යකා වැහුණු Gavaskar ඕස්ට්‍රේලියාවට තරගය පූජා කරන්න සැරසුණු හැටි

721

70 සහ 80 දශකයන්හී ඉන්දීය පිතිකරණ බලඇණියේ කොඳුනාරටිය බඳු වූ Sunil Gavaskarගේ විශිෂ්ට පිතිහරඹය අදටත් ඉන්දියානුවන් බොහෝ දෙනෙකු සිහිපත් කරනුයේ ඉතාමත් ගෞරවාදරයෙනි. 

ලොව බිහිසුණුම වේගපන්දු යවන්නන් හට පවා රිසි සේ පහර පිට පහර එල්ල කරමින් සිය ක්‍රීඩා කෞෂල්‍යයන් මැනවින් විදහා පෑ Gavaskar එකල සිටි පුවත් මැවූ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ ද ඉහළින්ම කියැවෙන නාමයක් බවට පත්වූයේ ක්‍රිකට් පිටියේ අමතක නොවන සිදුවීම් කිහිපයකටම කථානායකයා බවට පත්වෙමිනි.

1981 වර්ෂයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න් නුවර දී පැවති ටෙස්ට් තරගයක් අතරතුර දී සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් සම්බන්ධයෙන් සිය මතකයන් යලි ආවර්ජනය කළ Gavaskar එහි දී සඳහන් කර සිටියේ එම සිද්ධිය පිළිබඳ බොහෝ දෙනෙකුට තවමත් හරිහැටි අවබෝධයක් නොමැති නිසාවෙන් වැරදි වැටහීමක් සිත් තුල තිබිය හැකි බවයි.

එක් අන්තයක සිට තම කඩුල්ල ආරක්ෂා කරගනිමින් ඉතාමත් හොඳින් ප්‍රබල ඕස්ට්‍රේලියානු වේග පන්දු බලඇණිය පීඩනයට හසුකොට ගෙන සිට Gavaskar එක් අවස්ථාවක දී Dennis Lillee විසින් කඩුල්ල කෙළින් යැවූ වේගවත් පන්දුවක් හමුවේ තරමක් අසරණ වන අයුරු දැක ගත හැකි වූයේ නිසි වේලාවට පිත්ත ඉදිරියට රැගෙන ඒමට දැක්වූ ප්‍රමාද දෝෂය නිසාවෙනි.  

එම පන්දුව Gavaskarගේ පිත්ත පසු කරමින් කෙළින්ම ඔහුගේ පා ආවරණයේ ගැටෙනු දුටු ඕස්ට්‍රේලියානුවන් දෙවරක් නොසිතා ඔහුව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකොට ගැනීමට දැඩි ප්‍රයත්නයක් දැරුවේ එම තීරණය තරගය උඩුයටිකුරු කිරීමට තරම් අතිශය තීරණාත්මක සාධකයක් වන බව හොඳින්ම දැන සිටි නිසාවෙනි. ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ගේ ප්‍රබල ඉල්ලීම හමුවේ සිය හිස නැමූ විනිසුරුතුමන් එසැණින් Gavaskar දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කළේ උණුසුම් සිදුවීම් මාලාවක පළමු වෙඩිමුරය දියත් කරමිනි.

එම පන්දුව පා ආවරණයේ වැඳීමට පෙරාතුව තම පිත්තෙහි ගැටුණු බව දැන සිටි Gavaskar විනිසුරුතුමන් ලබා දුන් තීරණය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකොට සිටියේ ප්‍රතිවාදී පන්දු යවන්නන් සමඟම ද බහින් බස්වීමකට මුල පුරමිනි. කෙසේ නමුත් විනිසුරු තීරණය අභියෝගයට ලක් කිරීමට තරම් බලයක් එකල පිතිකරුවන් සතු නොවූ නිසාවෙන් නොදැවුණු ක්‍රීඩකයෙකු ලෙස පිටියේ තවදුරටත් රැඳී සිටීමට Gavaskar හට අවසර හිමි වූයේ නැත. 

තවත් ක්‍රිකට් පුවත්:

කෝපයට සහ කනස්සල්ලට පත්ව සිටි ඔහු වහාම අනෙක් අන්තයේ සිට තම සඟයා වූ Chethan Chauhan හට පවසා තිබුණේ තවදුරටත් මෙවැනි අසාධාරණ තීරණ හමුවේ ක්‍රීඩා කිරීම ඵලක් නොමැති බවත්, එම නිසාවෙන් ඔහුත් සමඟ යලි ක්‍රීඩාගාරය වෙත යාමට පැමිණෙන ලෙසත්ය. ඕස්ට්‍රේලියානු භූමිය තුල දී තම ප්‍රථම ටෙස්ට් තරග ජයග්‍රහණය වාර්තා කරමින් ඉතිහාසය අලුතින් ලිවීමට පෙරුම් පුරමින් සිටි ඉන්දීය කණ්ඩායම ඒ අනුව එම බලාපොරොත්තු අතහැර තරගය ඕස්ට්‍රේලියානුවන් හට පූජා කිරීමට සූදානම් වූයේ Gavaskarගේ මෙම වූ ක්ෂණික තීරණය ප්‍රතිඵලයක් වශයෙනි.

ඒ අනුව 7cricket නාලිකාව සමඟ පැවති සුහද පිළිසඳරක් අතරතුර දී මෙම සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කිරීමට කටයුතු කළ Gavaskar එහි දී පෙන්වා දී සිටියේ එම සිද්ධිය පිළිබඳ බොහෝ දෙනෙකු තවමත් වැරදි අර්ථකතනයන් ලබා දීමට උත්සාහ කරන බවයි.

“ඒ පන්දුව මගේ පිත්තේ ඇතුල් දාරයේ වැඳිලා තමයි පා ආවරණයේ වැඳුණේ. Forward short legගේ කෝණයෙන් ආයිත් පූනරූපයන් බලපු ඕනම කෙනෙක්ට ඒක පැහැදිලිව බලාගන්න පුළුවන්. Dennis Lillee මට කිව්වා පන්දුව පිත්තේ ගෑවෙන්න කිසිම අවස්ථාවක් තිබුණේ නැහැ කියලා. නමුත් මම ඔහුට  ඒ අවස්ථාවෙදි පැහැදිලිවම  කිව්වා පන්දුව මුලින්ම වැඳුණේ පිත්තේ කියලා. ප්‍රතිචාර එකක්වත් සුභදායී නොවුනු නිසා තමයි මම තීරණය කළේ Chethan එක්ක පිටියෙන් ඉවත් වෙන්න. ඒකට විනිසුරු තීරණයත් එක්කම බලපෑවේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ගේ හැසිරීම් රටාව.”

“ගොඩක් දෙනෙක් හිතන්නේ මම එදා එහෙම තීරණයක් ගන්න පෙලඹුණේ මගේ කඩුල්ල අහිමි වෙච්ච දුකට විනිසුරුගෙන් පලිගන්න කියලා. ඒක ඇත්තටම ලොකු දුර්මතයක්. මම ක්‍රීඩාගාරය දිහාවට යන්න මානසිකත්වය හදාගෙන හිටියේ නමුත් පස්සේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ මට කියපු සමහර දේවල් එක්ක මම තීරණය කළා Chethan එක්ක පිටියෙන් ඉවත් වෙලා අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න.”

“මගේ මනස ඔය තැනට එන්න ප්‍රධානම හේතුව වුනේ කලින් ඉනිමේ දී Alan Border පැහැදිලිවම තුන් පාරක් විතර දැවි ගිය ක්‍රීඩකයෙකු විදියට නම් කරන්න තිබුනත්, මොනයම් හේතුවක් උඩ හරි ඒ එක තීරණයක්වත් අපේ පැත්තට වැඩ කළේ නැහැ. ඔහු ශතකය වාර්තා කරගත්තට පස්සේ දැවී ගියේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැඳිලා.”

“ඊට පස්සේ වුනේ ප්‍රධාන විනිසුරුතුමා අනෙක් අන්තයේ හිටපු විනිසුරුතුමාගේ උපකාර පතන්න ගියා ඒ පන්දුව හරියටම කඩුල්ලේ වැඳුණ ද කියලා  සැකහැර දැනගන්න. ඔන්න ඔය වෙලාවෙදි තමයි Syed Kirmani මට කිව්වේ, ‘මේ පාරවත් Out එක දෙන්නේ නැත්තන් මම යනවා යන්න විවේකාගාරයට කියලා.’ මම වහාම ඔහු අමතලා කිව්වේ ‘එහෙම කරන්න අපිට අවස්ථාවක් නැහැ’ කියලා.

ඉතින් ඔය දෙබස් කිහිපයම පහුවදාත් මගේ ඔළුවේ සෑහෙන්න වැඩ කළා. ඒකත් හේතුවක් වෙන්න පුළුවන් මම ඒ වගේ දරුණු තීරණයකට එළඹෙන්න.”

කෙසේ හෝ එම අවස්ථාවේ දී Gavaskar හට සිය ආවේගයන් පාලනය කරගැනීමට පමණක් නොව Chethan හට පිටියෙහි රැඳෙමින් අනපේක්ෂිත තරග පරාජයෙන් ඉන්දීය කණ්ඩායම ගලවා ගැනීමට කණ්ඩායම් කළමනාකරු ලෙස සේවය කළ Wing Commander Shahid Durrani මහතා ලබා දුන් උපදෙස් බෙහෙවින් ඉවහල් වූ බව Gavaskar වැඩිදුරටත් සඳහන්කොට සිටියා. එදින Chethan Chauhan නැවත ක්‍රීඩාගාරය වෙත පිවිසියේ නම් තරගය අවසන් වීමට ප්‍රථමයෙන් ටෙස්ට් තරගයක පරාජය බාරගත් ලොව පළමු ටෙස්ට් කණ්ඩායම ලෙස ඉන්දියාව ඉතිහාසගත වීමට වැඩි ඉඩකඩක් පැවතිණි. 

Chethan හට පිටියෙන් ඉවතට ගමන් කරන ලෙස අණ කළ අවස්ථාවේ දී ඔහු දැක්වූ ප්‍රතිචාරය පිළිබඳව ද මෙහි දී Gavaskar මතක් කර සිටියා.

“ඔහු කෙළින්ම මගෙන් ඇහුවේ ‘ඇත්තටම නේද මේ කියන්නේ කියලා’. ඊට පස්සේ ඔහු මාත් එක්ක එළියට යන්න ටික දුරක් ඇවිදන් ආවා. ආයිත් හරියටම දැනගන්න ඕන නිසා ඔහු කලින් ප්‍රශ්නෙම ආයිත් මගෙන් ඇහුවා. ඉතින් මම උත්තර නොදීම ඉක්මනින් පිටියෙන් එළියට ආවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<