ටෙස්ට් වංශ කතාව අලුත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව කරච්චි පිටියට

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරය 2019

118

2009 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට පසුව පාකිස්තානයේ දී පැවැත්වෙන ඉතිහාසගත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පසුගිය දා ආරම්භ වුවත් එම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා එම තරගයේ උණුසුම එතරම් දැනුණේ නැත. 

කෙසේ නමුත් හෙටින් (19) ආරම්භ වන දෙවන ටෙස්ට් තරගයේ මේ තරගාවලියේ ජය පරාජය තීරණය කිරීමට තිබෙන අවසන් අවස්ථාව නිසා උණුසුම් තරගයක් දැක බලා ගැනීමට ප්‍රේක්ෂකයින් වන අපට අවස්ථාව උදාවනු ඇත. 

කරච්චි නුවර දී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ටෙස්ට් තරග 5ක් සඳහා ක්‍රීඩා කර ඇති නමුත් ඉන් තරග 4ක් පාකිස්තානය ජය ගෙන තිබෙන අතර තවත් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන්ව තිබේ. ඒ නිසාවෙන් හෙටින් ආරම්භ වන මේ තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුවහොත් ශ්‍රී ලංකා ටෙස්ට් වංශ කතාවේ නව පිටුවක් පෙරලීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබෙනු නිසැකය. 

ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම සමඟින් පැවැත්වූ ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සම කර ගැනීමෙන් අනතුරුව මෙම තරගාවලියට අවතීර්ණ වන අතර පාකිස්තානය ඕස්ට්‍රේලියාව හමුවේ 2-0ක් ලෙස පරාජය වීමට පසුව ICC ටෙස්ට් ලෝක ශූරතාවලියේ තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් දෙක අවතීර්ණ වේ. 

මුහුණට මුහුණ 

වර්ෂ 1982 සිට මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරග 53කට ක්‍රීඩා කර ඇති අතර, එයින් තරග 19ක ජය පාකිස්තානු කණ්ඩායම සතු වෙද්දී, ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරග 16ක් පමණි. තවද එයින් තවත් තරග 19ක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත. 

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දැනට ටෙස්ට් ක්‍රිකට් තරගාවලි 21ක් පවත්වා ඇති අතර, එයින් තරගාවලි 9ක ජය පාකිස්තානුවන් සතු වන විට, ශ්‍රී ලංකාව තරගාවලි 7ක ජයග්‍රහණය තහවුරු කර ගෙන ඇත. තවද තවත් තරගාවලි 5ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. 

ශ්‍රී ලංකාව හා පාකිස්තානය පාකිස්තානයේ දී ටෙස්ට් ක්‍රිකට් තරග 22කට සහභාගි වී ඇති අතර, ඉන් තරග 8ක් ජය පරාජයෙන් තොරව අවසන් වන විට, පාකිස්තානය තරග අටක් හා ශ්‍රී ලංකාව තරග හයක් ජයග්‍රහණය කර ඇත. අවසන් වරට 2017 වර්ෂයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වූ ටෙස්ට් තරගාවලිය ද තරග 2-0ක් ලෙස ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකාවයි.  

දෙපිලේම ප්‍රහාරත්මක තරු 

දිමුත් කරුණාරත්න 

නායකත්වයේ වගකීම ද ඇතිව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරන කරුණාරත්න ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස තම දායකත්වය දක්වා තිබේ. ඔහු වමතින් පිත්ත හසුරුවන දක්ෂ පිතිකරුවෙකි. 

ඔහු පාකිස්තානයට එදිරිව ජාත්‍යන්තර ටෙස්ට් තරග 9ක ඉනිම 17ක දී ලකුණු 881ක් ලබාගෙන ඇත්තේ, ලකුණු 50කට ආසන්න   හොඳ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. අමතරව ඔහු ශතක දෙකක් හා අර්ධ ශතක 5ක් පාකිස්තානු කණ්ඩායමට එරෙහිව ලබාගෙන ඇත. ඒ අතරට 4 පහර 92ක් සහ 6 පහර දෙකක් ඇතුළත් වේ. ඔහුගේ එක් ඉනිමක ප්‍රතිවාදී පාකිස්තානුවන්ට එරෙහිව ලබාගෙන ඇති වැඩිම ලකුණු ප්‍රමාණය ලකුණු 130කි. 

  • පළමු ටෙස්ට් තරගයේ දී ලබාගත් ලකුණු – 59

බාබර් අසාම් 

ICC ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම අනුව 13 වැනි ස්ථානයේ රැඳී සිටින බාබර් අසාම් මෑත කාලය තුල නොකඩවා ඉතාමත් හොඳින් ලකුණු අතරට පැමිණි පිතිකරුවෙකි. ඒ බව නිමාව දුටු පළමු ටෙස්ට් තරගයේ දී ද සාක්ෂාත් කලේ නොදැවී ශතකයක් ලබාගෙනයි. 

ජාත්‍යන්තර ටෙස්ට් තරග 24ක දී ඉනිම 45ක් තුළ ලකුණු 1547ක් රැස්කර ගෙන ඇති අසාම්ගේ එම ලකුණු ගොන්න අතරට එක් ශතක තුනක් හා අර්ධ ශතක 12ක් ඇතුළත් වන අතර, ඔහු එක් ඉනිමක දී ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 37.70ක් වැනි ඉහළ අගයක ඇත. 

  • පළමු ටෙස්ට් තරගයේ දී ලබාගත් ලකුණු – 102*

ඇන්ජලෝ මැතිව්ස් 

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් දකුණතින් පිත්ත හසුරුවන ශ්‍රී ලංකා මැදපෙළ සිටින දක්ෂ පිතිකරුවෙකි. මෙම පිතිකරුවා ද පාකිස්තානයට එරෙහිව ටෙස්ට් ඉනිම 32ක් සඳහා සිය දායකත්වය දක්වමින්, පිත්තෙන් ලකුණු 1309ක් ලබාගෙන ඇත. 

ඒ අතරට අර්ධ ශතක 7ක් සහ ශතක දෙකක් ඇතුළත් වන අතර, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 59.50ක් වැනි අගයක ඇත. මැතිව්ස් පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගයක දී එක් ඉනිමක් තුළ ලබාගෙන ඇති උපරිම ලකුණු සංඛ්‍යාව ලකුණු 157*කි. 

  • පළමු ටෙස්ට් තරගයේ දී ලබාගත් ලකුණු – 31

අසාර් අලී 

පාකිස්තානු කණ්ඩායම සතුව සිටින තවත් ප්‍රබල තරුවක් වන අසාර් අලී මෙවර පාකිස්තානු කණ්ඩායමේ නායකයා ලෙස තරගාවලියට අවතීර්ණ වෙයි. ඉතාමත් ජවසම්පන්න ප්‍රහාරවලින් සපිරි පිතිකරුවෙක් වන ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් පන්දු යවන්නන්ට එදිරිව තරග 15ක් සඳහා ඉනිම 27ක් තුළ සිය දස්කම් ප්‍රදර්ශනය කර ඇත. 

එහි දී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 2745ක් ලබාගෙන ඇති අලී ශතක හා ශතක 5ක් කට හිමිකම් කියයි. එම නිසා යම් හෙයකින් අලී අර්ධ ශතකයක් ලබා ගතහොත් ශතකයක් වෙත පහසුවෙන්ම යාමට වැඩි ඉඩකඩක් ඇති පිතිකරුවෙකි. ශ්‍රීලංකාවට එරෙහිව ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 48.06ක් වැනි හොඳ මට්ටමක තිබේ. 

  • පළමු ටෙස්ට් තරගයේ දී ලබාගත් ලකුණු – 36

ප්‍රබල පන්දු යවන්නන් 

දිල්රුවන් පෙරේරා 

මෙම තරගාවලිය සඳහා දෙපිළම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් අතුරෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලතම දඟපන්දු යවන්නාගේ ගෞරවය දිල්රුවන් පෙරේරා හට හිමිවන බව නොඅනුමානයි. 

පෙරේරා පාකිස්තානු කණ්ඩායමට එරෙහිව ඉනිම 12ක් සඳහා ක්‍රීඩා කරමින් ලකුණු 846ක් තුළ කඩුලු 26ක් දවා ගැනීමට සමත්ව ඇත. ඒ අතරට එක් ඉනිමක් තුළ දවා ගත් කඩුලු 5 අවස්ථාවන් 2කට හිමිකම් කියන පෙරේරා එක් පන්දු වාරයකට දළ වශයෙන් ලකුණු 3.46ක ලකුණු ප්‍රමාණයක් ලබා දෙමින් හොඳ මට්ටමක පසුවෙමින් පන්දු යවනු ලබයි. ඔහුගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය දල වශයෙන් ලකුණු 33කට ආසන්නය. 

  • පළමු ටෙස්ට් තරගයේ දී දැක්වූ දස්කම් – 0/85

යසීර් ෂා 

පාකිස්තානු කණ්ඩායම සතුව සිටින තවත් අත්දැකීම් සපිරුණු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ෂා, ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ඉනිම 10ක් තුළ කඩුලු 40ක් දවා ගැනීමට සමත්ව ඇත. 

එහි දී එක් කඩුල්ලක් දවා ගැනීමට දළ වශයෙන් ලකුණු 21.65ක් පමණ ලබා දී ඇති ෂා, එක් පන්දු වාරයකට දල වශයෙන් ලකුණු 2.63ක් පමණ ලබා දෙමින් දක්ෂ ලෙස පන්දු යවන ක්‍රීඩකයෙකි. 

ලහිරු කුමාර 

ශ්‍රී ලංකාව තුළ දැනට සිටින දක්ෂ වේගපන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන ලහිරු කුමාර වැඩි ජවයක් සහ වේගයක් සහිතව පන්දු යැවිය හැකි ක්‍රීඩකයෙකි. 

දැනට ටෙස්ට් තරග 18ක් සඳහා ක්‍රීඩා කර තිබෙන කුමාර පාකිස්තානයට එදිරිව ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙයයි. ටෙස්ට් ඉනිම 29ක දී ලකුණු 2051ක් ලබා දී කඩුලු 54ක් දවා ගැනීමට ඔහු සමත්ව ඇත. කුමාර විසින් එක් ඉනිමක් තුළ යැවූ හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 122කට කඩුලු 6ක් දවා ගැනීම ක්‍රිකට් වාර්තා පොතේ සටහන්ව තිබේ.  

  • පළමු ටෙස්ට් තරගයේ දී දැක්වූ දස්කම් – 1/46

මොහොමඩ් අබ්බාස් 

දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වන වයස අවුරුදු 29ක් වන මොහොමඩ් අබ්බාස්, ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් ඉතිහාසය තුළ තරග 2ක ඉනිම 4ක් සඳහා සහභාගි වී එහි දී කඩුලු 8ක් දවා ගැනීමට සමත්ව ඇත. 

එහි දී ඔහු විසින් දල වශයෙන් එක් පන්දු වාරයකට ලකුණු 2.67ක පමණ ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබා දී ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල ටෙස්ට් තරග 15ක් සඳහා ක්‍රීඩා කළ ඇති අබ්බාස් එහි දී කඩුලු 6ක් දවාගෙන තිබේ. 

  • පළමු ටෙස්ට් තරගයේ දී දැක්වූ දස්කම් – 1/72

කරච්චි තණතීරුව, පිටිය හා කාලගුණය 

ප්‍රේක්ෂකයින් 34,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම ක්‍රීඩා පිටියේ 2009 අප්‍රේල් 25 වැනිදාට පසුව ටෙස්ට් තරගයක් පැවැත්වෙන්නේ පළමු වරටයි. 

එසේම මෙම තණතීරුව පන්දු යවන්නන්ට සාපේක්ෂව පිතිකරුවන්ට වඩාත් උචිත තණතීරුවක් ලෙස හැසිරේ. දෙවන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි. 

කාලගුණ තත්ත්වය නිරීක්ෂණය කළ විට ටෙස්ට් ක්‍රිකට් තරගයකට ඉතාමත් උචිත කාලගුණයක් බලාපොරොත්තු වීමට හැකිය. තවද 23°C – 28°C පමණ උෂ්ණත්වයක් කරච්චි අවට ප්‍රදේශය තුල අපේක්ෂා කිරීමට හැකිය. 

වර්තමාන තත්ත්වය 

පාකිස්තානු කණ්ඩායමට සාපේක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායම තරමක් පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර, පාකිස්තානුවන් දැනට (දෙසැම්බර් 18) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි  ස්ථානයේ පසුවෙයි. 

ඔවුන් එම ශ්‍රේණිගත කිරීමේ දී ලකුණු 2410ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 80ක් හිමි කර ගෙනයි. 6 වන ස්ථානයේ පසු වන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 3795ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 95ක් ලබා ගෙනයි.  

අවසන් නිගමනය 

පාකිස්තානය තුල දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් බොහෝමයක් දෙනා මෙන්ම පාකිස්තාන ක්‍රීඩකයින් බොහෝමයක් දෙනා ජාත්‍යන්තර ක්‍රිකට් තරග එතරම්ම ක්‍රීඩා කර නොමැති නිසා කණ්ඩායම් දෙකට මෙය නවමු අත්දැකීමක් වනු නිසැකය. 

එසේම දෙපිලේ බොහෝමයක් ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාසයන් දෙපිලේම ක්‍රීඩකයින් මනාව හඳුනා ගෙන නොමැත. එසේම තරග ඉතිහාසය පිරික්සා බලන කල පාකිස්තානු කණ්ඩායම පෙරමුණේ පසු වුවත්, එම තරගය තුල අඩුපාඩු හා දුර්වලතා අවම මට්ටමක පවත්වා ගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය. 

ශ්‍රී ලංකා සංචිතය –  දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත. 

පාකිස්තාන සංචිතය – අසාර් අලී (නායක), අබිඩ් අලී, අසාද් ෂෆීක්, බාබර් අසාම්, ෆවාඩ් අලාම්,හැරිස් සොහේල්, ඉමාම් උල් හක්, ඉම්රාන් ඛාන්, කශිෆ් බහට්ටි, මොහොමඩ් අබ්බාස්, මොහොමඩ් රිස්වාන් (කඩුලු රකින්නා), නසීම් ශා, ශහීන් අෆ්රිඩි, ශාන් මසූඩ්, යසීර් ශා, උස්මාන් ශීන්වාරි. 

දෙවන ටෙස්ට් තරගයට අපේක්ෂිත ටෙස්ට් කණ්ඩායම්, 

ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර. 

පාකිස්තානය – ශාන් මසූඩ්, ඉමාම් උල් හක්, අසාර් අලී (නායක), බාබර් අසාම්, අසාද් ෂෆීක්, ෆවාඩ් අලාම්, මොහොමඩ් රිස්වාන් (කඩුලු රකින්නා), යසීර් ශා, ශහීන් ශා අෆ්රිඩි, නසීම් ශා, මොහොමඩ් අබ්බාස් 

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා සජීව තරග අත්දැකීම ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<