විරල දේ අතර සුලබ වුණු ක්‍රිකට් ලෝක කුසලානේ ලකුණු සමවීම්

ක්‍රිකට් ලෝක කුසලාන ප්‍රත්‍යාවලෝකන - 3

358
ලෝක කුසලාන ඉතිහාසයේ පන්දුවාර 100ම ක්‍රීඩා කරමින් සහ වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා යමින් ලකුණු සමව අවසන් වුණු ඉන්දු-එංගලන්තය තරගය

ලොව ක්‍රීඩා අතර අවිනිශ්චිතම ක්‍රීඩාව ලෙස සැලකෙන්නේ ක්‍රිකට් යන්න නොරහසකි. ඇතැම් අවස්ථාවන් හිදී එකී ක්‍රීඩාව තුළ සිදු වන ඇතැම් සිදුවීම් හා ක්‍රියාකාරකම් දෙස බැලීමේ දී ක්‍රිකට් අවිනිශ්චය යන්න ඕනෑවටත් වඩා උදාහරණ සපයනු ඇත.

එහි සිදු වන ඇතැම් සිදුවීම් ඇතැම් වාර්තාවන් බොහෝ විට එක් වරක්, දෙවරක් වන අවස්ථා ද නැතුවා නොවේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි වංශ කතා පෙරළා බැලීම වෙනුවෙන් සටහන් තැබෙන ප්‍රත්‍යාවලෝකන ලිපි මාලාවේ තෙවැන්න වෙන් වෙන්නේ ද ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළ දී සිදුවූ විරලතම සිදුවීම් කීපයක් පිළිබඳව මතකය අවධි කිරීමටය. ඒ තරගයක ලකුණු සමවූ අවස්ථාවන්ය.

ක්‍රිකට් ලොව ‘ලිලිපුට්ටන්’ ගලිවර්ට ගැහුව ගැහිල්ල

ශ්‍රී ලංකාවේ එක්දින තරග ආරම්භය සහ ලෝක කුසලාන පළමු සහභාගිත්වය…..

වසර 45කට ආසන්න ඉතිහාසයකට උරුමකම් කියන ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේ ලකුණු සමවූ තරග ඉතා විරලය. සංඛ්‍යාත්මකව නම් එය අවස්ථා 4කි. ලකුණු සමවීමක් යනු එක් කණ්ඩායමකට සොම්නසත් තවත් කණ්ඩායමට දොම්නසක් ගෙන දෙන්නකි. එකී අවස්ථා 4 දී දෙවතාවක්ම එම දොම්නසට මුහුණ දුන් කණ්ඩායම බවට පත්ව සිටින්නේ දකුණු අප්‍රිකාවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලේසියෙන් පරාජය කළ නොහැකි කණ්ඩායමක් ලෙසින් නමක් දිනා සිටින රටවල් අතර දකුණු අප්‍රිකාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එවන් දක්ෂතා පරිපූර්ණ කණ්ඩායමක් වුවද ලෝක කුසලාන තරගාවලිය යනු දකුණු අප්‍රිකානු පිලට නම් අවාසනාව කරපින්නාගෙන එන්නක් ලෙස සැලකේ. තරගාවලියේ ඉදිරියට යෑම සඳහා ජයග්‍රහණය අතිශය අත්‍යවශ්‍ය මොහොතක, එම අවස්ථා ද්විත්වයේ දී ම ලකුණු සමවීම නිසා ලෝක කුසලානයේ ඉදිරියට යෑම සඳහා වූ දොරගුළු දකුණු අප්‍රිකාවට විවර නොවිණි.

ලෝක කුසලානේ අවාසනාවන්තම කණ්ඩායම දකුණු අප්‍රිකාව ද?

1996 වසරේ පැවති තරගාවලිය තුළ යම් යම් අවස්ථාවන් අවාසියට හිටිය ද ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යනු දකුණු අප්‍රිකානු පිලට අබමල් රේණුවක හෝ වාසනාවක් රහිත කණ්ඩායමක් බව ලොවට එ්ත්තු ගිය තරගය බවට පත්වූයේ 1999 වසරේ ඔස්ට්‍රේලියාව සමඟ පැවති අවසන් පූර්ව තරගයයි. එක්දින ක්‍රිකට් පිටියේ තියුණුතම තරගයක් ලෙසින් අවිවාදයෙන්ම පිළිගැනෙන මෙම තරගය,  1999 වසරේ ජුනි 17 වැනිදා එංගලන්තයේ එජ්බැස්ටන් හිදී පැවැත්විය.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු පිලේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාවට දකුණු අප්‍රිකානු පන්දු යැවීම හමුවේ පන්දුවාර 49.2ක දී සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 213ක් පමණි. ඒ වෙනුවෙන් නායක ස්ටීව් වෝ ලකුණු 56ක් සහ මයිකල් බෙවන් ලකුණු 65ක් රැස් කරද්දී, ෂෝන් පොලොක් කඩුලු 5ක් සහ ඇලන් ඩොනල්ඩ් කඩුලු 4ක් බිඳ හෙළූහ.

අවසන් පන්දුවට ලකුණක් ලබා ගත නොහැකි වීම මත ලකුණු සමවූ තරගයේ දී සුසුම් සලන දකුණු අප්‍රිකානු නායක ෂෝන් පොලොක්. පසෙකින් මකායා එන්ටින් සහ බෝතා ඩිපෙනර් ද වෙති.

ලකුණු 214 ක ඉලක්කයක් වුවද එය හඹා යෑම දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට ද එතරම් පහසු වූයේ නැත. කඩුලු එකින් එක දැවී ගිය ද අවසන් පන්දුවාරයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායමට රැස් කරගත යුතුව තිබුණේ ලකුණු 09ක් පමණක් වන අතර, එවර තරගාවලියේ කැපී පෙනෙනම පිතිකරුවා බවට පත්වූ ලාන්ස් ක්ලූස්නර් ඒ වන විට කඩුල්ලේ රැඳී සිටියේය. වසර එකහමාරක පමණ කාලයක සිට පසු පෙළින් පැමිණ ප්‍රහාරාත්මක පිතිහරඹයක නියැළුණු ක්ලූස්නර් නොතිබූ ජයග්‍රහණ කරා දකුණු අප්‍රිකානු පිල රැගෙන ඒමට සමත්වූ පිතිකරුවෙකු බවට පත්ව සිටීම නිසා පන්දු 6ක දී ලකුණු 09ක් යනු දකුණු අප්‍රිකාවට කජු කන තරමේ පහසු විය.

තීරණාත්මක ලකුණ කරා ලාන්ස් ක්ලූස්නර් පැති මාරු කර ගැනීමට ගත් උත්සාහය.ඇලන් ඩොනල්ඩ් ද පසෙකින් වේ.

ඩේමියන් ෆ්ලෙමින් විසින් ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාරයේ පළමු පන්දු දෙකටම හතරේ පහර 2ක් එල්ල කළ ක්ලූස්නර් තරගය සම තත්ත්වයට ගෙන එන ලද්දේ දකුණු අප්‍රිකාවේ ජයග්‍රහණය වෙනුවෙන් හුරේ දැමී ක්‍රීඩාලෝලීන් සියල්ලම අමන්දානන්දයට පත් කරමිනි. කිසිම වාසියක් ඕස්ට්‍රේලියාවට ඉතිරි නොවූ එම පහර 2ත් සමඟ දකුණු අප්‍රිකානු ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූවේ එක් ලකුණක් පමණක් වන අතර ඒ සඳහා පන්දු 4ක්ම ඉතිරිව තිබුණි. යවන ලද තෙවැනි පන්දුවට ලකුණක් ලබා ගැනීමට නොහැකි වුවද පන්දු යැවූ අන්තයේ සිටි ඇලන් ඩොනල්ඩ් දුවද්දී දැවී යෑමකට ගොස් අනූ නමයෙන් බේරුණේ මිඩ් ඕන් කලාපයේ පන්දු රැකී ඩැරන් ලීමන්ගේ ඉලක්කය වැරදී යෑමෙනි.  

මේ ගිලිහී යන්නේ තමන්ට පහසුවෙන්ම සුදුසුකම් ලබා ගැනීමට තිබූ ලෝක කුසලාන අවසන් මහ තරග වරම  නේදැයි හීල්ලීම පමණක් ඕස්ට්‍රේලියානුවන්ගේ හදවත් තුළ මෝදු වද්දී සිව්වැනි පන්දුවට පහරක් එල්ල කළ ක්ලූස්නර් ලකුණක් කරා වේගයෙන් දිව ආව ද, අනෙක් අන්තයේ සිටි ඩොනල් ඊට ප්‍රතිචාර නොදැක්විය. කලින් පන්දුවට දුවද්දී දැවී යෑමකට ලක්වීමට ගොස් බේරීමෙන් චකිතයට පත්ව සිටි ඩොනල් වඩාත් සුරක්ෂිත වීමේ අරමුණු කොට සිය අන්තය ආරක්ෂා කර ගැනීමට සැරසුණ ද ක්ලූස්නර් තම අන්තය ද පසුකර තිබීම හේතුවෙන් අවාසනාවන්ත අයුරින් දුවද්දී දැවී යෑමකට ලක්විය. දෙපිළේ ලකුණු සමව අවසන් වුවද සුපර් සික්ස් තරග වටයේ දී දෙපිළ මුණ ගැසුණු අවස්ථාවේ දී දකුණු අප්‍රිකාව පරදා ඕස්ට්‍රේලියාව ජය වාර්තා කිරීමට සමත් වීම නිසා අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමේ වරම ඕස්ට්‍රේලියානුවන්ට හිමි විය.

එදා නූලෙන් අවසන් මහ තරග වරම ලබා ගත් ඕස්ට්‍රේලියාව ඉන් නොනැවතී ඉන් දින 3කට පසු පැවති අවසන් මහ තරගයේ දී පාකිස්තානයට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කරමින් ලෝක කුසලාන ශූරයන් බවට පත්විය..

කඩුලු අතර දිව යෑමේ දී දකුණු අප්‍රිකානුවන් අතින් වූ වැරැද්දෙන් ලෝක කුසලාන අවසන් මහ තරගයට ඕස්ට්‍රේලියාව සුදුසුකම් ලැබූ අවස්ථාව.

ඩක්වර්ත් සහ ලුවිස්ගෙනුත් දකුණු අප්‍රිකාවට සහනයක් නැතිවුණු හැටි

දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වයෙන් පැවති 2004 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ බී කාණ්ඩ යටතේ පැවති ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙපිළටම තීරණාත්මක තරගයක් විය. ඩර්බන්හි පැවති මෙම තරගයට පෙර ශ්‍රී ලංකා පිල අනපේක්ෂිත අයුරින් කෙන්යාව හමුවේ ද, දකුණු අප්‍රිකානු පිල නවසීලන්තය හමුවේ ද පරාජයට පත්ව තිබීම නිසා තරගාවලියේ ඉදිරියට යෑමට දෙපිළටම තරගයේ ජයග්‍රහණය තීරණාත්මක විය.

තරගයේ දී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දෙමින් පන්දුවාර 50 දී කඩුලු 9ක් දැවී ලකුණු 268 ක් රැස් කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කළ මාවන් අතපත්තු ලකුණු 126ක් ලබා ගනිද්දී, අරවින්ද ද සිල්වා ලකුණු 73ක් ලබා ශ්‍රී ලංකා ඉනිම සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියහ. මෙම ඉලක්කය හඹා යෑමේ දී ආරම්භක පිතිකරු හර්ෂල් ගිබ්ස් ලකුණු 73ක් ලබා ගනිමින් සත්කාරක දකුණු අප්‍රිකාවට ජයග්‍රාහී ආරම්භයක් ලබා දුන්නේය. මාක් බවුචර් සහ නායක ෂෝන් පොලොක් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සම්බන්ධතාවක් ගොඩ නඟා කඩුලු 6කට ලකුණු 212ක් දක්වා දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව ඉහළ දැමූ නමුත් මුරලිදරන්ගේ දක්ෂ පන්දු රැකීමක් හමුවේ පොලොක් දුවද්දී දැවී යෑමෙන් තරගය කණ පිට හැරිණ.

මුරලිදරන්ගේ දක්ෂ පන්දු රැකීම මත දුවද්දී දැවී යෑමකට හසුව පොලොක් ක්‍රීඩා පිටියෙන් පිටව ගිය අයුරු

ඒ වන විට තරගයට වර්ෂාවෙන් බාධා පැමිණෙන තත්ත්වයක් දිස්වූ බැවින් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුල්ලක් බිඳී ගියහොත් එය දකුණු අප්‍රිකාවට දරුණු පාඩුවක් බවට පත්වීමේ ප්‍රවණතාවක් තිබුණි. එබැවින් පොලොක්ගේ දැවී යෑමෙන් පසු බවුචර්ට එක්වූ ලාන්ස් ක්ලූස්නර් මේ නිසා ලකුණු ලබා ගැනීමට වඩා කඩුලු රැක ගැනීමේ උත්සාහයක නියැළුණහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු මුහුණ දුන් පන්දු 8 දී රැස්කර ගන්නා ලද්දේ එක් ලකුණක් පමණි.

44 වැනි පන්දුවාරය අවසාන වත්ම දකුණු අප්‍රිකානු ක්‍රීඩාගාරයෙන් පණිවිඩයක් පැමිණියේය. බවුචර් වෙත ආ ඒ පණිවුඩයේ සඳහන්ව තිබුණේ 45 වැනි පන්දුවාරය වන විට ලකුණු 229ක් ලකුණු පුවරුවේ සටහන් වුවහොත් තරගයේ ජය දකුණු අප්‍රිකානුවන් සතුවනු ඇති බවයි. කෙසේ වෙතත් 44 වැනි පන්දුවාරය යවන ලද රසල් ආනල්ඩ්ට එක් ලකුණක් පමණක් ලබා දෙමින් පන්දු වාරය අවසන් කිරීමට සමත් වීම ඊළඟ පන්දුවාරයට ලකුණු 13ක් ලබා ගැනීමේ අභියෝගය දකුණු අප්‍රිකාව හමුවේ තිබුණි. එහෙත් මුරලිදරන් විසින් ක්‍රියාත්මක කරන ලද තීරණාත්මක 45 වැනි පන්දුවාරයේ දී ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ  ලකුණු 13 රැස් කර ගැනීමට මාච් බවුචර් සමත් වූයේ එක් පන්දුවක් ඉතිරිව තිබිය දී ය.

දුලිප් මෙන්ඩිස්ගේ ඉල ඇදුණු පොලිස් නිලධාරියාගේ ප්‍රශ්නය

හැත්තෑව දශකය තෙක්ම සාම්ප්‍රදායික ටෙස්ට් තරගවලට පමණක් ඉඩ වෙන්ව…..

ක්‍රීඩාගාරයෙන් පැමිණි පණිවිඩයට අනුව ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු සංඛ්‍යාව ඒ වන විටත් ඉක්මවා සිටි බැවින් අවශ්‍ය වන්නේ කඩුල්ල ආරක්ෂා කර ගැනීම නිසා මුරලිදරන් එවන ලද ඉතිරි පන්දුවට ආරක්ෂාකාරී පහරක් එල්ල කළ බවුචර් කඩුල්ල රැක ගත්තේය. එහෙත් සැබැවින්ම 45 වැනි පන්දුවාරය අවසන් වන විට දැවී ගොස් තිබූ කඩුලු 6ට අනුව දකුණු අප්‍රිකානු පිලේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 230ක් බවට වූ අතර ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව සිදු කරන ලද ලකුණු ගණනය කිරීමේ දී එක් ලකුණක එහා මෙහා වීමක් දකුණු අප්‍රිකානුවන් අතින් සිදු වී තිබීම නිසා එය ලකුණු සමවූ තරගයක් ලෙසින් ලෝක කුසලානය ඉතිහාසයට එක්විය. සමස්ත දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටීම නිසා සත්කාරකත්වය දරමින් ලෝක කුසලාන පළමු වටයෙන්ම ඉවතට විසිවූ ලොව පළමු රට බවට දකුණු අප්‍රිකානුවන් ඉතිහාසගත විය.

අයර්ලන්තයේ පෙරළිය

2007 වසරේ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවති මෙම තරගය ලෝක කුසලානයක ලකුණු සමවූ තෙවැනි තරගය බවට පත්විය. පාකිස්තානු ක්‍රිකට් පුහුණුකරු බොබ් වුල්මර්ට මරණය කැඳවන ලද තරගය හෙවත් අයර්ලන්තයට කඩුලු 3ක ජයක් හිමි වූ පාකිස්තානය සමඟ තරගයෙන් පසු අයර්ලන්තය පිල සහභාගි වුණු තරගයට බවට පත්වූයේ සිම්බාබ්වේ පිල සමඟ පැවති මෙම තරගයයි.

කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පිල පළමුව පන්දු යැවීම තීරණය කළ බැවින් නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9කට ලකුණු 221ක් රැස් කිරීමට අයර්ලන්ත පිල සමත් විය.

අයර්ලන්ත පිල ජයග්‍රහණය සමරමින්.

එම ඉලක්කය හඹා ගිය සිම්බාබ්වේ පිල කඩුලු 6කට ලකුණු 221ක් ලබා අවසන් පන්දුවේ දී ජයග්‍රාහී ලකුණු ලබා ගැනීමට කරන ලද උත්සාහයේ දී එඩ්වර්ඩ් රේන්ස්ෆෝර්ඩ් දුවද්දී දැවී යෑමකට ලක් කළ අයර්ලන්තය සිම්බාබ්වේ ඉනිම ලකුණු 221කට නවතාලමින් තරගය සම මට්ටමින් අවසන් කර ගැනීමට සමත් විය. මෙම ලෝක කුසලාන තරගාවලිය, අයර්ලන්තයේ පළමු ලෝක කුසලාන තරගාවලිය වූ අතර එහි දී පාකිස්තානය පරදා පෙරළිකාර ලෙස ගමන් ඇරඹූ අයර්ලන්තය ක්‍රිකට් ලොව විශ්මයට පත් කරමින් මෙම තරගාවලියේ දී සුපරි සික්ස් තරග වටයට ද සුදුසුකම් ලැබීම කැපී පෙනෙන සිදුවීමක් බවට පත්විය.

වාර්තාවක් වුණු අද්විතීය හඹා යෑම

ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු සමවූ මෑතම තරගය බවට පත්වූ මෙම තරගය ඉන්දියාව සහ එංගලන්තය අතර බැංගලෝර් හිදී පැවැත්විය. 2011 වසරේ පැවති එම තරගාවලියේ මූලික වටයේ තරගයක් ලෙසින් පැවති මෙම තරගය ලෝක කුසලාන ඉතිහාසයට එක්වූයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා යමින් ලකුණු සමවූ තරගය ලෙසිනි.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියානු පිල පන්දුවාර 49.5ක දී සියලු දෙනා ලකුණු 338කට දැවී ගිය අතර ඉන්දීය පිල වෙනුවෙන් සචින් ටෙන්ඩුල්කාර් ලකුණු 120ක් ද, යුවරාජ් සිං ලකුණු 58ක් ලබා ගත්හ. එම හඹා යෑමේ දී එංගලන්ත පිලට සාර්ථක ආරම්භයක් ලබා දුන් නායක ඇන්ඩෘ ස්ට්‍රෝස් ලකුණු 158ක් ලබමින් අදාළ හඹා යෑමේ පෙරගමන්කරුවා බවට පත්විය. අවසන් පන්දු 6 දී ජයග්‍රහණය සඳහා එංගලන්තය ලකුණු 14ක් ලබා ගත යුතු වූ අතර තීරණාත්මක පන්දු වාරය යැවීමට මුනාෆ් පටෙල්ට පැවැරිණ.

49 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවට ටිම් බ්‍රෙස්නන් දැවී යෑම නිසා එම ලකුණු ලබා ගැනීමේ වගකීම ග්‍රෑම් ස්වෝන් සහ අජ්මාල් ශේෂාඩ් කර මත පැටවිණි. පළමු පන්දු 2ට මුහුණ දුන් ස්වෝන් ලකුණු 3ක් ලබා පැති මාරු කරගනිද්දී පන්දු 4ක දී ලකුණු 10ක් ලබා ගැනීමේ අභියෝගය ශේෂාඩ් හමුවේ තැබිණි.

අවසන් පන්දුවට එක් ලකුණක් පමණක් ස්වෝන් ලබා ගැනීමෙන් පසු

ඒ අනුව මුහුණ දුන් පළමු පන්දුවටම හයේ පහරකින් එල්ල කරමින් යළිත් තරගය එංගලන්ත පිල වෙත ගෙන ඒමට ශේෂාඩ් සමත් වුවද ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවට ලකුණු 2ක් ලබා ගැනීමේ වගකීම ස්වෝන්ට පැවරිණි. එහෙත් එම පන්දුවට ස්වෝන් රැස් කර ගැනීමට සමත් වූයේ එක් ලකුණක් පමණක් වීම හේතුවෙන් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. එහෙත් එය ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයට පමණක් නොව එක්දින ක්‍රිකට් ඉතිහාසයේම පන්දුවාර 100ම ක්‍රීඩා කරමින් ලකුණු සමවූ පළමු තරගය ලෙසින් ඉතිහාස ගත වී තිබේ

ලකුණු සටහන් පුවරුවේ තරග අවසානය දිස්වූ ආකාරය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<