57 වැනි වරටත් උත්සවාකාරයෙන් පැවැත්වුනු “සහෝදරයින්ගේ සටන” මහා ක්‍රිකට් තරගය අද (29) සන්ධ්‍යාවේ නිමාවට පත්වූයේ ජය පැරදුමකින් තොරවයි. ඒ දෙවැනි ඉනිමේ දී ඉසිපතන ක්‍රීඩකයින් තරගය බේරා ගැනීම වෙනුවෙන් තර්ස්ටන් පන්දු යවන්නන්ට එරෙහිව දැවැන්ත පවුරක් ගොඩ නැගූ බැවිනි. කෙසේවෙතත් මුල් ඉනිමේ කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට තර්ස්ටන් විද්‍යාලය සමත් විය.
කොළඹ SSC පිටියේ දී අද දෙවැනි දිනය සඳහා තරගය ආරම්භ වනවිට තර්ස්ටන් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 130කි. ඒ ඔවුන්ගේම ඇරයුමට අනුව මුලින් පන්දුවට පහර දුන් ඉසිපතන විද්‍යාලය වාර්තා කරගත් ලකුණු 210ට පිලිතුරු ලෙසයි. එහිදී ඉසිපතන මුල් ඉනිම මට්ටු කිරීමට තුන් ඉරියව් ක්‍රීඩක බවන්ත ජයසිංහ බිඳ හෙලූ කඩුලු 4 අතිශයින්ම තීරණාත්මක විය.
තර්ස්ටන් පළමු ඉනිම වෙනුවෙන් වෙන්වී ඇති පන්දුවාර 60 සම්පූර්ණ වීමට අද තවත් පන්දුවාර 27ක් ඉතිරිව තිබූ අතර එහිදී ඊයේ දිනය නිමාව දක්වා නොදැවී සිටි බවන්ත ජයසිංහ ආක්‍රමණශීලී පිතිකරණ රටාවක් අනුගමනය කරනු දැකගන්නට ලැබුණි. ඒ අද ඉසිපතන පළමු ඉනිම ඉක්මවා යමින් අමතර ලකුණු 69ක් ද එක්කර, මෙවර වාර්ෂික ක්‍රිකට් තරගයේ තම විද්‍යාලයේ ගෞරවය උපරිම තලයකට ගෙන එමිනි.
දැකුම්කළු හතරේ පහර 9ක් සහ දැවැන්ත හයේ පහර 4ක් ඇතුළත් වූ බවන්තගේ විශිෂ්ට ඉනිම ලකුණු 137ක් දක්වා අතුපතර විහිදා වැඩුණි. මෙය මෙම තරග වාරයේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ශතකයක් වාර්තා කරගත් මුල්ම අවස්ථාවයි. බවන්තගේ සාර්ථකත්වය වෙනුවෙන් තර්ස්ටන් පසුපෙළ පිතිකරුවන් ද දැක්වූ දායකත්වය සුළුපටු නොවූ අතර තිනෙත් ප්‍රබුද්ධ පන්දු 32කින් නොදැවී ලකුණු 36ක් ලබා ගන්නට සමත් විය. ඒ අනුව පන්දුවාර 60 අවසන් වනවිට තර්ස්ටන් ඉනිමට ලකුණු 284ක් එක්වී තිබූ අතර බිඳ වැටුණු කඩුලු 9න් 3ක් රවිඳු රත්නායකට හිමිවිය.
Photos: Isipathana College vs Thurstan College | 57th Battle of the Brothers – Day 2
මේ අනුව ලකුණු 69ක හිඟතාවයක් සහිතව තම දෙවැනි ඉනිම ඇරඹූ ඉසිපතනය තමන් මුහුණ දී ඇති අවාසිදායක තත්ත්වය මැනවින් වටහා ගනිමින් මුල සිටම පිතිකරණයේ යෙදුනු අතර තෙවිඳු දික්වැල්ල අවාසනාවන්ත ලෙස ලකුණු 13 දී දැවී ගියේය. නායක ලෙශාන් අමරසිංහ තර්ස්ටන් පිළේ පන්දු යැවීම හමුවේ දැවී යනවිට ලකුණු 25ක් ලබා සිටියේය.
තර්ස්ටන් ඉනිම අතරේ පන්දු රැකීමේ යෙදී සිටියදී ආබාධයකට ලක්වූ නිත්‍ය ආරම්භක පිතිකරු සවීන් දාන්ත අද පිතිකරණය සඳහා පිටියට පිවිසියේ නැත. මෙවන් තීරණාත්මක අවස්ථාවක දී රවිඳු රත්නායක එල්ල කළ අසාර්ථක පහරක් ස්ලිප් කලාපයේ පන්දු රකින්නා වෙත යොමු වුවද ඔහු එය බිම අතහැරීම ඉසිපතන විද්‍යාලයේ ගැලවීමට බොහෝ සෙයින් ඉවහල් විය. අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් රවිඳු රත්නායක තම ඉනිමත්, කණ්ඩායමේ ගෞරවයත් බේරා ගනිමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළේ ලකුණු 87ක් ලබා ගනිමිනි.
සාමාන්‍යයෙන් අද කාලයේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් දැක ගන්නට නොලැබෙන ආකාරයේ ඉවසීමක් පෙන්නුම් කළ ලිසුර විනත් ඔහුට අනගි සහයක් ලබා දෙමින් පන්දු 160කට මුහුණ දෙමින් ලකුණු 38ක් ලබා ගත්තේය. රවිඳු රත්නායකට අද දිනයේ තම ශතකය අහිමි වුවද ඔහු තම කණ්ඩායම බේරා ගැනීම වෙනුවෙන් ක්‍රීඩා කළ විශිෂ්ට ඉනිම තවත් වසර ගණනාවක් පුරාවට ඉසිපතන ආධාර කරුවන්ගේ මතකයේ රැඳී තිබෙනු ඇත.
තරගය අවසන් වෙද්දී ඉසිපතන විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 205ක් ලබා සිටියේ තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමාවූ 46 වැනි අවස්ථාව සනිටුහන් කරමිනි. මේ දක්වා අවස්ථා 6කදී තර්ස්ටන් විද්‍යාලය සහෝදරයින්ගේ සටන ජයගෙන ඇති අතර, අවස්ථා 4කදී බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලානය තමන්ගේ නමින් ලියා ගන්නට ඉසිපතන විද්‍යාලය සමත් වී තිබේ. මෙවර මහා ක්‍රිකට් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ තර්ස්ටන් විද්‍යාලයේ තුන් ඉරියව් ක්‍රීඩක බවන්ත ජයසිංහයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<