ඔලිම්පික් සංවිධායකයින්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

159
Tokyo Olympics

මේ දිනවල පැතිර යන කොරෝනා වසංගතය නිසාවෙන් මෙම වසරේ දී පැවැත්වීමට සංවිධානයක කර තිබුණු 32 වැනි ගිම්හාන ඔලිම්පික් තරගාවලිය එළඹෙන වසර දක්වා කල්දමන්නට සංවිධායකයින් කටයුතු කර තිබුණි. 

කෙසේ නමුත් නැවතත් තරගාවලිය පිළිබඳව කතිකාවතක් නිර්මාණය වී තිබෙන්නේ වසංගත තත්වය සඳහා තවත් ස්ථිර ප්‍රතිකාර ක්‍රමයක් සහ දිනෙන් දින වාර්තා වන ආසාදිතයින් ගණන ඉහළ යෑමත් නිසාවෙනි.

>> ලෝක මලල ක්‍රීඩා ප්‍රධානියාට ඔලිම්පික් කමිටුවේ අසුනක්

තත්වය ඉදිරියටත් මෙලෙසම පැවතියහොත් ලබන වසර දක්වා කල් දැමූ ගිම්හාන ඔලිම්පික් උළෙල සැලසුම් කළ පරිදි පැවැත්වීමට නොහැකි වේ යැයි ජපාන ඔලිම්පික් සංවිධායක කමිටුවේ ප්‍රධානී Yoshiro Mori පසුගිය දා ප්‍රකාශ කරන ලදි.

ඔලිම්පික් උළෙලේ ඉදිරිය පිළිබඳව Japanese broadcaster වෙත අදහස් දක්වමින් ජපාන ඔලිම්පික් සංවිධායක කමිටුවේ ප්‍රධානියා ප්‍රකාශ කර සිටියේ මෙම තත්වය මත ගිම්හාන ඔලිම්පික් උළෙල ලබන වසරේ පැවැත්වීමට හැකියාවක් නැති බවත්, මෙම තත්වය හැකි ඉක්මනින් යහපත් අතට හැරී එන්නතක් සොයා ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

“මෙම වයිරස තත්වය මෙලෙසම දිගටම පැවතියහොත් මෙම ක්‍රීඩා උළෙල පැවැත්විය හැකි ද, කෙසේ නමුත් මම බලාපොරොත්තු වනවා හැකි ඉක්මනින්ම මෙම තත්වය යහපත් අතට හැරෙයි කියලා හෝ එන්නතක් ඉක්මනින්ම සොයා ගැනීමට හැකි වෙයි කියලා. ඒත් පවතින තත්වය අනුව නම් එය පැවැත්වීමට නොහැකියි.

නමුත් මේ තත්වය වසරක්ම පවතියි කියා මම සිතන්නේ නැහැ. ඔලිම්පික් නැවත පවත්වනවා ද, නැද්ද යන්න මානව වර්ගයාට මෙම වයිරසය පරාජය කළ හැකි ද, නොහැකි ද යන්න මත තීරණය වෙයි. සෑම දෙයටම වඩා ප්‍රධාන කාරණාව වන්නේ මේ සඳහා එන්නතක් හෝ ඖෂධයක් හැකි ඉක්මනින් නිපදවීමයි“යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

මෙම වයිරස තත්වය ජපානය තුල තරමක් දුරට පාලනය කර තිබුනත් නැවතත් පසුගිය දින කිහිපය තුල දී රෝගීන්ගේ වැඩි වීමක් දක්නට ලැබුණු අතර පරීක්ෂකයන්ට අනුව මෙයට සාර්ථක එන්නතක් සොයා ගැනීමට තවත් මාස හයක පමණ කාලයක් ගතවෙනු ඇත.

>> 400m ශූරයා වසරේ වේගවත්ම කාලය සටහන් කරයි

කෙසේ නමුත් ඔලිම්පික් උළෙල නැවත වරක් පැවැත්වීමට නොහැකි තත්වයක් උදා වුවහොත් එය කල් නොදමා අවලංගු කිරීමට කටයුතු කරන බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ජපාන ඔලිම්පික් බලධාරීන් මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

32 වැනි ගිම්හාන ඔලිම්පික් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 11,000කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතව ඇති අතර තරගාවලිය ලබන වසරේ (2021) ජූලි මස 23 වන දින සිට අගෝස්තු මස 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

ලොව පුරා පැතිර යන මෙම වයිරස තත්වය නිසාවෙන් ජපානය තුළ මේ දක්වා පුද්ගලයින් 980කට අධික සංඛ්‍යාවක් මියගොස් තවත් පුද්ගලයින් 26,000කට අධික පිරිසක් රෝගී තත්වයට පත්ව ඇත. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<