විහිළුවක් ගිය දුරක්; Travis Head පැහැදිලි කරයි

India Tour Of Australia 2024

80

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දී Travis Head සහ Mohommed Siraj අතර ඇති වූ වචන හුවමාරුව මේ වන විට තරමක කතාබහක් නිර්මාණය කිරීමට හේතු වී තිබෙනවා. 

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය මේ වන විට ඕස්ට්‍රේලියාවේ Adelaide හිදි ක්‍රියාත්මක වන අතර, තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම දියත් කරමින් සිටි ඉන්දියාව කඩුලු 5ක් දැවී ලකුණු 128ක් ලබා තරමක් අසීරු තත්වයක රැඳී සිටියා.  

ඉන්දියාව සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 180ක් ලබා ගත් අතර, ඊට පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියාවෙන් සිය පළමු ඉනිම සඳහා ලකුණු 337ක් වාර්තා වුනා. 

මෙහි දී ඕස්ට්‍රේලියානු ඉනිමේ නැංගුරම බවට පත් වෙමින් විශිෂ්ට ඉනිමක් දියත් කළ Travis Head හතරේ පහර 17ක්, හයේ පහර 4ක් සමඟ පන්දු 141කින් ලකුණු 140ක් ලබා ගැනීමට සමත් වුනා.  

ඔහුගේ මෙම ප්‍රවේගකාරී ඉනිම ඉන්දීය කණ්ඩායමට දැවැන්ත හිසරදයක් වූ බව තහවුරු වුනේ ඔහුගේ කඩුල්ල බිඳ හෙළීමත් සමඟ කඩුල්ලේ හිමි කරු වූ Mohommed Siraj විසින් Headට පිටියෙන් ඉවත් වන ලෙස පැවසීමත් (Send Off) සමඟයි. 

මේ සමඟ දෙදෙනා අතර යම් කතාබහක් නිර්මාණය වූ අතර, පසුව Head විසින් මේ පිළිබඳ සිය පැහැදිලි කිරීම සිදු කළා. 

මම ඇත්තටම විහිළුවෙන් වගේ කිව්වා ‘හොඳට පන්දු යැව්වා’ කියලා. ඊට පසුව ඔහු (Siraj) මට ක්‍රීඩාගාරය පෙන්වමින්, ඉවත්ව යන්නැයි ඉඟි කළා. ඉන් පසුව මමත් එයට ප්‍රතිචාරය දැක්වුවා. 

Head මෙවර තරගාවලියේ දී මෙවැනි සිදුවීමකට මුහුණ දුන් පළමු අවස්ථාව ද මෙය නොවන අතර, තරගාවලියේ පළමු තරගයේ දී ද ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Head හට මෙවැනි ම ප්‍රතිචාරයක් ඉන්දියාව පාර්ශවයෙන් ලැබුණා. 

පසුගිය ඉනිම් කිහිපය තුළ ම එය සිදු වූ ආකාරය ගැන මම තරමක් කලකිරීමට පත් වෙලයි ඉන්නේ. ඔවුන්ට එසේ ප්‍රතිචාර දක්වන්න අවශ්‍යයි නම්, ඔවුන් තමන්ව නියෝජනය කරන්නේ ඒ ආකාරයෙන් නම්, ඒක ඒ විදිහට ම සිදු වුනාවේ. 

තමන් ක්‍රීඩා කළ ආකාරය සමඟ මීට වඩා හොඳ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වූ බවත්, තමන්ගේ පාර්ශවයෙන් සිදු වූ ප්‍රතිචාරය පිළිබඳව ද තමන් පසුතැවෙන බවත් Head පවසනවා. කෙසේ නමුත් තමන් තමන්ගේ ප්‍රතිචාරය වෙනුවෙන් පෙනී සිටින බවත් Head විසින් අවධාරණය කරනවා. 

කෙසේ වෙතත් ඉන්දියාව පාර්ශවයෙන් මේ පිළිබඳ අදහස් දැක්වූ ඉන්දීය වේගපන්දු පුහුණුකරු Morne Morkel විසින් Sirajගේ මෙම හැසිරීම සාධාරණීකරණය කරමින් අදහස් දක්වා තිබීමත් විශේෂත්වයක්. 

දෙස්, විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

ESPN Cricinfo ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<