DFCC - St Joseph's v St. Peter's big match day 1 report

එදා මෙදාතුර ලක් මාතාව ජයග්‍රහණයෙන් සරසන්නට මූලිකත්වය ගත් විශිෂ්ට ක්‍රීඩකයින් රැසකගේ තිඹිරිගෙය බවට පත්වූ පාසල් දෙකක් අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (03) කොළඹ පී. සරා ඕවල් පිටියේදී ආරම්භ විය. ඒ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවැත්වෙන 83 වැනි ‘සාන්තුවරුන්ගේ ක්‍රිකට් සටන’යි.

නවක ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට බංග්ලාදේශයෙන් ප්‍රහාරයක්

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමගින් එළැඹෙන මාර්තු 7 වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පූර්ව සූදානමක් වශයෙන් පැවැත්වෙන දෙදින…

මීට පෙර පැවති අවස්ථා 82න් සාන්ත පීතර විද්‍යාලය දස වතාවක් ශූරතා කුසලානය දිනාගෙන ඇති අතර සාන්ත ජෝසප් විද්‍යාලය වාර 13කදී ජයග්‍රහණය ලබා ගනිමින් ඉතිහාසයේ වැඩි ගෞරව හිමි කරගෙන සිටියි. නමුත් අවසන් වරට 2016 වර්ෂයේදී පැවති මහා ක්‍රිකට් ගැටුම ජයග්‍රහණය කරමින් ‘ගරු මොරිස් ලේගොක් පිය කුසලානයේ’ වර්තමාන හිමිකරුවන් බවට පත්ව සිටින්නේ සාන්ත පීතර විද්‍යාලයයි.

[rev_slider dfcc728]

මෑත අතීතයේදී සාන්ත ජෝසප් විද්‍යාලය ජයග්‍රහණයන් රැසක් කරා කැටුව ගිය නායක හරීන් කුරේ අද කාසියේ වාසිය හිමිකර ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. නමුත් ඔහුගේ තීරණය දැඩි ලෙස අභියෝගයට ලක් කරමින් ජෝසප් වරුන්ගේ මුල්පෙළ කඩුලු 5ක්ම ලකුණු 10ක් තුලදී බිඳ වැටුනේ සාන්ත පීතර කඳවුරේ ජයඝෝෂා හඬින් සරවනමුත්තු පිටිය ගිගුම් දෙද්දීය. ජෝසප් විද්‍යාලය මහත් බලාපොරොත්තු තබා තිබූ මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ ලකුණු 1000 සීමාවද පසුකල නිපුන් සුමනසිංහගේ කඩුල්ල ද ඒ අතරට ඇතුළත් විය. මීට අමතරව තර්ස්ටන් විදුහලට එරෙහිව විශිෂ්ට ලකුණු 144ක් වාර්තා කර ගනිමින් යොවුන් වියේදීම ක්‍රීඩාවේ නමක් දිනා ගැනීමට සමත් වුනු දිනෙත් මදුරාවල ද අද එක් ලකුණකට සීමා විය.

වසරකට පමණ පසු නැවතත් ක්‍රීඩාව හා එක්වී සිටින සන්තුෂ් ගුණතිලක සහ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කර අත්දැකීම් ඇති මනෙල්කාර් ද සිල්වා අද තම වේග පන්දුවේ ජවය විදහා දක්වමින් ප්‍රදර්ශනය කළ මෙම සුපිරි දස්කම් හේතුවෙන් ඒ වනවිටත් සාන්ත ජෝසප් දිරිගන්වන්නන් මීයට පිම්බාක් සේ නිහඬ වී තිබුණි. නමුත් සාන්ත ජෝසප් විද්‍යාලයේ ගෞරවය අභියෝගයට ලක්වී තිබූ එම මොහොතේ උපේක්ෂාවේ දෑස් දල්වාගෙන දකුණත් පිතිකරු ජෙහාන් ඩැනියෙල් පිටියේ එක් අන්තයක් ආරක්ෂා කරගෙන සිටියේය. ඒ බිඳ වැටුනු ජෝසප් ඉනිම නැවත පිළිසකර කිරීමට අනෙක් අන්තයේ පිතිකරුවාගේ සහයද අවශ්‍ය වූ බැවිනි.

කෙසේ හෝ අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි උප නායක ශෙවෝන් ෆොන්සේකා සමග එක්වී සයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56ක සබඳතාවයක් පැවැත්වීමට ජෙහාන් සමත් විය. නමුත් ශෙවෝන්ගේ කඩුල්ලද ඇතුළුව ජෝසප් ඉනිමේ පිතිකරුවන් සිව් දෙනෙකුම දුවද්දී දැවී යාම් වලට හසුවී තම කඩුල්ල නිකරුනේ පූජා කිරීම ජෝසප් විද්‍යාලයට අමතර හිසරදයක් බවට පත්විය. කෙසේ හෝ අනෙක් අන්තයේ පිතිකරුවන්ගෙන් ලැබෙන සුළු සහයත් මනා ලෙස ප්‍රයෝජනයට ගනිමින් තම ඉනිම ගොඩ නැගූ ජෙහාන් ඩැනියෙල් නොදැවී ලකුණු 124ක් රැස් කිරීමට සමත් විය. යොවුන් ජාත්‍යන්තර තරග වලදී තමා ලද අත්දැකීම් ද උපයෝගී කර ගනිමින් දැකුම්කළු හතරේ පහර 12ක් සහ දැවැන්ත හයේ පහර 5ක් සමගින් ඔහු ක්‍රීඩා කළ ඉනිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු තුලින් කලාතුරකින් දැකිය හැකි ආකාරයේ විශිෂ්ටත්වයක් ඉසිලීය.

ඔහුට යම් පමණකින් හෝ සහයක් දැක්වීමට සමත් වුනු ශෙවෝන් ෆොන්සේකා සහ පහන් පෙරේරා පිළිවෙලින් ලකුණු 26 සහ 25 බැගින් රැස් කළහ. කෙසේ වෙතත් ආරම්භයේදීම බිඳ වැටී තිබූ ජෝසප් බලාපොරොත්තු වලට නැවතත් පණ පෙවූ ජෙහාන් ඩැනියෙල්ගේ ශතකය වාර්තා වීමත් සමගින් සාන්ත ජෝසප් ධජ නැවතත් ගුවනේ ළෙලදෙන්නට විය. ඒ අනුව සාන්ත ජෝසප් විද්‍යාලය තම ප්‍රථම ඉනිම නිමා කළේ සියල්ලන්ම දැවී ලකුණු 205ක් රැස්කර ගනිමිනි. පන්දුවෙන් වැඩි දස්කම් දැක්වූ සාන්ත පීතර විද්‍යාලයේ ආරම්භක වේග පන්දු යවන්නන් දෙදෙනා වන මනෙල්කාර් ද සිල්වා සහ සන්තුෂ් ගුණතිලක අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය. කෙසේවෙතත් මෙවර තරග වාරය තුල හොඳින් දක්ෂතා ප්‍රකට කල අමීන් මිෆ්ලාල්ට සහ චතුර ඔබේසේකරට ප්‍රථම ඉනිමේ කඩුලු දඩයම් කිරීමට හැකි වූයේ නැත.

අද සන්ධ්‍යා කාලයේදී සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කිරීම සඳහා වරම් දිනාගත් සාන්ත පීතර විද්‍යාලය පළමු දිනය නිමාවන විට කඩුලු 5ක් දැවී ලකුණු 138ක් රැස් කරගෙන සිටින්නේ විද්‍යාලය දෙකම කරට කර ගැටෙන ක්‍රිකට් සටනක් හෙට දිනයේදීත් ක්‍රියාත්මක වන බවට ඉඟි පළ කරමිනි. මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ ලකුණු 500 සීමාව පසුකල අනිෂ්ක පෙරේරා අද ලකුණු ලබා ගැනීම ඇරඹීමටත් පෙර දැවී යාම පීතරයින්ට ප්‍රබල අවාසියක් බවට පත්විය.

ඔවුන්ගේ ඉනිමේදී ද එක් අවස්ථාවකදී ලකුණු 53කට කඩුලු 4ක් බිඳ වැටී අසීරු තත්වයකට පත්වූ අතර තම විද්‍යාලය ඉන් ගොඩ ගැනීමට ශලිත් ප්‍රනාන්දු සහ මනෙල්කාර් ද සිල්වා සමත් විය. ශලිත් අද හතරේ පහර 4ක් සමගින් ලකුණු 47ක් රැස් කරගත් අතර මනෙල්කාර් ද සිල්වා දිනය නිමා කළේ නොදැවී ලකුණු 40ක් ලබා ගනිමිනි. ඔවුන් දෙදෙනා පස්වැනි කඩුල්ල වෙනුවෙන් එක්කල ලකුණු 83ක සබඳතාවය පීතර විද්‍යාලයේ ප්‍රථම ඉනිම සුරක්ෂිත කිරීමට දැඩි ලෙස හේතුවිය. පන්දු යැවීමේදී සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් පන්දුව අතට ගත් ක්‍රීඩකයින් පස් දෙනා අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

මේ වන විට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සාන්ත ජෝසප් ප්‍රථම ඉනිමට වඩා ලකුණු 67ක් පිටුපසින් පසුවන්නේ කඩුලු 5ක් අතැතිවයි. එබැවින් මෙම මහා ක්‍රිකට් ගැටුමේ ප්‍රථම ඉනිමේ වැඩි ලකුණු ගණන වෙනුවෙන් වුවද හෙට දිනයේ දැඩි උණුසුමක් ඇති වීමට ඉඩ ඇත. එම උණුසුම ඒ අයුරින්ම ඔබේ දෙනෙත් අද්දරට සජීවීව ගෙන ඒමට ThePapare.com සියලු කටයුතු සූදානම් කර ඇත.

සාන්ත ජෝසප් විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 205 (පන්දුවාර 57.2): ජෙහාන් ඩැනියෙල් 124*, ශෙවෝන් ෆොන්සේකා 26, පහන් පෙරේරා 25, ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ 14, සන්තුෂ් ගුණතිලක 3/34, මනෙල්කාර් ද සිල්වා 3/35.

සාන්ත පීතර විද්‍යාලය (ප්‍රථම ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 138 (පන්දුවාර 47): ශලිත් ප්‍රනාන්දු 47, මනෙල්කාර් ද සිල්වා 40*, ජෙහාන් ඩැනියෙල් 1/17, හවීන් පෙරේරා 1/24.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට