කුළුඳුල් විස්සයි විස්ස කිරුළට පෙරගමන් යන කිවියන්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

1116

ICC විස්සයි විස්ස ලෝක කුසලානය ඇරඹීමට ඇත්තේ තවත් දින කිහිපයකි. මෙවර තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාව විසින් දැරුව ද, පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දීයි.

ඊට සහභාගී වන කණ්ඩායම් අතරින් බලාපොරොත්තු දල්වා සිටින කණ්ඩායමක් ලෙස නවසීලන්තය ඉදිරියෙන් සිටින්නේ තමන් ලෝක කුසලාන ඉතිහාසයේ මේ දක්වා සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ කුසලාන සිහිනය ද සමඟිනි.

ඔවුන් මේ දක්වා කිසිම පන්දුවාර 50 හෝ විස්සයි විස්ස ICC ලෝක කුසලාන තරගාවලියක ශූරතාවය හිමිකරගෙන නොමැති අතර ඔවුන්ගේ ඉහළතම දක්ෂතා වන්නේ 2015 හා 2019 පන්දුවාර 50 ලෝක කුසලාන දෙකෙහි අනුශූරතාවයන් හිමිකර ගැනීමයි.

ඔවුන් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ දී Group 1 යටතේ ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය හා සුදුසුකම් ලැබීමේ වටයෙන් සුදුසුකම් ලබන කණ්ඩායම් දෙකක් සමඟ තරග වැදීමට නියමිතව ඇත.

මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් අතරින් මුලින්ම තම සංචිතය නම් කරනු ලැබුවේ ද නවසීලන්ත කණ්ඩායමයි.

සුපුරුදු පරිදි Kane Williamsonගේ නායකත්වය යටතේ තරග බිමට පිවිසෙන නවසීලන්තය වර්තමානයේ පසුවන්නේ ඔවුන්ගේ ක්‍රිකට් ඉතිහාසයේ එදාමෙදාතුර ඉහළතම මට්ටමේ පසුවන කාල සමයේ දීයි. ICC විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ පසුවන කිවියන් මෙවර විස්සයි විස්ස කිරුළ හිමිකරගැනීම සඳහා ඉදිරියෙන් ම සිටින කණ්ඩායමක් වශයෙන් නම් කළ හැක.

මෙම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලෙස Martin Guptill සමඟ කඩුලු රකින ක්‍රීඩක Tim Seifart කටයුතු කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. මේ වන විට නවසීලන්ත කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලතම පිතිකරුවා වන Guptill මෙවර ක්‍රීඩා කරන්නේ තම 6 වන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා යි. ලකුණු 2939ක් සමඟින් එදාමෙදාතුර T20I ක්‍රිකට් ඉතිහාසයේ දෙවන වැඩිම ලකුණු ලාභියා ද වන ඔහු කණ්ඩායමේ සිටින ප්‍රබලතම තුරුම්පුවකි.

නවසීලන්ත විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු බවට පත්ව ඇති කඩුලු රකින ක්‍රීඩක Tim Seifart ද මේ වන විට වසර තුනක ජාත්‍යන්තර අත්දැකීම් සහිත අයෙකි.

අංක 3 ස්ථානය සුපුරුදු පරිදි නායක Kane Williamson කටයුතු කරනු ලබන්නේ පිතිකරණ අංශයේ විශාලතම බලාපොරොත්තුව වශයෙනි. මෙම පිතිකරණ ලැයිස්තුවේ සිටින වඩාත්ම වගකීම්සහගත පිතිකරුවා වශයෙන් හැඳින්විය හැකි නායක Williamson කණ්ඩායමේ නැංගුරම ලෙස විශාල කාර්‍යභාරයක් ඉටු කරයි.

අංක 4 ස්ථානය නවක සුපිරි ක්‍රීඩක Davon Conway ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. ඇතැම් විට ඔහු Martin Guptill සමඟ ආරම්භක පිතිකරුවා වීමට ද ඉඩකඩක් ඇති අතර එසේ වුවහොත් කඩුලු රකින ක්‍රීඩක Seifart මැදපෙළ පිතිකරුවකු ලෙසින් ක්‍රීඩා කරනු ඇත.

තවමත් T20I තරග 14ක් පමණක් ක්‍රීඩා කර ඇති පිතිකරුවකු වුවද Conway මෙම තරගාවලියේ විශාලතම නවසීලන්ත බලාපොරොත්තුවක් බවට පත් වී ඇත. ඒ ඔහු මේ දක්වා ක්‍රීඩා කළ කෙටි කාලසමය තුළ දී ඔප්පු කර පෙන්වූ ඔහුගේ අතිවිශිෂ්ට පිතිහරඹ විලාශය හේතුවෙනි.

පිතිකරුවකුට අමතරව අතිරේක කඩුලු රකින්නෙකු ද වන Conway මේ වන විට T20I ලකුණු 473ක් රැස්කර ඇත්තේ 59.1ක අග්‍රගණයේ පිතිකරණ සාමාන්‍යයක් හා 151.1ක සුපිරි ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමිනි.

ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන Glenn Philipsගේ පිතිකරණ ස්ථානය වන්නේ අංක 5යි. තම ක්‍රීඩා දිවියේ මුල් අවධියේ දී ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළ Philips අතිරේක කඩුලු රකින්නෙකු වශයෙන් ද කටයුතු කරයි.

මෙම සංයුතියේ සිටින ප්‍රධානතම තුන් ඉරියව් ක්‍රීඩකයා වශයෙන් හැඳින්විය හැක්කේ Jimmy Needham ය. පිතිකරණ ලැයිස්තුවේ අංක 6 ස්ථානයේ ක්‍රීඩා කරන ඔහු ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වශයෙන් ප්‍රතිවාදී පන්දු යවන්නන් හට විශාල අභියෝගයක් විය හැකි අයෙකි.

ඊට අමතරව දකුණත් වේගපන්දු යවන්නෙකු වශයෙන් ඔහු පන්දු යැවීමේ අංශයට ද විශාල දායකත්වයක් ලබා දෙයි. විශේෂයෙන්ම ඉනිමේ අග භාගයේ පන්දු යවන්නෙකු (death bowler කෙනෙකු වශයෙන්) නවසීලන්තය Neesham මත බොහෝ විට විශ්වාසය තබයි.

කණ්ඩායමේ සිටින තවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Mitchell Santner ද මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ නවසීලන්ත ප්‍රධාන තුරුම්පුවක් බවට පත්වීමට ඉඩ ඇත්තේ තරගාවලිය පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තණතිලි බොහෝදුරට මන්දගාමී වීමට ඉඩ ඇති බැවිනි.

දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Santnerව ඔවුන්ට මෙවර වඩාත් වැදගත් සාධකයක් වන්නේ එලෙසිනි. පිතිකරණ ලැයිස්තුවේ අංක 7 ස්ථානය හිමිව ඇති ඔහු ඉනිම නිමා කරන්නා වශයෙන් බොහෝ විට කටයුතු කරනු ලබයි.

Santnerට අමතරව දඟපන්දු බලඇණිය ශක්තිමත් කිරීම සඳහා තවත් දඟපන්දු යවන්නන් දෙදෙනෙකුවම මෙම සංචිතයට ඇතුළත් කර ඇත. ඒ Ish Sodhi හා Todd Astle දෙදෙනායි. මේ අතරින් Ish Sodhi කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වශයෙන් බොහෝ දුරට කටයුතු කරනු ඇත. වසර 7ක T20I අත්දැකීම් ඇති දඟ පන්දු යවන්නෙකු වන Sodhi මේ වන විට තරග 57ක දී කඩුලු 73ක් දවාගෙන ඇත.

සංචිතයේ සිටින අනෙක් දඟපන්දු යවන්නා වන Todd Astle තවමත් ක්‍රීඩා කර ඇත්තේ T20I තරග 4ක් වුවද ඔහු දේශීය පිටියේ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකි. මෙම 16 දෙනෙකුගෙන් සමන්විත නවසීලන්ත සංචිතයේ සිටින වයස්ගතම ක්‍රීඩකයා ද වන Astle 35 හැවිරිදි ක්‍රීඩකයෙකි. ඔහුත් Santner මෙන් ම දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

මෙම සංචිතයේ සිටින අනෙකුත් තුන් ඉරියව් ක්‍රීඩකයින් වන්නේ Daryl Mitchell හා Mark Champman දෙදෙනායි. ඔවුන් දෙදෙනාම පිතිකරණය මූලික කරගත් තුන් ඉරියව් ක්‍රීඩකයින් ය.

වේගපන්දු බලඇණියේ මූලිකත්වය සුපුරුදු පරිදි හිමිව තිබෙන්නේ අත්දැකීම් බහුල වේගපන්දු යවන ක්‍රීඩක Tim Southeeටයි. T20I ක්‍රිකට් ඉතිහාසයේ ලොව තෙවැනි වැඩිම කඩුලු ලාභියා ද වන Southee මේ වන විට කඩුලු 99ක් දවාගෙන ඇත. නමුත් වර්තමානයේ දී ඔහු දක්ෂතා අතින් උපරිම රිද්මයක නොසිටීම මෙහි දී එක් සෘනාත්මක කාරණයක් වශයෙන් සඳහන් කළ හැක. කෙසේ වෙතත් මෙම නවසීලන්ත සංචිතයේ අත්දැකීම් බහුලතම ක්‍රීඩකයා වන Southee ඕනෑම මොහොතක තම සුපුරුදු දස්කම් අතරට පැමිණිය හැකි සුවිශේෂී ක්‍රීඩකයෙකි.

Southee සමඟ අනෙක් අන්තයෙන් පන්දු යවන Trent Boult ඔවුන්ගේ වේගපන්දු බලඇණියේ සිටින ප්‍රබලතම පුරුක වශයෙන් සැලකිය හැක. ප්‍රතිවාදී පිතිකරුවන්ගේ භීතිකාවක් ලෙස හැඳින්විය හැකි Boult වර්තමාන ක්‍රිකට් ලෝකයේ සිටින සුපිරිතම වේගපන්දු යවන්නන් කිහිප දෙනාගෙන් එක් අයෙකි.

කණ්ඩායමේ අවසන් 11 දෙනා අතරින් ස්ථාන 10ක්ම බොහෝ දුරට තීරණය වී ඇතත් Southee-Boult යුගලයේ සහයක තෙවැනි වේගපන්දු යවන්නා කවුරුන් වේවි ද යන්න මේ වන විට යම් තරගයක් නිර්මාණය වී ඇත. ඒ Kyle Jamieson හා Lockie Ferguson දෙදෙනා අතරයි.

ඒ අතරින් Jamieson ටෙස්ට් තරග රටාව ඔස්සේ කැපී පෙනෙන ලෙස දස්කම් දක්වා ඇති ක්‍රීඩකයෙකු වූවද තවමත් T20I තරග රටාවේ දී සුවිශේෂී ලෙස දස්කම් අතරට පිවිස නැත. පන්දුවට පහර දීමේ හැකියාවත් ඇති වේගපන්දු යවන්නෙකු වශයෙන් හැඳින්විය හැකි Jamieson වෙනත් තරග රටා මත හෝ මේ දක්වා පෙන්වා ඇති වැඩිදියුණු වීමේ හැකියාව (Potential) ඔහුගේ තේරීම පිටුපස පදනම් වූ ප්‍රධානතම හේතුකාරණය ලෙස අනුමාන කළ හැක.

Ferguson යනු අමතර වේගයක් සහිත අධිවේගී වේගපන්දු යවන්නෙකු වන අතර ඔහු කඩුලු ලබා ගැනීමේ විශේෂඥ පන්දු යවන්නෙකු (Strike bowler) ලෙස හැඳින්විය හැක. මේ වන විට ඔහු T20I තරග 13ක දී කඩුලු 24ක් දවාගෙන ඇත්තේ 13.2ක සුපිරි පන්දු යැවීමේ සාමාන්‍යයක් හා 6.86ක පන්දු වාරයකට ලකුණු ලබා දීමේ සාමාන්‍යයක් ද (economy) සමඟිනි.

මීට අමතරව තවත් අධිවේගී වේගපන්දු යවන්නෙකු වන Adam Milne 16 වැනි ක්‍රීඩකයා වශයෙන් සංචිතයේ රැඳී සිටින්නේ ආදේශකයක් වශයෙන් අවශ්‍ය වුවහොත් පමණක් කැඳවීමට සිටින ක්‍රීඩකයෙකු වශයෙනි.

කෙසේ වෙතත් මෙම සංචිතයේ ඔවුන්ගේ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයන් කිහිප දෙනෙකු වන Ross Taylor, Colin Munro හා Colin de Grandhomme වැන්නන් නොමැති වීම කැපී පෙනෙන කරුණක්. ඔවුන් ක්‍රීඩකයන් වශයෙන් කෙතරම් ඉහළ තලයක සිටිය ද මෙම තරග රටාවේ වර්තමාන දක්ෂතා අතර නොසිටීම ඔවුන් එයින් මගහැරී යාමට ප්‍රධාන හේතූන් ලෙස හැඳින්විය හැක.

සමස්තයක් ලෙස වර්තමානයේ දී කණ්ඩායමක් වශයෙන් නවසීලන්තය උපරිම තලයක සිටිය ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මන්දගාමී තණතිලි තත්ත්වයන් මත ඔවුන්ට කෙතරම් සාර්ථක විය හැකි ද යන්න යම් සැකයක් ඇතිවිය හැක්කේ ඔවුන්ට වඩාත් හුරුපුරුදු වේග තණතිලි වීම හේතුවෙනි.

කෙසේ නමුත් මෙවර පෙර වතාවල් වලට වඩා වැඩි බලාපොරොත්තු සමඟින් පිටියට පිවිසෙන කිවියන්ගේ ඒකායන අරමුණ වනුයේ තමන්ට පෙර අවස්ථාවල මගහැරී ගිය කිරුළ තමා සන්තකයට ලබා ගැනීමයි.

ගෙවී ගිය අවසන් වසර කිහිපය තුළ තම ජයග්‍රාහී රිද්මය ස්ථාවරව පවත්වා ගෙන ඉදිරියටම ආ වර්තමාන විස්සයි විස්ස සංයුතිය කිසිසේත් අවතක්සේරු කළ නොහැක්කකි. කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුතුව මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය වෙත පිවිසෙන දක්ෂතා සමූහයක එකතුවක් වූ මෙවර නවසීලන්ත කණ්ඩායම ප්‍රතිවාදීන්ට අති විශාල අභියෝගයක් වනු ඇති බවට නොඅනුමානයි.

නවසීලන්ත සංචිතය: Kane Williamson (capt), Todd Astle, Trent Boult, Mark Chapman, Devon Conway, Lockie Ferguson, Martin Guptill, Kyle Jamieson, Daryl Mitchell, Jimmy Neesham, Glenn Phillips, Mitchell Santner, Tim Seifert (wk), Ish Sodhi, Tim Southee, Adam Milne (injury cover)

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<