ශ්‍රී ලංකාව ලකුණු 700 පසුකර යයි; බංග්ලාදේශය අවදානමක

1174
AFP PHOTO

ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ හය වැනි වතාවටත් ලකුණු 700 සීමාව ඉක්මවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමට ලබාගත් ලකුණු 513ට පිළිතුරු ලෙසින් කඩුලු 9ක් දැවී ලකුණු 713ක් ලබා තිබිය දී ඉනිම අත්හිටුවා යළි ප්‍රතිවාදීන්ට පන්දුවට පහර දීමට ආරාධනා කළහ.

[rev_slider LOLC]

චිතගොන් ක්‍රීඩාංගණයේ දී ඉනිමක පරාජයෙන් ගැලවීම වෙනුවෙන් ලකුණු 200ක් පසුපස හඹා යන බංග්ලාදේශ ක්‍රීඩකයෝ තරගයේ සිව්වැනි දිනය අවසන් වෙද්දී කඩුලු 3ක් දැවී ලකුණු 81ක් ලබා සිටියහ. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වඩා තවත් ලකුණු 119ක් පිටු පසින් රැඳී සිටින්නේ ඉනිමක පරාජයෙන් ගැලවීමට තවත් කඩුලු 7ක් පමණක් අතැතිවය.

දින හතරක් නිමා වී තිබිය දී තැන තැන කඩතොළු වූ තණතිල්ලේ ලකුණු සොයා පැමිණි සත්කාරක ක්‍රීඩකයෝ අද (03) දිනය නිමා කළේ හෙට දිනයේ නියත ජයක් බලාපොරොත්තු වන ශ්‍රී ලංකා දඟපන්දු බලඇණියට කෙසේ මුහුණ දෙන්නේ ද යන උභතෝකෝටික ප්‍රශ්නයත් සමඟිනි.

ඔවුන්ට එළඹෙන දිනයේ මේ අසීරු සටනට පිවිසීමට සිදුවන්නේ තම ප්‍රබල පිතිකරුවන් තිදෙනෙක්ම ක්‍රීඩාගාරයේ අසුන් ගන්වා සිටිය දී ය.

ශ්‍රී ලංකා කණ්ඩායම අද මෙවැනි දැවැන්ත ලකුණු ප්‍රමාණයක කඩඉමක් පසු කළේ 2014 වසරේ බංග්ලාදේශයටම එරෙහිව ඩකා ක්‍රීඩාංගණයේ දී කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු 730ට පසුව ය.   

කුසල් මෙන්ඩිස් නැවතත් ද්විත්ව ශතකය අහිමි කර ගනී

තීරණාත්මක කඩඉමකට පිවිසෙද්දී වඩාත් විශ්වාසයෙන් යුතුව පිත්ත හැසිරවිය යුතු වූවද එකී කඩඉම ම පීඩනයක් කර ගත් කුසල් මෙන්ඩිස් ඉතා අවාසනාවන්ත ලෙසින් දෙවැනි වරටත්…

දවසේ කැපී පෙණෙන පිතිකරු වූයේ 29 හැවිරිදි රොෂේන් සිල්වා ය. ඔහු අද තමන්ගේ මංගල ශතකය තමන් මුහුණ දුන් තෙවැනි ඉනිමේ දී වාර්තා කළේ 197 වැනි පන්දුවට මුහුණ දෙමිනි. මෙහෙදි හසන්ගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක ලිටන් ඩාස් වෙත උඩ පන්දුවක් දෙමින් දැවී යද්දී රොෂේන් සිල්වා රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 109කි. පන්දු 230ක් පුරා පිටියේ රැඳී සිටි රොෂේන් තම ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහරක් ඇතුළත් කළේය.

තම ආධුනික පිතිකරුවා එක් අන්තයක තබා ගනිමින් වෙනදාට වඩා ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කළ නායක දිනේෂ් චන්දිමාල් අද තමන්ගේ ටෙස්ට් තරග දිවියේ 16 වැනි අර්ධ ශතකය 121 වැනි පන්දුවේ දී වාර්තා කළේය. දිනයේ දැවී ගිය පළමු ක්‍රීඩකයා ලෙසින් රොෂේන්ගේ ඉනිම නිමා වෙද්දී චන්දිමාල් හා රොෂේන් අතර සිව්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 125කි.

දිනේෂ් චන්දිමාල් සහ නිරෝෂන් දික්වැල්ල සමඟින් පිටියේ 5 වැනි කඩුල්ලේ සබඳතාව ක්‍රියාත්මක වෙද්දී බංග්ලාදේශ නායකයා නැවත වරක් නව පන්දුව කෙරෙහි විශ්වාස තබමින් මුශ්ෆිකර් රහීම් වෙත තෙවැනි නව පන්දුව බාර දුන්නේය. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 4ක් දැවී ලකුණු 564ක්ව තිබුණි.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා තරගයේ සිව්වැනි දිවා විවේකයට නතර කරන විට ද තම කඩුලු ආරක්ෂා කර ගනිමින් ක්‍රීඩා කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දිවා විවේකය වෙද්දී ලකුණු පුවරුවට කඩුලු 4ක් දැවී ලකුණු 612ක් එක් කර තිබුණි. ඒ වෙද්දී දිනේෂ් චන්දිමාල් ලකුණු 87ක් ද, නිරෝෂණ දික්වැල්ල ලකුණු 29ක් ද ලබා ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටියහ. දිවා විවේකයෙන් පසුව යැවුණ පළමු පන්දු වාරයේ තෙවැනි පන්දුවේ දී දිනේෂ් චන්දිමාල්ගේ ඉනිම අවසන් කිරීමට ටයිජුල් ඉස්ලාම් සමත් විය. දිවා විවේකයෙන් පසුව කිසිදු ලකුණක් ලබා ගැනීමට අසමත් වූ චන්දිමාල් තම ඉනිම අවසන් කළේ තමන් මුහුණ දුන් 185 වැනි පන්දුවේ දී ය. ඔහුගේ ඉනිමට එක් වී තිබූ හතරේ පහර සංඛ්‍යාව 3කි.

ජයග්‍රහණය සාමකාමීව සමරන්න; මේ වසන්තය නොවේ

“ඔව්, ශීත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි”

චන්දිමාල්ගේ ඉනිම නිමාවත් සමඟ ක්‍රියාත්මක වූ නිරෝෂාන් දික්වැල්ල පන්දු 47ක දී තම 8 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 47ක් පමණක් වැය කරමිනි. ඒ වන විට ඔහු හතරේ පහර 8ක්ම තම ඉනිමට එක්කර තිබුණි. නැවත වරක් මෙහෙදි හසන් සහ ලිටන් ඩාස් එක් වෙමින් දික්වැල්ලගේ ඉනිම ද අවසන් කළහ. පන්දු 61කට මුහුණ දුන් දික්වැල්ල දැවී යන විට හතරේ පහර 9ක් සමඟින් ලකුණු 62ක් රැස් කරගෙන සිටියේය.

පන්දු යැවූ බංග්ලාදේශය වෙනුවෙන් ටයිජුල් ඉස්ලාම් ලකුණු 219කට කඩුලු 4ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී මෙහිදි හසන් ලකුණු 174කට කඩුලු 3ක් දවා ගත්තේය.

බංග්ලාදේශ දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලකුණු පුවරුවට ලකුණු 52ක් එක්ව තිබිය දී දවා ගැනීමට දිල්රුවන් පෙරේරා සමත් වූයේ නායක චන්දිමාල්ගේ ද උදව් ඇතිවය. දැවී ගිය පිතිකරු වූයේ ඉම්රුල් කයිස් ය. අනතුරුව පන්දු 62ක දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 41ක් ලබා සිටි අනෙක් ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවකට නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවෙන් ලබා දෙමින් ලකුණු පුවරුව 76 දී දැවී ගියේය.

රංගන හේරත් විසින් යැවුණ දිනයේ අවසන් පන්දු වාරයේ පස්වැනි පන්දුවේ දී මුශ්ෆිකර් රහීම්ගේ ඉනිම ද අවසන් වූයේ කුසල් මෙන්ඩිස්ගේ අගනා උඩ පන්දු රැකීමකිනි.  

බංග්ලාදේශය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 513 (129.5) තමිම් ඉක්බාල් 52, ඉම්රුල් කයිස් 40, මොමිනුල් හක් 176,  මුශ්ෆිකර් රහීම් 92, මහමදුල්ලා නොදැවී 83, මෙහෙදි හසන් 20, සුන්සාමුල් ඉස්ලාම් 24, සුරංග ලක්මාල් 3/68, රංගන හේරත් 3/150, ලක්ෂාන් සඳකැන් 2/92

ශ්‍රී ලංකාව; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 713 (199.3) කුසල් මෙන්ඩිස් 196, ධනංජය ද සිල්වා 173, රොෂේන් සිල්වා 109, දිනේෂ් චන්දිමාල් 87, නිරෝෂණ දික්වැල්ල 62, දිල්රුවන් පෙරේරා 32, මෙහෙදි හසන් 3/174,  ටයිජුල් ඉස්ලාම් 4/219

බංග්ලාදේශය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 81 (26.5) තමීම් ඉක්බාල් 41, ඉම්රුල් කයිස් 19, මොමිනුල් හක් නොදැවී 18

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<