පාසල් බොක්සිං ක්‍රීඩකයන්ගේ සිහින තෝතැන්න “ස්ටබ්ස් පලිහ”

536

දිවයිනේ පාසල් මට්ටමෙන් පවත්වනු ලබන ප්‍රමුඛතම බොක්සිං තරගාවලිය වන ස්ටබ්ස් පලිහ බොක්සිං තරගාවලිය මෙම මස 29 වැනි දින කොළඹ MAS රාජකීය බොක්සිං අංගනයේ දී ආරම්භ වීමට නියමිතව ඇත.

ශ්‍රීමත් ආර්.ඊ.ස්ටබ්ස් මහතා @npgprints.com

ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමයේ (SLSBA) සාමාජිකත්වය දරන 80ක් පමණ වූ පාසල් සියල්ලකම බොක්සිං ක්‍රීඩකයින් තම ජයග්‍රහණය සඳහා එකිනෙකා සමඟ කරට කර සටන් වදින මෙම තරගාවලියේ ඉතිහාසය සියවසක් ඉක්මවයි.

යටත් විජිත සමයේ දිවයිනේ වාසය කළ බ්‍රිතාන්‍ය ජාතික තේ වැවිලි කරුවෙකු වූ එස්. සී. ට්‍රේල් මහතාගේ සංකල්පයකට අනූව එවකට බ්‍රිතාන්‍ය යටත් විජිත භාර ලේකම් ධූරය දැරූ ශ්‍රීමත් ආර්. එඩ්වර්ඩ් ස්ටබ්ස් මහතා විසින් මෙම තරගාවලිය ආරම්භ කරන ලද්දේ 1914 වසරේ දී ය. එතැන් සිට මේ දක්වා සියවසක අභිමානය සමඟ පැමිණි  ස්ටබ්ස් පුරාවත වසර 3ක දී හැර අනෙකුත් සෑම වසරකම පවත්වා ඇත. 1942, 1943 යන වසරවල දෙවන ලෝක යුධ සමය හේතුවෙන් හා 1988 වසරේ දිවයිනේ පැවති කැරලිකාරී තත්ත්වය හේතුකොට ගෙන එම වසරවල ස්ටබ්ස් තරගාවලිය නොපැවැත්විණි.

වර්ෂ 1914 දී කොළඹ රාජකීය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී ඇරඹි ප්‍රථම තරගාවලිය ජයගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් විය. 1915 වසරේ ද ජය තහවුරු කරගත් ත්‍රිත්වයන්ගෙන් ස්ටබ්ස් පලිහ උදුරා ගැනීමට සාන්ත තෝමසුවන් සමත් විය. ඒ 1916 වර්ෂයේ දී ය. තරගාවලිය ආරම්භ වූ මුල් කාලයේ දී ස්ටබ්ස් පලිහ මහනුවර ත්‍රිත්ව, ගල්කිස්ස සාන්ත තෝමස්, කොළඹ රාජකීය, මහනුවර සාන්ත අන්තෝනි, බම්බලපිටිය සාන්ත පීතර යන පාසල් අතර හුවමාරු වූ අතර පසුකාලීනව එයට දෙහිවල සාන්ත මේරි, මහනුවර සාන්ත සිල්වෙස්තර, මරදාන සහිරා, හොරණ විද්‍යාරතන, මහනුවර විද්‍යාර්ථ ආදී විද්‍යාල එක්විය.

පසුගිය වසරේ ශූරයින් වූ කොළඹ රාජකීය විද්‍යාලය

පසුගිය වසරේ පැවති තරගාවලිය ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වූයේ හොරණ විද්‍යාරතන විද්‍යාපීඨය අනුශූරයන් කරමිනි. මේ වන විට රාජකීයයන් විසින් ස්ටබ්ස් පලිහ 18 වතාවක් දිනාගෙන ඇති අතර එහි දී පිට පිට වසර 4 බැගින් අවස්ථා දෙකක දී දිනා ඇත. ඒ 1944 සිට 1947 දක්වා සහ 1984 සිට 1987 දක්වා යන වර්ෂවල දී ය. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය වර්ෂ 1991 සිට 1997 දක්වා පිට පිට වසර 7ක දී ශූරතාවය දිනාගෙන තම නාමයට අභිමානයක් එක්කර දීමට සමත් වී ඇත.

දක්ෂ පාසල් බොක්සිං ක්‍රීඩකයින් ජාතික මට්ටමට කැඳවාගෙන යනු ලබන “ස්ටබ්ස් පලිහ” බොක්සිං තරගාවලියේ උණුසුම් පුවත්, තරග විස්තර සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<