ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෙඩරෝග සහ ආබාධ භීතිකාව

‘Dharamsala’ සිට රෙක්ස් ක්ලෙමන්ටයින් වාර්තා කරයි.

594

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරය යටතේ නවදිල්ලි නුවර දී පැවති 3 වන හා අවසන් ටෙස්ට් තරගයේ දී ශතකයක් වාර්තා කර ගනිමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා හට දෙරට අතර ‘Dharamsala’ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු එක්දින තරගය අහිමි වන අතර තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් සහ පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර හට ඇතිවූ අඛණ්ඩව වමනය යෑමේ තත්වයක් නිසා ඔවුන් දෙදෙනා ද ඊයේ (09) පැවති පුහුණුවීම් කටයුතු සඳහා සහභාගී වී නොමැත.

“පසුගිය මාස 4 මට දැනුණේ හරියට අවුරුදු 2ක් වගේ” – අසේල ගුණරත්න

ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගය අතරතුර දී මහපටැඟිල්ලේ ආබාධයකට ලක්වීම නිසා ජාත්‍යන්තර…

දෙරට අතර පැවති අවසන් ටෙස්ට් තරගය ජය-පරාජයෙන් තොරව අවසන් කර ගැනීම සඳහා මඟපෑදූ ධනංජය ද සිල්වා එම තරගයේ දී සිය ‘Glute’ පේශියේ ස්නායුවේ ආබාධ තත්වයකට ලක්වූ අතර අනතුරුව ඔහු ඒ සඳහා ප්‍රතිකාර ගනු ලැබීය. කෙසේ නමුත් ඔහු පසුගිය සිකුරාදා ක්‍රීඩාංගණයට පැමිණියත් පුහුණුවීම් කටයුතු වල නිරත නොවූ අතර ඒ අනුව ඔහු තවදුරටත් අපහසුතාවයෙන් පසුවීම නිසා ඔහුව දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගයට ඇතුළත් කර නොමැත.

3 වන ටෙස්ට් තරගය අතරතුර අඛණ්ඩව වමනය තත්වයකින් පෙළුණු සුරංග ලක්මාල් සිකුරාදා පැවති පුහුණුවීම් කටයුතු සඳහා සහභාගී වුවත් එදින සවස් වරුවේ දී නැවතත් කිහිප වරක්ම ඔහු වමනය තත්වයෙන් පීඩා විඳීම නිසා ඔහු ඊයේ පැවති පුහුණුවීම් සඳහා සහභාගී වූයේ නැත. කෙසේ නමුත් ඔහු දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගයට ක්‍රීඩා කරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර ද සිකුරාදා සවස් වරුවේ කිහිප වරක්ම වමනය තත්වයකින් පීඩා විඳීම නිසා ඊයේ පැවති පුහුණුවීම් කටයුතු සඳහා සහභාගී නොවූ අතර කෙසේ නමුත් ඔහු මේ වනවිට ඒ සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇත.

නවදිල්ලි නුවර පැවති වායු දූෂණ තත්වය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම අසනීප තත්වයට පත්වූ අතර වේගපන්දු යවන ක්‍රීඩකයින් වන සුරංග ලක්මාල්, ලහිරු ගමගේ සහ මොහොමඩ් ශාමි හට ක්‍රීඩාංගණය තුළ දීම වමනය තත්වයක් ඇතිවිය. එමෙන්ම ක්‍රීඩකයින් කිහිප දෙනෙක් හුස්ම ගැනීමේ අපහසුතාවලින් ද පීඩා විඳි අතර ඔවුන්ව එම තත්වයෙන් මුදවා ගැනීම සඳහා ඔවුන්ට ඔක්සිජන් ලබා දීමට ද සිදු විය.

3 වන ටෙස්ට් තරගයේ දෙවන දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් ආරක්‍ෂිත ආවරණ පැළදූ අතර එදින ක්‍රීඩකයින් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ක්‍රීඩා පිටියෙන් ඉවත්ව යාමත් සමඟ මිනිත්තු 22ක කාලයක් සඳහා ක්‍රීඩා කිරීම ද නවතා තබන්නට සිදු විය.

ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලියට පෙර සූදානම

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග සංචාරයේ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන…

කෙසේ නමුත් පළමු එක්දින තරගයේ දී ඉතා හොඳින් ලකුණු අතර සිටින හිටපු නායක උපුල් තරංග සමඟින් ධනුෂ්ක ගුණතිලක ඉනිම ආරම්භ කිරීමට නියමිත අතර කණ්ඩායමේ අංක 3 ස්ථානය සඳහා සදීර සමරවික්‍රම හෝ උපුල් තරංගව ඇතුළත් කරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. හිටපු නායකයෙක් වන ඇන්ජෙලෝ මැතිව්ස් අංක 4 ස්ථානයේත්, කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අංක 5 ස්ථානයේත් ක්‍රීඩා කරනු ඇත.

මහපටැඟිල්ලේ ආබාධයක් නිසා මාස 4ක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටි අසේල ගුණරත්න ඉන් සුවය ලබාගැනීමත් සමඟ අංක නැවතත් කණ්ඩායමට පැමිණෙන අතර ඒ අනුව ඔහු අංක 6 ස්ථානයේ ක්‍රීඩා කරනු ඇත. සුරංග ලක්මාල් සමඟින්, ටෙස්ට් තරගාවලිය සඳහා විවේක ගන්වා සිටි නුවන් ප්‍රදීප් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කරනු ලබන අතර ‘Dharamsala’ තණතිල්ල වේගපන්දු යවන්නන් හට බෙහෙවින් හිතකර නිසා මෙහි දී නායක තිසර පෙරේරා සහ ඇන්ජෙලෝ මැතිව්ස් ද වේගපන්දු යවන්නන් වශයෙන් කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට අඛණ්ඩව එක්දින තරග 12ක් පරාජයට පත්වී ඇති අතර ඔවුන්ට මෙම වසර තුළ දී දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ පාකිස්තානය හමුවේ අවස්ථා 3ක දී තරග 5-0ක් වශයෙන් පූර්ණ තරගාවලි පරාජ වලට ද මුහුණ දීමට සිදු විය.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<