටියේ රැඳී සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Chetan Sharma ලකුණු 34කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභියා වූ අතර ඊට අමතර ව Kiran Chormale සහ Ayush Mhatre කඩුලු ද්විත්වය බැගින් ද Yudhajit Guha සහ Hardik Raj කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරයකට ලක් වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සිදු වුණා. ඒ අතුරින් ඔවුන්ගේ පළමු කඩුල්ලේ ම සබඳතාව ලකුණු 91ක් බවට පත් වුනා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ Ayush Mhatre ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 34ක් ලබා සිටියා.

අනතුරු ව ඉන්දීය ඉනිමේ කඩුල්ල අහිමි කර ගන්නේ තවමත් 13 වැනි වියේ පසුවෙන වමත් පිතිකරු Vaibhav Suryavanshi. ඔහු පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 67ක් ලබා ගන්නවා.

ඉන්දීය ඉනිමේ දැවී ගිය අවසන් කඩුල්ල වූයේ C Andre Siddarth. ඔහු පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා ගන්නවා. අනතුරු ව නායක Mohamed Amaan සහ KP Karthikeya එක්ව ශ්‍රී ලංකා ඉලක්කය තවත් පන්දුවාර 28ක් සහ පන්දු 2ක් තිබිය දී සපුරා ගන්නවා.

ඒ වෙද්දී Mohamed Amaan පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 25ක් ද සහ KP Karthikeya පන්දු 14කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 11ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී ප්‍රවීන් මනීශාන්, විහස් තෙව්මික සහ විරාන් චමුදිත කඩුල්ල බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 173 (46.2)  ශාරුජන් ශන්මුගදාසන් 42, ලක්වින් අබේසිංහ 69, Chetan Sharma 3/34, Kiran Chormale 2/32, Ayush Mhatre 2/37

 

ඉන්දියාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 3ක් දැවී 175 (21.4) Ayush Mhatre 34, Vaibhav Suryavanshi 67, C Andre Siddarth 22, Mohamed Amaan නොදැවී 25

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

දෙස් විදෙස් කෙළිබිමේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<