සමස්ත ලංකා වයස අවුරුදු 18න් පහල රග්බි ශූරතා තරගාවලියේ කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමත් විය. ඒ ඊයේ (02) පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී පිලිවෙලින් මරදාන ශාන්ත ජෝසප් සහ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාල පරාජය කරමිනුයි. ඊයේ දිනයේ පැවති අනෙක් තරග වලදී කුරුණෑගල මලියදේව විද්‍යාලය පලිහ අවසන් පූර්ව වටයටත්, මහනුවර ත්‍රිත්ව සහ විද්‍යාර්ථ දෙවිදුහල් බඳුන අවසන් පූර්ව වටයටත් සුදුසුකම් ලබන්නට සමත් විය.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට

පලිහ අර්ධ අවසන් පූර්ව තරගය.

ඊයේ දිනයට අදාළ තරග ආරම්භ වූයේ මලියදේව විද්‍යාලය සහ ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය අතර පලිහ අවසන් පූර්ව තරගයෙනි. මලියදේව ක්‍රීඩකයින් මුල සිටම අභියෝගයකින් තොරව ක්‍රීඩා කරන ආකාරයක් දැකගන්නට හැකි විය. ඔවුන් උත්සාහක දිනුම් 5ක් වාර්තා කල අතර ඉන් 3ක් සාර්ථකව ප්‍රවර්තනය කිරීමටද සමත් විය. ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායමට මුළු තරගය පුරාවටම ලබා ගැනීමට හැකිවූයේ එක් උත්සාහක දිනුමක් පමණක් වන අතර එය ප්‍රවර්තනය කිරීමටද ඔවුන් අසමත් විය.

මේ අනුව තරගයේ අවසන් ලකුණු තත්ත්වය සටහන් වූයේ 31 – 05 ක් ලෙස කුරුණෑගල මලියදේව විද්‍යාලය පලිහ අවසන් පූර්ව වටයට ගෙනයමිනුයි.


බඳුන අර්ධ අවසන් පූර්ව තරග.

බඳුන අර්ධ අවසන් පූර්ව වටයට අදාලව තරග දෙකක් ඊයේ පැවති අතර පළමු තරගයේදී සත්කාරක තර්ස්ටන් විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමගත්, දෙවන් අතරගයේදී මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය සමගත් තරග වදින ලදී.

ත්‍රිත්ව විද්‍යාලය සත්කාරක කණ්ඩායමට ඔවුන්ගේම ක්‍රීඩාංගනයේ එකදු ලකුණක් හෝ ලබා ගන්නට ඉඩ ලබා දුන්නේ නැත. ඒ අතරවාරයේදී ත්‍රිත්ව කණ්ඩායම උත්සාහක දිනුම් 4ක් වාර්තා කරන ලදී. ඉන් එක් උත්සාහක දිනුමක ප්‍රවර්තනයද සාර්ථක කරගත් මහනුවර රග්බි ප්‍රබලයන් ඉදිරි වටයට පිවිසියේ තර්ස්ටන් විද්‍යාලය ලකුණු 21 – 00 ක් ලෙස පරදවමිනුයි.

බඳුන අවසන් පූර්ව අනෙක් තරගයේදී ලලිත් ඇතුලත්මුදලි විද්‍යාල කණ්ඩායමට ජයග්‍රහණයක් පිලිබඳව සිතන්නටවත් ඉඩ ලබා නොදුන් විද්‍යාර්ථ කණ්ඩායම උත්සාහක දිනුම් 9ක් වාර්තා කරන ලදී. ඒ අතරතුර ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩකයන්ට එක්වරක් හෝ තම අන්තයේ සීමා ඉර පසුකරන්නට ඉඩ ලබා නොදීමටද විද්‍යාර්ථ ක්‍රීඩකයන් සමත් විය. ඔවුන් තම උත්සාහක දිනුම් 9න් 4ක් සාර්ථකව ප්‍රවර්තනය කරන්නටද සමත් වූයේ අවසන් ලකුණු තත්ත්වය 53 – 00 ක් ලෙස සටහන් කරමිනුයි.


කුසලාන අවසන් පූර්ව වටය.

කුසලාන අර්ධ අවසන් පූර්ව පළමු තරගයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය මරදාන ශාන්ත ජෝසප් කණ්ඩායමට එරෙහිව අගනා ජයක් වාර්තා කරන්නට සමත් විය. පළමු අර්ධය තුල ශා. අන්තෝනි ක්‍රීඩකයන් උත්සාහක දිනුම් 3ක් වාර්තා කල අතර ශා. ජෝසප් කණ්ඩායමද උත්සාහක දිනුම් 2ක් ලබා ගනිමින් පළමු අර්ධය අවසන් වන විට සටනක් දිය හැකි මට්ටමේ පසුවිය. කෙසේ වෙතත් දෙවන අර්ධයේදී තවත් උත්සාහක දිනුම් 3ක් කටුගස්තොට ක්‍රීඩකයන්ගෙන් වාර්තා වෙද්දී ශා. ජෝසප් කණ්ඩායමට ලකුණු ලබා ගැනීමට හැකිවූයේ තවත් එක් වරක් පමණයි. මේ  අනුව කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය ලකුණු 38 – 17 ක් ලෙස තරගය ජයගත් අතර ඔවුන්ගේ ලකුණු පුවරුව උත්සාහක දිනුම් 6කින් සහ සාර්ථක ප්‍රවර්තන 4කින් සවිමත් විය.

කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයක ස්වරූපයක් දක්නට නොලැබුණු දෙවන තරගයේදී මහනුවර කිංග්ස්වුඩ් කණ්ඩායමට කිසිදු අභියෝගයක් එල්ල කරන්නට නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය සමත් නොවීය. තවත් උඩරට රග්බි බල කඳවුරක් වන කිංග්ස්වුඩ් කණ්ඩායම ඉදිරියේ අසරණ වූ ශා. ජෝන් කණ්ඩායමට තම ප්‍රතිවාදීන් උත්සාහක දිනුම් 13 වාර්තා කරනතෙක් ලකුණු නොලබා බලා සිටින්නට සිදුවිය. කිංග්ස්වුඩ් කණ්ඩායම දැවැන්ත ලකුණු 75ක අයිතිය සමගින් කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයට මෙන්ම නුගේගොඩ ශාන්ත ජෝන් කණ්ඩායමටද සිදුවූයේ පළඟ ශූරතා සටනට පිවිසීමටයි.


කුසලාන අවසන් පූර්ව වටයේ තරග වදින කණ්ඩායම්

කොළඹ ඉසිපතන විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සහ කොළඹ සහිරා විද්‍යාලය

ඊයේ දිනයේ තරග ප්‍රතිඵල:

  • මලියදේව විද්‍යාලය 31 (5T, 3C)   –  05 (1T) ඇහැලියගොඩ ම.ම.වි
  • ත්‍රිත්ව විද්‍යාලය 22 (4T, 1C)   –  00 තර්ස්ටන් විද්‍යාලය
  • විද්‍යාර්ථ විද්‍යාලය 53 (9T, 4C)   –  00 ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය
  • ශා. අන්තෝනි විද්‍යාලය 38 (6T, 4C)    – 17 (3T, 1C) ශා.ජෝසප් විද්‍යාලය
  • කිංග්ස්වුඩ් විද්‍යාලය 75 (13T, 5C) –  00 ශා.ජෝන් විද්‍යාලය

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට