සුසන්තිකාගේ වගකීම් දීර්ඝ වෙයි

268
Image Courtesy: Inside the Games

ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක් ලෙස හිටපු ප්‍රවීණ මලල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ මහත්මිය පත්කිරීම සඳහා සිදු කර තිබූ යෝජනාව සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

වත්මන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය සඳහා ඉදිරිපත් කර තිබූ අතර එය සඳහා අද (12) අනුමැතිය හිමිව තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් සම කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර සිටියේ අද (12) පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේ දී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අවසරය හිමි වූ බවයි.

සුසන්තිකා ජයසිංහ මහත්මිය මීට පෙර ද එම තනතුරේ කටයුතු කළ ද එය ස්ථීර තනතුරක් නොවූ අතර එය වසරක් පාසා අලුත් කිරීමට සිදු වන කොන්ත්‍රාත් පදනම මත ලද තනතුරක් වුනා.

මෙම නව යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වීමෙන් පසුව ඇයගේ තනතුර පිළිබඳව ThePapare.com වෙත අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේ ඇයට එම තනතුරෙන් විශ්‍රාම ගන්නා කාලය වන තෙක් කටයුතු කළ හැකි බවයි.

මෙරටින් බිහි වූ ශ්‍රේෂ්ඨතම මලල ක්‍රීඩිකාවක් ලෙස සැලකෙන සුසන්තිකා ජයසිංහ මෙරට කෙටිදුර ධාවනය ජාත්‍යන්තර තලයේ බබළවමින් 2000 වසරේ පැවති ඔලිම්පික් උළෙලේ දී මීටර් 200 ඉසව්වෙන් රිදී පදක්කමක් මෙරටට දිනා දීමට ඇයට හැකි වුනා.

>>තවත් ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<