118 වැනි රුහුණු නිල් මහා සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ අවසානයක් දැක දැක තිබිය දී ජය පරාජයෙන් තොරව තරගය අවසන් වූයේ ජයග්‍රහණය දෙපිළේම ක්‍රීඩකයන් වෙත දෝලනය වෙමින් තිබිය දී ය.

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී අද (25) නිමාව දුටු මෙම තරගයේ දී අවසන් ඉනිම ක්‍රීඩා කළ සාන්ත සර්වේශස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 9ක අඩුවකින් ද, පන්දු යැවූ සාන්ත තෝමස් ක්‍රීඩකයෝ  ජයග්‍රහණය වෙනුවෙන් කඩුල්ලක අඩුවකින් ළතැවෙද්දී ද තරගය නතර කෙරුණි.

රුහුණු නිල් මහා සටන කරට කර තරගයක් බවට පත්වේ

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත සර්වේශස් විද්‍යාලය අතර 118 වැනි වරටත්…

කුමන මොහොතක කුමන විසඳුමක් ලැබේ දැයි දෙපිළම විපිළිසර වෙද්දී තරගයේ විසඳුම කාලය විසින් විසඳා දැමුවේ තරගය නැරඹීමට පැමිණි දේපිලේම ප්‍රේක්ෂයකයන්ගේ හදවත් හී “ලප් ඩප් ගැස්ම” තව තවත් තීව්‍ර කරමිනි. තියුණු විසඳුමක් බලාපොරොත්තු වූ මෙම තරගයේ ලකුණු සාරාංශය කියැවුණේ සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 158ක් ලෙසින් සහ දෙවැනි ඉනිමට ලකුණු 150ක් ලෙසිනි. සාන්ත සර්වේශස් විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 164ක් ලෙසින් නිමා වූ අතර දෙවැනි ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 136ක් ලබා සිටියේ ය.

තරගයේ තෙවැනි දිනය ක්‍රියාත්මක වූයේ සාන්ත තෝමස් විද්‍යාලයීය දෙවැනි ඉනිමේ කඩුල්ලක් දැවී තිබිය දී ය. එම ඉනිමේ දී ආරම්භක පිතිකරු හරීන් ජයසේකර ලකුණු 19ක් ලබා ගත් අතර ඔහු සහ ලහිරු ඩිල්ශාන් අතර දෙවැනි කඩුල්ලට තෙවැනි දිනයේ උදෑසන වෙද්දී ලකුණු 50ක සබඳතාවක් එක්වූහ. එහි දී ලහිරු ඩිල්ශාන් පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තේ ය.

ඊට අමතරව ගිශාන්තික ජයසේකර පන්දු 72ක දී ලකුණු 31ක් වාර්තා කළේය.

කඩුලු ලබා ගැනීමේ දී ශෂික දුල්ශාන් සහ තිලාන් ප්‍රශාන් කඩුලු 4 බැගින් දවා ගත් අතර ගිශාන්ත ජයවීර කඩුලු 2ක් දවා ගත්තේය.

තරගය සැබෑ ලෙසින්ම ආරම්භ වූයේ එම ඉනිම නිමාවත් සමඟිනි. ඒ අනුව  සාන්ත තෝමස් ක්‍රීඩකයෝ සාන්ත සර්වේශස් ක්‍රීඩකයන්ට වඩා ඉදිරියෙන් සිටියේ ලකුණු 144කි. ජයග්‍රහණය වෙනුවෙන් සාන්ත සර්වේශස් ඉනිමේ ඉලක්කය ලකුණු 145කි.

මියෙම්වා රැකෙම්වා තරගය ආරම්භ කරමින් සාන්ත තෝමස් ක්‍රීඩකයෝ තරගයට අවතීර්ණ වෙන්නේ සාන්ත සර්වේශියානුවන් මුහුණ දුන් පළමු පන්දු වාරයේ සිට ය. ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 5 දී දවා ගැනීමට සාන්ත තෝමසුවෝ සමත් වූහ. ඒ ආරම්භක පිතිකරු පුෂ්පිත ඩිල්ශාන් දුවද්දී දැවී යෑමට හසුකර ගනිමිනි.

ශෂික දුල්ශාන් සාන්ත තෝමස් ඉනිම වනසා දමයි

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී අද (23) ආරම්භ වූ සාන්ත තෝමස් සහ සාන්ත සර්වේශස්…

එතැන් සිට සාන්ත සර්වේශියානු ඉනිම ඉතාම දුක්බර විය. ඔවුන්ගේ පළමු කඩුලු ත්‍රිත්වයම දුවද්දී දවා ගැනීමට සාන්ත තෝමසුවෝ සමත් වූහ. ඒ ලකුණු පුවරුව 19 සහ 29 තිබිය දී පිළිවෙළින් චින්තක දෙනුවන් සහ සිසිර ලක්වින් දුවද්දී යෑමට කළ උත්සාහයන් නිෂ්ඵල කරමිනි.

අනතුරුව සිව්වැනි කඩුල්ලේ දී ලකුණු 52ක් එක් කරමින් යම්තම් හිස එසවීමට සාන්ත සර්වේශියානුවන් සමත් වූයේ සුපුන් කාවිංග සහ කේශර නුවන්ත දක්ෂ පිතිහරඹය හේතුවෙනි. ලකුණෙන් ලකුණ තම ඉනිම ගොඩ නැගූ ඔවුන් දෙදෙනා කණ්ඩායමේ ඉෂ්ට දේවතාවෝ වූව ද ලකුණු පුවරුව 81ක්ව තිබිය දී සුපුන් කාවිංග දැවී යෑමෙන් එකී බලාපොරොත්තුව ද කඩා වැටුණි. සුපුන් කාවිංග ලකුණු 35ක් ලබා ගත්තේ ය.

ඉනිමේ 5 වැනි කඩුල්ල ද ලකුණු 81 දී ම දවා ගැනීමට සාන්ත තෝමසුවෝ සමත් වූහ.

එතැන් සිට පළමු ඉනිමේ අර්ධ ශතකයක් වාර්තා කළ කේශර නුවන්ත විහින් කඩා වැටෙන දෙවැනි ඉනිමේ දී අර්ධ ශතයක් වාර්තා කරමින් නැවත තම විද්‍යාලයීය ඉනිම ගොඩ නැගීමට උත්සාහ කළේය. නමුත් ඔහුට ද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට සාන්ත තෝමසුවෝ ඉඩ දුන්නේ නැත. ඔහු තම ඉනිමට එක්කළ ලකුණු ප්‍රමාණය පන්දු 72ක දී 62කි.

හය වැනි කඩුල්ල ලකුණු 99 දී දවා ගැනීමට  සාන්ත තෝමසුවන් සමත් වූහ. අනතුරුව නැවත 7 වැනි කඩුල්ලට ලකුණු 27ක සබඳතාවක් එක් වූවද, එම කඩුල්ලේ සබඳතාව ලකුණු  සඳරු නෙත්මිණගේ දුවද්දී දැවී යෑමත් සමඟින් නිමා විය. ඒ හා සමඟ 8 වැනි කඩුල්ල ද දැවී ගිය අතර 9 වැනි කඩුල්ල ලකුණු 134 දී දැවී ගියේය.

රුහුණ නීල වර්ණයෙන් බැබළෙන 118 වැනි නිල් සටන

මෙරට වාර්ෂිකව පැවැත්වෙන මහා ක්‍රිකට් තරග අතර පැරණිතම තරග අතුරින් දෙවැනි තැන හිමි…

දුවද්දී දැවී යැම් හතරක් වාර්තා වූ මෙම ඉනිමේ දී පන්දු යවමින් කඩුලු ලබා ගැනීමේ දී ලහිරු ඩිල්ශාන් ලකුණු 29කට කඩුලු 4ක් දවා ගත්තේය.

අවසන් පන්දුව දක්වාම මියෙම්වා රැකෙම්වා තරගයක නිරත වූ දෙවිදුහල් රුහුණු නිල් ක්‍රීඩකයෝ විසඳුමකට නිමේෂයක පමාවකින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගත්හ. ඒ රුහුණු නිල් මහා සටන් ඉතිහාසයේ ජය පරාජයෙන් තොරව නිමා වූ 59 වැනි තරගය ලෙසිනි.

සාන්ත තෝමස් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී  158 (68.5) ලහිරු ඩිල්ශාන් 60, මිහිසල් අමෝද් 22, තරූෂ කාවින්ද්‍ය 22, ශෂික දුල්ශාන් 7/56, සුපුන් කාවින්ද 2/26

සාන්ත සර්වේශස් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 164 ( 77.1) සුපුන් කාවින්ද 22, පුෂ්පිත ඩිල්ශාන් 35, කේශර නුවන්ත 52,  ලහිරු ඩිල්ශාන් 2/13, සචිර රශ්මික 5/48, ගිශාන්ත ජයවීර 2/15

සාන්ත තෝමස් විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා  දැවී 150 (90.4) හරීන් ජයසේකර 19, ලහිරු ඩිල්ශාන් 50, ගිශාන්තික ජයවීර 31, ශෂික දුල්ශාන් 4/38, තිලාන් ප්‍රශාන් 4/35, කේශක නුවන්ත 2/43

සාන්ත සර්වේශස් විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 136 (34.0) සුපුන් කාවින්ද 35, කේශර නුවන්ත 62, ලහිරු ඩිල්ශාන් 4/29

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<