ශූරයින් වේලාසන ගෙදර යද්දී නොසිතූ කණ්ඩායම් අතර දෝලනය වන ලෝක කුසලානය

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය 2018

1650

කණ්ඩායම් 32ක, දින 26ක රුසියානු පාපන්දු සවාරියේ අවසානයට එළඹ තිබේ. කණ්ඩායම් 32න් කණ්ඩායම් දහසයක් පළමු වටයේම නැවත හැරි ගෙදර ගිය අතර නොසිතූ ලෙස ගියවර ලෝක ශූර ජර්මනියට ද ඔවුන් සමඟම ගෙදර යන්නට සිදු විය.

දෙවන වටයේ දී සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී සුක්කානම දැරූ ආර්ජෙන්ටිනාවත්, සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝගේ පාදයෙන් බල ගැන්වුණු පෘතුගාලයත් කුසලාන සිහිනය අත්හරිමින් නැවතත් සිය රටට ගිය අතර 2010 ලෝක ශූරයින් වූ ස්පාඤ්ඤයට ද පෙරළිකාර රුසියාවෙන් පහර කා ගෙදර යන්නට සිදු විය.

අර්ධ අවසන් පූර්ව වටයේ දී ලෝක ශූර බ්‍රසීලය, උරුගුවේ හා තරගාවලිය පුරා වාසනාවන්ත වූ සත්කාරක රුසියාවේ ටිකට් කැපුණු අතර තනි වීරයින්ගේ කණ්ඩායම් හා වාසනාව සමඟින් පැමිණි හාල් මැස්සන් සියල්ල දැලට හසුවී, කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරන කණ්ඩායම් හතරක් ලෝක කුසලාන සාගරයේ ඉතිරිව සිටි.

ඇතැමුන්ට තරගාවලියේ තරග සැලැස්ම ප්‍රබල රටවල් කිහිපයකට ඉතා අවාසිදායක බව පෙනී යා හැක. ඒ 16 දෙනාගේ වටයේ සිටම උරුගුවේ, ආර්ජෙන්ටිනාව, පෘතුගාලය, ප්‍රංශය, බෙල්ජියම, බ්‍රසීලය හා මෙක්සිකෝව එකිනෙකා හා තරග කරද්දී ක්‍රොඒෂියාව හා ස්පාඤ්ඤය හා එංගලන්තයට අනෙක් පස වැඩි වාසියක් හිමි වීමයි. කෙසේ වෙතත් ස්පාඤ්ඤ ක්‍රීඩකයෝ එහි වාසිය ලබා ගත්තේ නැත.

(source-Wikipedia)

ගිනිකෙළි සංදර්ශනයක පෙරමග ලකුණු; ප්‍රංශය හා බෙල්ජියම

තරගාවලියේ අපරාජිත කණ්ඩායම් දෙකක් වන බෙල්ජියම් කණ්ඩායම හා ප්‍රංශ කණ්ඩායම සාන්ත පීටර්ස්බර්ග් නුවර සාන්ත පීටර්ස්බර්ග් ක්‍රීඩාංගණයේ දී ජූලි 10 වැනිදා පළමු අවසන් පූර්ව තරගයේ තරග වැදීමට නියමිතය.

කණ්ඩායම් දෙක අතර ලෝක කුසලාන ඉතිහාසය ඉතා රසවත්ය. තරග දෙකක දී ඔවුන් එකිනෙකා හමුවී ඇති අතර පළමු හමුවීම 1938 දක්වා දිවයයි. කෙසේ වෙතත් අවස්ථා දෙකේ දී ම ජයග්‍රහණය හිමිකරගෙන ඇත්තේ ප්‍රංශය වන අතර තරග දෙකේ දී ගෝල හතක් වාර්තා කර ගැනීමට ද ඔවුන් සමත් විය.

ඊතල බඳු ප්‍රහාරකයින්

කණ්ඩායම් දෙකම මෙවර ලෝක කුසලානයේ වැඩිම ගෝල ලබාගත් කණ්ඩායම් අතර සිටියි. බෙල්ජියම මේ වන විට ගෝල 14ක් ලබාගෙන සිටින අතර එකිනෙකට වෙනස් ක්‍රීඩකයින් නව දෙනෙකු බෙල්ජියම වෙනුවෙන් ගෝල වාර්තා කර තිබේ.

සුපිරි බෙල්ජියම් ප්‍රහාරයකින් ප්‍රංශයට හිසරදයක් වනු ඇත

ඔවුන්ගේ කණ්ඩායමේ ආක්‍රමණශීලී බව මනාව පිළිබිඹු කරයි. ඔවුන්ට වඩා එක් කණ්ඩායමක ක්‍රීඩකයින් ගෝල වාර්තා කර ඇත්තේ 2006 ලෝක කුසලානයේ ඉතාලි කණ්ඩායමයි (ක්‍රීඩකයින් 10ක්). ප්‍රංශය මේ වන විට තරගාවලියේ ගෝල නවයක් වාර්තා කරගෙන සිටියි.

LUKAKU හා HAZARD කණ්ඩායමේ ප්‍රධානතම ඉදිරිපෙළ ක්‍රීඩකයින් ලෙස තරග වදින අතර ඔවුන් දෙදෙනා අතරේ ගෝල හයක් බෙදී ගොස් තිබේ. කණ්ඩායමේ නායකයා වන HAZARD මේ තරගාවලිය පුරා සුවිශේෂ පන්දු රැගෙන යාමේ දක්ෂතා පෙන්වූ අතර සිය සගයා ලුකාකු හට පන්දුව යොමු කිරීමෙන් අනතුරුව මැන්චෙස්ටර් යුනයිටඩ් සුපිරි ක්‍රීඩකයා LUKAKUගේ ඉලක්කය ලෙහෙසියෙන් වැරදුණේ නැත.

MBAPPEගේ සුපිරි වේගය හා GRIEZMANN ඉලක්කය මත තරගය රඳා පවතිනු ඇත

වඩා ආකර්ෂණීයම කාරණය නම් ප්‍රංශ ඉදිරිපෙළත් බෙල්ජියමට නොදෙවෙනි වීමයි. Antoine GRIEZMANN, Olivier GIROUD හා තරගාවලියේම දිදුලන තරුව වූ Kylian MBAPPEගේ වේගයෙන් ප්‍රංශ ඉදිරිපෙළ සවිමත් වී තිබේ. MBAPPE මේ වන විට ගෝල තුනකට ද GRIEZMANN මේ වන විට ගෝල තුනකට ද හිමිකම් කියා තිබේ. MBAPPEගේ හා LUKAKUගේ සිතාගත නොහැකි වේගයත් සමඟ මේ තරගය ගිනිකෙළි සංදර්ශනයක් වනු නොඅනුමානයි.

ස්ථාවර හා සංවිධානාත්මක මැද පෙළ

කණ්ඩායම් දෙකේම මැද පෙළ ඉතා සංවිධානාත්මකය. ජපානයට එරෙහිව තරගයේ දී ගෝල 2-0ක් ලෙස පසුපසින් සිටියත් නැවත පැමිණ ගෝල 3-2ක් ලෙස බෙල්ජියමට තරගය ජය ගැනීමට උපකාරී වූයේ ප්‍රබල බෙල්ජියම් මැදපෙළයි. ඔවුන්ගේ ඉවසීම හා දීර්ඝ පන්දු යොමු කිරීම් නිතරම ඉලක්කගතය.

DE BRUYNE දෙවෙනි වන්නේ ක්‍රොඒෂියාවේ MODRICට පමණි

Kevin DE BRUYNE බෙල්ජියම වෙනුවෙන් ඉමහත් සේවාවක් සිදු කරන අතර කණ්ඩායමේ තරගය ක්‍රියාත්මක වන විලාසය සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ ඔහුය. ලුකාකු හා හැසාඩ් හට දීර්ඝ පන්දු යොමු කිරීම් දක්ෂ ලෙස සාර්ථක කරගන්නා ඔහු පසුගිය බ්‍රසීලය සමග තරගයේ දී විශිෂ්ට ගෝලයක් වාර්තා කළේ මැන්චෙස්ටර් සිටි ක්‍රීඩකයාගේ වටිනාකම මැනවින් ඔප්පු කරමිනි. Marouane FELLAINI හා Axel WITSEL දක්ෂ ලෙස කෙටි පන්දු යොමු කිරීම්වලින් මැදපෙළ හසුරුවන අතර Nacer CHADLI ජපන් තරගයේ අවශ්‍යම මොහොතේ අවසන් මිනිත්තුවේ දක්ෂ ගෝලයක් වාර්තා කළේ ජපන් සිහින බොඳ කරමිනි.

POGBA ප්‍රංශයේ විශාලතම බලාපොරොත්තුවකි

ප්‍රබල Paul POGBA, යොවුන් බයර්න් මියුනික් ක්‍රීඩක Corentin TOLISSO හා පරිණත ක්‍රීඩකයින් දෙපලක් වන Ngolo KANTE හා Blaise MATUIDI ප්‍රංශ මැදපෙළ සවිමත් කරනු ඇත. පසුගිය ලෝක කුසලානයේ දී මෙන්ම මෙවර ද Paul POGBA ඉතා විශිෂ්ට ක්‍රීඩා විලාසයක නිරත වන අතර පොග්බා පන්දු යොමු කිරීම් 233කින් 189ක් සාර්ථක කරගෙන තිබේ. කෙසේ වෙතත් ඔවුන් ප්‍රහාරක ක්‍රීඩකයින් තිදෙනෙකු ක්‍රීඩා කරවන නිසා ඔවුන්ගේ මැදපෙළ ක්‍රීඩකයින්ට කැපී පෙනෙන්නට ලැබෙන අවස්ථාව ඉතා අඩු වුවත් අවශ්‍ය ඉතා වැදගත් අවස්ථාවල දී මේ පරිණත ක්‍රීඩකයින්ගේ පීඩනය දරා ගැනීමට ඇති හැකියාව අවසන් පූර්ව තරගයේ දී ඉතා වැදගත් වනු ඇත.

තරුණයින්ට එරෙහිව යොවුන් ආරක්ෂක බැමි

කණ්ඩායම් දෙකේම ප්‍රබල ප්‍රහාරකයින් සිටින නිසා තරගයේ වැඩි හරියක් චතුරශ්‍ර ආසන්නයේ ‘END TO END’ ක්‍රීඩා කරනු ඇත. LUKAKU, MBAPPE වැනි වේගවත් ක්‍රීඩකයින් නැවැත්වීමට නම් කණ්ඩායම් දෙකේම ආරක්ෂකයින්ට දැඩි උත්සහයක් දැරීමට සිදු වනු ඇත.

බෙල්ජියම් ආරක්ෂක වළල්ල ඉතා සවිමත්ය

බෙල්ජියමට ඉතා පරිණත පසුපෙළක් සිටින අතර Thomas VERMAELEN හා Vincent KOMPANYගේ අත්දැකීම් මේ තරගයේ පීඩනය දරා ගැනීමට සඳහා ඉතා වැදගත් වනු ඇත. Jan VERTONGHEN ද ගෝලයක් සමඟින් තරගය පුරා ඉතා හොඳින් ක්‍රීඩා කළ අතර ‘corner’ අවස්ථාවලට ඔහුගේ සේවය ඉතා වැදගත් වනු ඇත.

PAVARD පසුපෙළ ක්‍රීඩකයෙකු වුවත් මේ නවකයා මැදපෙළට අනගි සහයක් ලබා දෙනු ඇත

බෙල්ජියමේ පරිණත පසුපෙළට ප්‍රංශයෙන් ඉතා තරුණ නමුත් දක්ෂ පසුපෙළක් ඉදිරිපත් කරනු ඇත. Benjamin PAVARD හා Raphael VARANE ඉතා දක්ෂ තරුණ ක්‍රීඩකයින් දෙපළක් වන අතර ඔවුන් දෙදෙනා ප්‍රංශය වෙනුවෙන් ගෝලයක් බැගින් වාර්තා කරදිමට ද සමත් විය. Lucas HERNANDEZ හා Samuel UMTITI ද යොවුන් ප්‍රංශ පසුපෙළ සවිමත් කරන අතර ලුකාකු හා හැසාඩ්ගේ වේගය හා අත්දැකීම්වලට ඔවුන්ගේ තරුණ ජවය හරස් වනු දැකීම ප්‍රේක්ෂකයින්ට රසඳුනක් වනු ඇත.

අත්දැකීම බහුල ගෝල රකින්නෝ

කණ්ඩායම් දෙකට ඉතා සාර්ථක ගෝල රකින්නෙක් බැගින් සිටියි. තවමත් කණ්ඩායම් දෙකම දඬුවම් පහර මගින් තරගයේ තීරණය කිරීමේ අවස්ථාවකට මුහුණ දී නැති බැවින් මේ තරගයේ ගෝල සමවුණුහොත් ඔවුන්ගේ දරා ගැනීමේ ශක්තිය පරික්ෂාවට ලක්වනු ඇත.

Hugo LLORIS අත්දැකීම මේ කරට කර තරගයේ දී ඉතා වැදගත් වනු ඇත.

Hugo LLORIS ප්‍රංශය වෙනුවෙන් ක්‍රීඩා කරන දක්ෂ පරිණත ගෝල රකින්නා වන අතර ඔහුගේ සුරතින් ප්‍රතිවාදීන්ගේ ගෝල අටක් වළක්වා ඇත. Thibaut COURTOIS බෙල්ජියම වෙනුවෙන් ගෝල රාමුව ඉදිරියේ ගෝල රකින්නාගේ අත්වැසුම් දරන අතර ඔහු 18 වතාවක් ප්‍රතිවාදීන්ගේ අවස්ථා ව්‍යර්ථ තිබේ.

COURTOIS පන්දුව නොව බෙල්ජියම් සිහින රකිනු ඇත

අනුමානයක්

ප්‍රංශ කණ්ඩායමට තවමත් එකදු ප්‍රතිවාදියෙකුගෙන් වත් ප්‍රබල පීඩනයක් එල්ල නොවූ නමුත් ජපන් කණ්ඩායම සමඟ තරගයේ දී බෙල්ජියම් කණ්ඩායමට එල්ල වූ පීඩනය ඔවුන් හසුරුවා ගත ආකාරය ඇති විශිෂ්ටය. කෙසේ වෙතත් කණ්ඩායම් දෙකම ඉතා හොඳින් ස්ථාවර වී ඇති අතර තරගය දඬුවම් පහර කරා යාමට ඇති ඉඩකඩ වැඩිය.

උරුමක්කාරයින්ට එරෙහිව සැලසුම්කරුවන්; එංගලන්තය හා ක්‍රොඒෂියාව

තරගාවලියේ අපරාජිත කණ්ඩායමක් වන ක්‍රොඒෂියාව හා බෙල්ජියමට පමණක් පරාජය වූ එංගලන්තය මොස්කව් හි Luzhniki ක්‍රීඩාංගණයේ දී ජූලි 11 වැනිදා දෙවන අවසන් පූර්ව තරගයේ තරග වැදීමට නියමිතය.

ලෝක කුසලානයට පැමිණෙන්නට පෙර සිටම ප්‍රේක්ෂකයින්ගේ මෙන්ම විචාරකයින්ගේ ද උසුළු විසුළු වලට ලක්වුණු පාපන්දු ක්‍රීඩාවේ උරුමක්කාරයින් වන එංගලන්ත කණ්ඩායම සියලු දෙනා නිහඬ කරමින් අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් විය. එංගලන්තයේ රජ පවුලේ රාජකීය විවාහයට වඩා එංගලන්ත කොලොම්බියා තරගය නැරඹූ එංගලන්ත වැසියන් වැඩි බව මාධ්‍යය ද වාර්තා කළේය. එයින්ම පැවසෙන්නේ එංගලන්තය ලෝක කුසලාන පිපාසයකින් පෙළෙන බවයි. අනෙක් අතට වසර 20කට පසු ක්‍රොඒෂියානු කණ්ඩායමක් මෙවන් සාර්ථකත්වයක් අත්විඳින අතර මෙවර ලෝක කුසලානයේ සිටි කණ්ඩායම් අතරින් පන්දුව හොඳින්ම හුවමාරු  කර ගනිමින් වඩාත්ම වෙහෙස වන කණ්ඩායම ලෙස හැඳින්විය හැකි ක්‍රොඒෂියානුවෝ පිට පිට දෙවරක්ම දඬුවම් පහර අවස්ථා මගින් මීළඟ වටයට පිවිසුණේ දැඩි පීඩනය තුලත් ඔවුන්ගේ හැකියාව මනා ලෙස පෙන්නුම් කරමිනි.

මේ ක්‍රොඒෂියාව හා එංගලන්තය ලෝක කුසලානයක දී හමුවන පළමු අවස්ථාවයි.

ප්‍රහාරකයින්ගේ පාරාදීසයක්

ක්‍රොඒෂියාවේ ප්‍රමුඛ ප්‍රහාරකයින් සිව්දෙනෙක්ම ගෝල ලබාගෙන සිටීම ඔවුන්ට විශාල ශක්තියකි. Mario MANDZUKICගේ අත්දැකීම හා තැනට සුදුසු නුවණ කණ්ඩායමට මනා සහයක් වනු ඇත. රුසියාව සමඟ තරගයේ දී තමන් විසින් ගෝලයක් ලබා ගැනීමට උත්සහ නොකර සිය සගයාට නිසි වෙලාවේ පන්දුව යොමු කළ නිසා ක්‍රොඒෂියාවට ඉතා වැදගත් ගෝලයක් හිමි විය. තවද ඔහුගේ සහයට Ivan PERISIC, Andrej KRAMARIC, Ante REBIC වැනි ක්‍රීඩකයින් හට ආදේශකයින් ලෙස වුවද පිටියට පිවිස ගෝලයක් රැස්කර කණ්ඩායම නැවත තරගයට ගෙන ඒමේ හැකියාව තිබේ. ක්‍රොඒෂියාව මේ වන විට ගෝල 10ක් රැස් කරගෙන ඇති අතර ඉන් හතරක් මොවුන් සිව්දෙනාගේ නමට ලියවී තිබේ.

KANE පළමු තරගයේ සිටම එංගලන්තයේ ගෝල මැෂිම විය

එංගලන්තයට ඇති ප්‍රධානතම සවිය ඔවුන්ගේ ප්‍රහාරකයා මෙන්ම නායකයා ද වන Harry KANEගේ ගෝල මැෂිම සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් තිබීමයි. එංගලන්ත කණ්ඩායම රැස්කර ගෙන ඇති ගෝල 11න් ගෝල 6ක්ම වාර්තා කරගෙන ඇත්තේ හැරී කේන් වීම ඔවුන්ට විශාල ශක්තියක් වනු ඇත. ඔහුගේ සහයට Raheem STERLING ඉදිරිපෙළ ක්‍රීඩා කරන අතර ඔහුට ලැබෙන අවස්ථා සාර්ථක කර ගැනීමට ඔහුට හැකියාව ලැබේ නම් එංගලන්ත කණ්ඩායමට ඔහු භයානක අවියක් වනු ඇත.

පරිණත ප්‍රබල මැදපෙළට එරෙහිව යොවුන් මැද පෙළක්

ක්‍රොඒෂියා කණ්ඩායමේ ප්‍රබල අවිය නම් ඔවුන්ගේ පරිණත දක්ෂ මැදපෙළයි. තරගාවලියට සහභාගී වන කණ්ඩායම් අතරින් වඩාත්ම මහන්සි වී ක්‍රීඩා කරන මැදපෙළ ඔවුන් සතුයි.

රියාල් මැඩ්රිඩ් සුපිරි ක්‍රීඩක Luka MODRIC හා බාර්සිලෝනා සුපිරි ක්‍රීඩක Ivan RAKITICගේ සංකලනය එංගලන්ත ක්‍රීඩකයින්ට ඉතා භයානක වනු ඇත. MODRIC කණ්ඩායමේ ක්‍රීඩා රටාව පාලනය කරන අතරම අවශ්‍ය මොහොතේ දී චතුරශ්‍රයට පිටතින් සිට දීර්ඝ ප්‍රහාරයන් මගින් ගෝල ලබා ගන්නට ද ඔහු මේ ලෝක කුසලානයේ දී සමත් වී ඇත. Milan BADELJ ද ඔවුන්ට මැදපෙළ අනගි සහයක් ලබා දෙමින් අනගි ගෝලයකට හිමිකම් කීය. අධික පීඩන අවස්ථාවල දී ක්‍රොඒෂියානු මැදපෙළ ඉතා හොඳින් ක්‍රීඩා කරන අතර එංගලන්ත කණ්ඩායමට එය ඉතා ප්‍රබල අභියෝගයක් වනු ඇත.

MODRIC මැදපෙළේ මායාකරුවාය

ප්‍රවීණ Jordan HENDERSONගේ මග පෙන්වීම යටතේ  Eric DIER හා Jesse LINGARD තරගාවලිය පුරා ඉතා හොඳින් ක්‍රීඩා කළ අතර යොවුන් ක්‍රීඩක Dele ALLI ස්වීඩනය සමඟ තරගයේ ගෝලයක් ලබාගෙන තමන්ගේ වටිනාකම මනාව පෙන්නුම් කිරීමට සමත් විය. පරිණත ක්‍රොඒෂියානු මැදපෙළ හා යොවුන් එංගලන්ත තරු එකිනෙක සටන් වදිද්දී ප්‍රේක්ෂකයින්ට සුපිරි තරගයක් දැක ගත හැකි වනු ඇත.

Dele පිළිබඳ එංගලන්ත ක්‍රීඩාලෝලීන් පළමු දින සිටම බලාපොරොත්තු තැබීය

ප්‍රබල ආරක්ෂක වළලු

කණ්ඩායම් දෙකටම ප්‍රබල පසුපෙළක් සිටින නමුත් කණ්ඩායම් දෙකම ඉතා වැදගත් අවස්ථාවල දී ප්‍රතිවාදීන්ට ගෝල ලබා දුන්නේ තරගය අමතර කාලයක් කරා ඇදගෙන යාමට ඔවුන්ට අවස්ථා ලබා දෙමිනි.

MAGUIRE ප්‍රමුඛ යොවුන් එංගලන්ත ආරක්ෂක වළල්ල ක්‍රොඒෂියාවට  ප්‍රබල පීඩනයක් එල්ල කරනු ඇත

Kyle WALKER, Danny ROSE, John STONES, Harry MAGUIRE, Kieran TRIPPIER යොවුන් ක්‍රීඩකයින් Gary CAHILLගේ මෙහෙයවීම යටතේ මැදපෙළේ සිට ප්‍රහාරයකින්ට පන්දුව යොමු කරන අතර මොඩ්රික් හා රැකිටික් හමුවේ ක්‍රීඩා කිරීම ඔවුන්ට ප්‍රබල අභියෝගයක් වනු ඇත.

Domagoj VIDA හා Vedran CORLUKA ප්‍රධානතම ක්‍රොඒෂියානු ආරක්ෂකයින් වන අතර ඉක්මනින් ආක්‍රමණයේ සිට ආරක්ෂක ක්‍රීඩා විලාසයට මාරු වන ක්‍රොඒෂියානු මැදපෙළ ඔවුන්ට අනගි සහයක් ලබා දෙනු ඇත.

VIDA අධික පීඩනය රුසියාවට එරෙහිව දක්ෂ ගෝලයක් රැස් කළේය

සුපිරි ගෝල රකින්නන්  

කණ්ඩායම් දෙකටම සුපිරි ගෝල රකින්නන් දෙදෙනෙක් සිටින අතර දඬුවම් පහර අවස්ථාවල දී කණ්ඩායම පරාජයෙන් ගලවා ගන්නට ඔවුන් දෙදෙනාම සමත් විය.

වරක් නොව දෙවරක්ම දඬුවම් පහර වලින් ක්‍රොඒෂියාව ගලවා ගන්නට SUBASIC සමත් විය

රුසියාව සමඟ තරගයේ දී Danijel SUBASIC ක්‍රොඒෂියානු ගෝල රකින්නා ආබාධයක් සමඟ වුවද ඉතා හොඳින් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායමට ජය ගෙන ඒමට සමත් විය. මේ ලෝක කුසලානය පුරා ඔහු ප්‍රතිවාදී අවස්ථා 12ක් වළක්වන්නට සමත් වූයේ දඬුවම් පහර අවස්ථා දෙකකින් ක්‍රොඒෂියාව ගලවා ගනිමිනි.

ප්‍රතිවාදී අවස්ථා 10ක් වළක්වමින් Jordan PICKFORD එංගලන්තයට සිය පළමු ලෝක කුසලාන දඬුවම් පහර හිමි කර දුන්නේ ඉතිහාසගත වෙමින්.

PICKFORD එංගලන්තයට පළමු වරට ලෝක කුසලානයක දඬුවම් පහර වටයක ජයක් හිමි කර දුන්නේය

අනුමානයක්   

කණ්ඩායම් දෙකේම ගෝල රකින්නන් ප්‍රහාරයකයින්ගේ බලාපොරොත්තු සුනුවිසුනු කරනු ඇත. එංගලන්ත ක්‍රීඩකයින් සමඟ වාසනාවත් නොතිබුණු හොත් ප්‍රබල ක්‍රොඒෂියානු මැදපෙළට තරගය ජය ගැනීමේ ඉතා හොඳ අවස්ථාවක් තිබෙනු ඇත.

Photo – FIFA.com /Gettyimages

ඔබ සිතන විදිහට මෙවර ලෝක කුසලානය දිනා ගන්නේ කවුරුන්ද? ඔබේ අදහස පහතින් Comment කරන්න.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<