ක්‍රිකට් සහ දැල්පන්දු සංසන්දනය කරන්න එපා – තිලකා ජිනදාස

180

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම පසුගිය වසරේ දී ආසියානු ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව මේ වන විට මෙම වසරේ ජූලි මාසයේ දී ලිවර්පූල් නුවර පැවැත්වීමට නියමිත දැල්පන්දු ලෝක ශූරතා තරගාවලිය සඳහා සූදානම් වෙමින් සිටියි.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉතිරිව ඇත්තේ තවත් මාස 5කටත් අවම කාලයක් වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වන ආකාරය, එහි ඉලක්ක සහ අපේක්ෂා පිළිබඳව අදහස් දැක්වීමට කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනී තිලකා ජිනදාස මහත්මිය ThePapare.com සමඟ එක්විය.

Q – ලෝක කුසලානයට සූදානම කොහොමද?

A – අපි පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ ඉඳලා ‘Conditioning training’ සිදු කරනවා. දැන් එළඹිලා තියෙන්නේ ක්‍රීඩා පිටියට පිවිසෙන කාලය. මම ඉල්ලපු විදිහටම දැල්පන්දු සම්මේලනය මඟින් අප්‍රේල් මාසේ 08 සිට 12 වැනිදා දක්වා ‘exposure series’ එකක් සූදානම් කරලා තියෙනවා. ඒකට මැලේසියානු කණ්ඩායම සිය සහභාගීත්වය තහවුරු කරලා තියෙනවා.

මේ වන විට අපේ යොවුන් කණ්ඩායමයි, ජාතික කණ්ඩායමයි සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ සඳහා තවත් කණ්ඩායමක් සහභාගී කරවන්න. ඒ අමතර කණ්ඩායම සූදානම් කරගන්න පුළුවන් වුනත් බැරි වුනත් අපි එහි දී තරගාවලියක් ක්‍රීඩා කරනවා. ඒ සිංගප්පූරු කණ්ඩායම පසුගිය වසරේ මෙහේ ඇවිත් ක්‍රීඩා කළ පූර්ව තරගාවලිය වගේ එකක්. එහි දී අපිට ක්‍රීඩිකාවන්ගේ දියුණුවක් සිදු වෙලා තියෙන්නේ කොයි ආකාරකයින් ද, ඔවුන් තරගාවලියට මුහුණ දෙන්නේ කොහොමද හා ඔවුන් තරගවල දී සැලසුම් ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා බලාගන්න පුළුවන්.

අපිට ඉහළින් ඉන්න කණ්ඩායමක් සමඟ නෙමෙයි, අපිට අපේ මට්ටමේම ඉන්න කණ්ඩායමක් එක්ක ඒ දේවල් සිදු වෙන්නේ කොහොමද කියලයි බලාගන්න ඕන. අපිට විශේෂයෙන් බලාගන්න ඕන අපේ ක්‍රීඩිකාවන් පීඩනයට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඒ දේවල් වලට එළඹෙන අප්‍රේල් මාසේ තිබෙන තරගාවලිය ගොඩක් වැදගත්. ඒ වගේම මැයි මාසේ දෙවන හෝ තෙවැනි සතියේ අපි තවත් තරගාවලියක් ක්‍රීඩා කරන්න පිටරට යනවා. එහි අපේ මූලික අරමුණ අපේ ක්‍රීඩිකාවන් විදේශ තත්වයන්ට හැඩගැසෙන්නේ කොහොමද කියලා නිරීක්ෂණය කරන එක.

එහි දී අපිට ක්‍රීඩා කරන්න ඕනේ අපේම මට්ටමේ ඉන්න කණ්ඩායමක් හෝ අපිට වඩා තරමක් ඉහළින් ඉන්න කණ්ඩායමක් එක්ක. අපි කලින් පාර මලාවි ගියා වගේ මේ පාර අප්‍රිකානු රටකට යා යුතුයි. මොකද අපිට ලෝක කුසලානයේ දී මුලින්ම තරග කරන්න තියෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායමත් එක්ක. ඊට පස්සේ උතුරු අයර්ලන්ත කණ්ඩායම එක්ක. මම විශ්වාස කරනවා අපිට ඒ තරග දෙක ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. මේ හැම සූදානමක්ම වෙන්නේ ඒ තරග දෙක සඳහා. ඇත්තම කිව්වොත් මම ලෝක කුසලානය පිළිබඳව තවම හිතලා නැහැ. මගේ පළමු ඉලක්කය ඒ තරග දෙක ජයග්‍රහණය කිරීම. ඊට පස්සේ ඊළඟ පියවර සඳහා සැලසුම් කරනවා.

මම දැල්පන්දු සම්මේලනයෙන් ඉල්ලලා තියෙනවා අපිට කලින් ලිවර්පූල් වලට යන්න අවස්ථාව දීලා ලෝක කුසලානයට යන්න කලින් එංගලන්තයේ තිබෙන ක්‍රීඩා සමාජ කිහිපයක් එක්ක ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා. ඒක තමයි මගේ මූලික සැලැස්ම. ඒ සඳහා මට දැල්පන්දු සම්මේලනයේ පූර්ණ සහයෝගය ලැබෙනවා. මේ සියල්ල සැලසුම් කරලා තියෙන පරිදි කරගන්න පුළුවන් වුනොත් පසුගිය අවස්ථාවලට වඩා වැඩි යමක් මෙවර ලෝක කුසලානයේ දී අපිට කරන්න පුළුවන් වෙයි.

ලක් දැල්පන්දු ක්‍රීඩිකාවෝ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අතිසාර්ථක වසරකට පසු ශ්‍රී ලංකා දැල්පන්දු …

Q – ජාතික සංචිතය තුළ වෙනස්කම් වෙයි ද?

A – අපි මෑතක දී පළමු තේරීමේ කටයුතු පැවැත්වුවා. ක්‍රීඩකයින් දෙදෙනෙක් සුළු ආබාධවලින් පෙළෙන නිසා ක්‍රීඩකාවන් 15 දෙනෙක් වෙනුවට අපි 17 දෙනෙක් එහි දී තෝරාගත්තා. ඔවුන් දෙදෙනාම ආසියානු ශූරතාවය දිනා ගත් සංචිතය නියෝජනය කළ ක්‍රීඩිකාවන්. නමුත් අප ආදේශක ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ඇතුළත් කළා. ඒ අනුව අපි මේ වන විට ක්‍රීඩිකාවන් 17 දෙනෙක්ව පුහුණු කරනවා.

අපි මීළඟ තේරීමේ කටයුතු අප්‍රේල් මාසේ තරගාවලිය පැවැත්වීමට පෙර සිදු කරනවා. එහි දී අපි සංචිතය 15 දක්වා අඩුකර ගන්නවා. අනතුරුව ඒ 15 දෙනා අඛණ්ඩව පුහුණුවීම් කටයුතුවල යොදවලා දෙවන තරගාවලිය අවසන් වුනාට පස්සේ ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් යුත් අවසාන සංචිතය සහ අතිරේක ක්‍රීඩිකාවන් 3 දෙනා තෝරාගන්නවා.

Q – ආබාධවලට ලක්වෙලා තිබෙන ක්‍රීඩිකාවන් දෙදෙනා සහ ඔවුන්ගේ ස්ථානයට තෝරාගෙන ඇති ක්‍රීඩිකාවන් කවුරුන් ද?

A – ආසියානු ශූරතාවය සඳහා ක්‍රීඩා නොකළ නවක ක්‍රීඩිකාවන් සංචිතයට ඇතුළත් වෙලා තියෙනවා. ඔවුන් අඛණ්ඩව පුහුණුවීම් කටයුතු වල නිරත වෙමින් සිටින්නේ. මම කලින් කිව්වා වගේ ආසියානු සංචිතය සඳහා සහභාගී වූ ක්‍රීඩිකාවන්ම ලෝක කුසලානය සඳහා ද සහභාගී කරවනවා කියලා තීරණයක් නැහැ. මට අවශ්‍ය ලෝක කුසලානයේ දී ලංකාවේ සිටින හොඳම ක්‍රීඩිකාවන් 12 දෙනා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම. ඒ නිසා තමයි අප සංචිතය විවෘත කරලා පුහුණුවීම් කටයුතු පැවැත්වූවේ. එහි දී අලුත් ක්‍රීඩිකාවන් 5 දෙනෙක් සංචිතයට තේරී පත්වුණා.

සිදුවෙලා තියෙන ආබාධ ඉතාම සුළු ඒවා. ඒ නිසා ඒ ක්‍රීඩිකාවන් දෙදෙනාම ආසියානු ශූරතාවයේ අවසන් මහා තරගය ක්‍රීඩා කරපු ක්‍රීඩිකාවන් නිසා ඔවුන්ව පැවැත්වූ පළමු තේරීමේ කටයුතු සඳහා සහභාගී කරවන්න මට අවශ්‍ය වුනේ නැහැ. වෛද්‍යවරයාත් උපදෙස් දුන්නා ඔවුන්ව සති දෙකක කාලයක් විවේක ගන්වන්න කියලා. ඒ තේරීමේ කටයුතු පැවැත්වුණේ ඒ කාලය අතරතුර.

ඊළඟ තේරීමේ කටයුතුවල දී සියලු දෙනාම ක්‍රීඩා කළ යුතුයි. ඒ අප්‍රේල් මාසේ පැවැත්වෙන තරගාවලියට පෙර. ඔවුන් ඒ සඳහා සහභාගී නොවුණොත් ඔවුන්ව අවසන් සංචිතය සඳහා සලකා බැලෙන්නේ නැහැ. ඒ අනුව එහි දී ක්‍රීඩිකාවන් 17 දෙනාම ක්‍රීඩා කරනවා. එතැන දී ක්‍රීඩිකාවන් 15 දෙනෙක් තෝරගත්තට පස්සේ අපට දළ අවබෝධයක් ලබාගන්න පුළුවන් අවසන් ක්‍රීඩිකාවන් 12 දෙනා කවුරුන් වෙයි ද සහ අතිරේක ක්‍රීඩිකාවන් 3 දෙනා කවුරුන් වෙයි ද කියන එක පිළිබඳව.

Q – පුහුණුවීම් කටයුතු සිදුවෙන්නේ කෙසේද?

A – උදේ සහ සවස වන පරිදි අපි සතියකට පුහුණු සැසි 11ක් සිදු කරනවා. ඊට අමතරව අපි ‘conditioning training’ සහ ‘court work’ සිදු කරනවා. එහි දී නියමිත ලක්ෂණ සහ ගුණාංග වලට ගැළපෙන ක්‍රීඩාංගණයක් කොළඹ සහ ඉන් අවට සොයාගන්න අපහසු නිසා ‘court work training’ සිදු කිරීම තරමක් අපහසු වෙලා තියෙනවා. අපිට තියෙන අනෙක් විසඳුම තමයි කොළඹින් පිටට ගිහින් නේවාසිකව පුහුණුවීම් සිදුකරන එක.

Q – ඔබ ලිවර්පූල්හි කාලගුණ තත්වය සඳහා සූදානමක් සිදු කරනවා ද?

A – නෑ, ඒක මෙහෙමයි. අපි එහේ යන්නේ ග්‍රීෂ්ම සෘතුවේ. ඒ වගේම දැල්පන්දු තරග පවත්වන්නේ ගෘහස්ථව. එහි දී උෂ්ණත්වය තියෙන්නේ 16ත් 21ත් අතර. ඒ නිසා මම හිතන්නේ නැහැ කාලගුණ තත්වයෙන් අපිට ලොකු බලපෑමක් එල්ල වෙයි කියලා. නමුත් එහි දී සැලකිලිමත් විය යුතු අංශයක් තමයි ආහාරපාන. මොකද අපිට යුරෝපයේ රටකට ගියහම අපේ කෑම හොයාගන්න අමාරුයි. නමුත් මට විශ්වාසයක් තියෙනවා අපිට ඒකත් නිසියාකාරව කළමනාකරණය කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද කොහේ ගියත් ඕනේ තරම් ශ්‍රී ලාංකිකයින් ඉන්න නිසා.

Q – ඔබේ මූලික අරමුණ කුමක්ද?

A – මගේ අරමුණ තරගාවලියේ පළමු කණ්ඩායම් අතර රැඳෙමින් තරගාවලිය අවසන් කිරීම. ඒකයි මම මුලින්ම කිව්වේ අපේ මුල් තරග දෙක ගොඩක් වැදගත් කියලා. ඒ දෙක ජයග්‍රහණය කළොත් ඊළඟ වටයට සුදුසුකම් ලබනවා. ඒ නිසා මගේ අවධානය ඒ පිළිබඳව. මම ලෝක කුසලානය ගැන හිතලා නැහැ. මූලික අවධානය තියෙන්නේ ඒ තරග දෙක පිළිබඳව.

Q – විදේශ තරගාවලියක් සඳහා යන්න බලාපොරොත්තු වෙන්නේ කොහේට ද?

A – දැනට නම් අපිට අවශ්‍ය සිම්බාබ්වේ වගේ රටකට යන්න. අපි ඔවුන්ගේ සම්මේලනය සමඟත් සම්බන්ධ වෙමින් සිටින්නේ. සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රේණිගත කිරීම් වල 11 ස්ථානයේ ඉන්නේ. අපි ඉන්නේ 19 වෙනි ස්ථානයේ. ඔවුන් 11 වෙනි ස්ථානයේ ඉන්නේ ඔවුන් තරග 30කට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කරලා තියෙන නිසා. අපි 19 වෙනි ස්ථානයේ ඉන්නේ තරග 11ක් ක්‍රීඩා කරලා. ඒ නිසා මම විශ්වාස කරනවා අපිට ඔවුන්ට හොඳ තරගයක් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා.

අපි ඒක පාරක් මලාවි ගියා. අවශ්‍ය නම් ආයේ යන්න පුළුවන්. මොකද එහේ ඉන්න ශ්‍රී ලාංකිකයින් ගොඩදෙනෙක් අපිට කියනවා නැවතත් එන්න කියලා. නමුත් මම හිතුවා අපිට වෙනසක් සහ අභියෝගයක් ඕන කියලා. අපි සිම්බාබ්වේ දී තරග 3කට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා. හරියටම කිව්වොත් තරග 6ක්. ඉන් 3ක් සිම්බාබ්වේ ජාතික කණ්ඩායම සමඟ. මගේ ඉල්ලීම ඒක. නමුත් අපිට තවමත් ඊට තහවුරු කිරීමක් ලැබීමට නියමිතයි.

සත්කාරක රටට ‘IFNA’ (දැල්පන්දු සංගම් වල ජාත්‍යන්තර සම්මේලනය) ඒකට ඉල්ලීමක් කරන්න පුළුවන් ටෙස්ට් තරගාවලියක් පවත්වන්න කියලා. නමුත් ඒ සඳහා අපෙන් යම් මුදලක් වැයවෙනවා. මොකද එහි දී අපට එක් විනිසුරුවරයෙකුගේ වියදම දරන්න වෙනවා. නමුත් ශ්‍රේණිගත කිරීම්වල ටිකක් ඉහළට යන්න ඒක ඉවහල් වෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් අපට තියෙන්නේ ආසියානු ශූරතාවය සහ ලෝක කුසලානය විතරයි. ඒ තරගාවලි දෙක විතරයි අපිට තියෙන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට යන්න. මොකද අපි ටෙස්ට් තරගාවලි ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ අනුව මම හිතනවා මේක තමයි හොඳම කාලය අපිට ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කරන්න කියලා. එහෙම නැතුව අපි ලෝක ශ්‍රේණිගත කිරීම් ගැන කතා කරලා වැඩක් නැහැ.

අනෙක් රටවල් තරගාවලි රැසකට සහභාගී වෙනවා. උදාහරණයක් විදිහට නවසීලන්තය මෑතක දී ‘Quad series’ එකක් ක්‍රීඩා කළා. ඔවුන් ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් රැඳෙන්නේ එහෙම. ශ්‍රේණිගත කිරීම්වල පහළින් සිටින කණ්ඩායම් වැය වන මුදල නිසා ටෙස්ට් තරග ක්‍රීඩා නොකිරීම නිසා ඔවුන්ට ගොඩක් දුරට ශ්‍රේණිගත කිරීම්වල ඉහළට එන්න හැකියාවක් නැහැ. එහි දී අපිට විනිසුරුවරයාගේ ගාස්තුව, ගුවන් ටිකට්පත්, නවාතැන් පහසුකම් සහ ආහාරපාන වගේ හැම වියදමක්ම දරන්න වෙනවා.     

Q – දැල්පන්දු සම්මේලනයෙන් ලැබෙන්නේ කොයි වගේ සහයෝගයක් ද? විශේෂයෙන් පැවැත්වීමට නියමිත එහි නිලවරණයත් එක්ක?

A – මට සම්මේලනයෙන් පූර්ණ සහයෝගය ලැබෙනවා. නමුත් මම හිතන්නේ නැහැ මේ වේලාව නිලවරණයක් පවත්වන්න සුදුසුයි කියලා. මොකද ඒක අපේ ඉලක්කයට බාධාවක් වෙන්න පුළුවන්. අපිට දැක්මක් තිබ්බා ආසියානු ශූරතාවය ජයග්‍රහණය කරන්න. අපි ඒක කළා.

මම දන්නවා සභාපතිතුමිය සහ ලේකම්තුමිය සමහර අවස්ථාවල දී ඔවුන්ගේ පෞද්ගලික මුදල් පවා වියදම් කරමින් ලොකු කැපකිරීම් කළා. ඉතින් අපේ ගෞරවය පවත්වා ගෙන යන්නටත්, ඔවුන් සිදු කළ කැපකිරීම් වලට ගෞරව දැක්වීමක් විදිහටත් අපි කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ගැනත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසාදීම කෙරෙහිත් අවධානය යොමුකරන්න ඕනේ.

මම කියන්නේ නැහැ නිලවරණය පවත්වන්න ඕන නැහැ කියලා. මොකද අපි පිළිපැදිය යුතු නීතියකුත් තියෙනවා නේ. නමුත් මගේ මතය නම් අපේ අරමුණට බාධාවක් වෙනවා නම් අපිට යම් යම් දේවල් වල සුළු වෙනස්කම් කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද එය සම්පූර්ණයෙන්ම වත්මන් පරිපාලනය අපේ අරමුණෙන් ඈත් කරනවා. මොකද ඔවුන්ට එහේ ගිහින් ලියුම් බාරදීම ආදිය කරන්න තියෙනවා.

අපිට ලෝක කුසලානය සඳහා තියෙන්නේ තවත් මාස 5කටත් අඩු කාලයක්. දින 148ක් හෝ 149ක් පමණයි. ඉතින් මම ඉල්ලන්නේ අපි ඒ සුළු කාලය තුළ අපේ අතේ තියෙන කාර්යභාරය – ඒ කියන්නේ ලෝක කුසලානය පිළිබඳව පමණක් අවධානය යොමු කරමු කියලා.

ගොඩක් අය කියනවා ක්‍රිකට්වල තිබ්බ තත්වය යටතේ වුවත් ඔවුන් එහි නිලවරණය පැවැත්වුවා කියලා. නමුත් ක්‍රිකට් හා දැල්පන්දු කියන්නේ වෙනස් ක්‍රීඩාවන් දෙකක්. ක්‍රිකට් පාලක මණ්ඩලය ගත්තොත් එහි සිටින්නේ වැටුප් ලබන සේවකයින්. නමුත් මෙහි සිටින්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙච්ච පිරිසක්. අපි ඔවුන්ට ක්‍රීඩාංගණ නැහැ කියලා කිව්වොත් ඔවුන් අදාළ පුද්ගලයින්ට කතා කරලා කොහොම හරි අවශ්‍ය දේ සූදානම් කරලා දෙනවා.

ඒ අනුව මේක සම්පූර්ණයෙන්ම වෙනස් පද්ධතියක්. ඒ නිසා කරුණාකරලා මේ දෙක සංසන්දනය කරන්න එපා. ගොඩ දෙනෙක් ,ඒ දෙක සංසන්දනය කරනවා. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව අනෙක් හැම ක්‍රීඩාවකටම වඩා ඉදිරියෙන් සිටින්නේ. ඔවුන් බොහොම වෘත්තීයමය යි. නමුත් මේක ක්‍රීඩා අමාත්‍යංශය ලබා දෙන ශක්තිය හා ධෛර්යය මත අපේ ආසාවෙන් අපි යන ගමනක්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<