දකුණුලක සිසාරා හමන රිච්මන්ඩ් ඇලෝසියස් රග්බි උණුසුම

843
  • රිච්මන්ඩ් විද්‍යාලයීය රග්බි රග්බි කණ්ඩායම ©ThePapare.com

දකුණුලක අග නගරයේ විරාජමානව පිහිටි කඳු දෙකකි. ඉන් එකක නම් ලැබ ඇත්තේ කල්වාරි කන්ද නමිනි. අනෙක රිච්මන්ඩ් කන්ද නම් වන්නේ ය. මේ කඳු දෙකේ පිහිටි පාසල් ද්විත්වය සාන්ත ඇලෝසියස් සහ රිච්මන්ඩ් නම් වන්නේ ය. පාසල් ද්විත්වයම සියවසකට වඩා වැඩි අතීතයකට උරුමකම් කියති.

ගාල්ල පුරවරයේ අංක එකේ පාසල් දෙකක් සේ ස්ථාපිත මේ පාසල් ද්විත්වය එක් කුසලානයක් වෙනුවෙන් තරග වදින සුවිශේෂී තරගයක්, මේ සති අන්තයේ පැවැත්වෙන්නේ ය. ඒ ටී. වී. සුමනසේකර කුසලානය වෙනුවෙන් 26 වැනි වරටත් පැවැත්වෙන වාර්ෂික මහා රග්බි තරගයයි.

ඇලෝසියස් – රිච්මන්ඩ් රග්බි සටන සැප්තැම්බරයේ

පාසල් රග්බි තරග කාලසටහන මේ සැප්තැම්බර් මාසයටත් කාර්යය බහුල කරමින්, දකුණු පළාතේ ප්‍රසිද්ධ..

මෙතෙක් පැවති තරග 25 අතුරින් දෙපිළම තරග 10 බැගින් ජයග්‍රහණය කරමින් මෙවර තරගයට පිවිසෙති. තරගමාලාවේ තරග 3ක් විසඳුමකින් තොරව නිමා වී ඇති අතර වසර දෙකක දී තරග පවත්වා නැත.

පාසල් දෙකේ රග්බි ඉතිහාසය සියවසක් ඈතට ඇදී ගිය ද, මෙම වාර්ෂික මහා තරග ඉතිහාසය ඉතා කෙටි වන්නේ විද්‍යාලය දෙකම රග්බි ක්‍රීඩාව අඛණ්ඩව පවත්වා ගෙන යෑමට අපොහොසත් වීම හේතුවෙනි. කෙසේ වෙතත් දකුණු ලකට රගර් ක්‍රීඩාව හඳුන්වා දුන් පොලිස් රග්බි ක්‍රීඩකයන් හේතුවෙන් මෙම තරගය ආරම්භයේ දී “ගාලු පොලිස් කුසලානය” ලෙසින් හැඳින්වූ බැව් ද පැවසේ.

සාන්ත ඇලෝසියස් – රිච්මන්ඩ් මහා රග්බි තරග ඉතිහාසයේ පළමු තරගය ආරම්භ වන්නේ 1992 වසරේ දී ය. එවර සාන්ත ඇලෝසියස් කණ්ඩායම මනෝරා ජයවර්ධනගේ නායකත්වයෙන් පිටියට පිවිසි අතර රිච්මන්ඩ් විද්‍යාලය නිශාන්ත පෙරේරාගේ නායකත්වයෙන් පිටියට පිවිසුණි. තරගයේ ජයග්‍රාහකයන් වන්නේ රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායමයි. තරග ඉතිහාසයේ සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය කණ්ඩායමක් පළමු වරට ජය ලබන්නේ 1994 වසරේ දී ය. ඒ රුෂාන් විමලසේනගේ නායකත්වයෙනි. පරාජිත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී තිබුණේ රෝනක වීරරත්න වෙත ය.Rich Coach

තරගමාලාවේ අවසන් වතාවට ජයග්‍රහණ හිමි කර ගෙන ටී. වී. සුමනසේකර කුසලානය මේ වන විට රඳවා ගෙන සිටින්නේ, පසුගිය වසරේ දී ජයග්‍රහණය කළ රිච්මන්ඩ් විද්‍යාලයයි. ඒ කළණ සමරනායකගේ නායකත්වය යටතේ ය. එම තරගයේ පරාජිත නායකත්වය ඩබ්ලිව්. ටී. කාශ්‍යප දැරුවේ ය.

කණ්ඩායමක් පිට පිට වැඩිම තරග ප්‍රමාණයක් ජයග්‍රහණය කරමින් සුවිශේෂී දක්ෂතා දැක්වීමට දෙවිදුහල්ම සමත් ව සිටිය ද, එම දක්ෂතාව පළමු වරට සිදු කරනුයේ  රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රීඩකයෝ ය. ඔවුන් 2001, 2002 සහ 2003 වසර ත්‍රිත්වයේ ශූරයන් වූහ. පිට පිට තෙවතාවක් ලත් පරාජයෙන් අනතුරුව ආරම්භ වන වසරේ සිට තරග බිම තමන් වෙත නතුකර ගැනීමට සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වන්නේ, එකට එක කිරීමක් ලෙස ය. ඒ අනුව ඔවුන් 2004, 2005 සහ 2006 වසර ත්‍රිත්වයේ ශූරතාව තමන් සන්තක කර ගන්නේ ය.

අනතුරුව පැවති 2007 සහ 2008 වසර ද්විත්වය මෙම තරගය පැවැත්වෙන්නේ නැත. එමෙන්ම දෙපිළේම තරග දක්ෂතා සම වෙමින් විසඳුමකින් තොරව තරග නිමා කිරීමට 1995, 2011 සහ 2014 වසරවල ක්‍රීඩකයෝ සමත් වෙති.

st a coachමෙකී දක්ෂතා සමඟින් මෙවර පාසල් රග්බි තරග මාලාවන් හි දී දෙපිලේම ක්‍රීඩකයෝ දක්වනු ලැබූ දක්ෂතා ද මෙවර තරගයට සුවිශේෂී බවක් එක් කරනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කරති. පළමු පෙළ තරගාවලිය නියෝජනය කළ රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රීඩකයෝ එම තරගාවලියේ පළමු වටයේ අපරාජිත කණ්ඩායම සේ කාණ්ඩ උසස් වීමක් ලබමින් මෙවර මහා තරගයට පිවිසෙනු ඇත.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පාසල් තරගාවලිය නියෝජනය කරනු ලැබුවේ දෙවැනි පෙළ තරගාවලියයි. එම තරගාවලියේ දී ඔවුන් එම කොටසේ ශූරයන් වෙමින් පළමු පෙළ තරගාවලියට සී කොටසින් තරග වැදීමට සුදුසුකම් ලබා ජයග්‍රහණයෙන් වඩාත් සවිමත්ව මෙම තරගයට එක් වෙති.  st a captan

සත්කාරක සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය කණ්ඩායම මෙවර තරගයට පිවිසෙන්නේ ෆිරාස් ෆයිරූස්ගේ නායකත්වයෙනි. ඔහුගේ සහායකයා වන්නේ ප්‍රවීන් රන්සික ය. විද්‍යාලයීය විදුහල්පති රංජිත් තිලකරත්න, නියෝජ්‍ය විදුහල්පති (ක්‍රීඩා) ප්‍රසන්න වීරමන් සහ රග්බි භාර ආචාර්ය කපිල මාතරගේ යන මහත්වරුන්ගේ උපදේශකත්වයෙන් පුහුණුකරු රංජිත් තිලකරත්න මහතාගේ කැපවීමෙන් සහ අධීක්ෂකත්වයෙන් සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තමන්ගේ උණුසුමෙන් වසර දෙකක් පුරා ඈත්ව ඇති ටී. වී. සුමනසේකර කුසලානය තමන් වෙත නතුකර ගැනීමට මෙවර උත්සාහ කරනු ඇත.

Rich captanසංචාරක රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය දමිඳු එරංග වෙත පැවරී ඇති අතර ඔහුගේ සහායකයා වන්නේ හේෂාන් කවීන්ද්‍ර ය. විද්‍යාලයීය විදුහල්පති සම්පත් වේරගොඩ, රග්බි භාර ආචාර්ය උදාර ආදිහෙට්ටි යන මහත්වරුන්ගේ උපදේශකත්වයෙන් පුහුණුකරු පාලිත අබේසිරිවර්ධන සහ සහාය පුහුණුකරු සුදත් පතිරණ යන මහත්වරුන් මෙවර කණ්ඩායම සන්නද්ධ කර ඇත්තේ පසුගිය වසර ද්විත්වයේ ලැබූ ජයග්‍රහණය මෙවර ද ලබා ගනිමින් නැවත පිට පිට තරග ත්‍රිත්වයක ජයග්‍රහණයේ උණුසුම තමන් සන්තක කර ගැනීමට ය.  

එක් පසෙකින් මරිය මව්තුමියගේ දෙව්මැදුරටත්, අනෙක් පසින් ශ්‍රී හෘදය කන්‍යාරාමයටත් මැදිව පිහිටි කල්වාරි කන්දේ, සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ “නිර්භීතව සටන් කරන්න” යන තම තේමා පාඨය පෙරදැරිව මෙම තරගයට පිවිසෙද්දී, රිච්මන්ඩ් කන්ද නිසාම රිච්මන්ඩ් විද්‍යාලය ලෙසින් නම් ලද රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම “දෙවියන් වහන්සේ නොමැති සියල්ල නිෂ්ඵල වේ” යන තේමා පාඨය පෙරදැරිව මෙම තරගයට පිවිසෙනු ඇත.

මේ සියල්ල සමගින් කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන්ගේ ජවය, සැලසුම් සහගත උපක්‍රමයන් සහ තරග රටාවන් ද තරගයේ ජයග්‍රහණයට හේතු වනු නිසැක බැව් අපගේ විශ්වාසයයි. එමෙන්ම මෙතෙක් පැවති තරග අතුරින් දෙපිළම තරග 10ක් බැගින් ජයග්‍රහණය කර සම ජයග්‍රාහී මානසිකත්වයේ සිටිමින් තරගයට පිවිසීම ද තරගයේ දැඩි තරගකාරීත්වයක් සේ ම උණුසුමක් ද බලාපොරොත්තු විය හැකි ය. ඒ අනුව 26 වැනි ටී. වී. සුමනසේකර රග්බි කුසලානය හිමිවන්නේ කල්වාරි කන්දේ සාන්ත ඇලෝසියානුවන්ට ද, රිච්මන්ඩ් කන්දේ රිච්මන්ඩ්ලාට ද යන්න මේ මස 23 වැනිදා සවස තීරණය වෙනු ඇත.

මෙම වාර්ෂික මහා රග්බි තරගයට සමගාමීව විද්‍යාල දෙකේ ඇකඩමි ක්‍රීඩකයන් සහභාගී වන තරගයක් ද සහ ආදි රග්බි ක්‍රීඩකයන් සහභාගී වන තරගයක් ද පැවැත්වීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති. තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගාල්ල DIG චන්දන අලහකෝන් මහතා සහභාගී වන අතර විශේෂ අමුත්තා ලෙස සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය ආදි රගර් ක්‍රීඩක වෛද්‍ය කේසර දුලන්ත කුමාර මහතා සහභාගී වීමට නියමිත ය.

මෙතෙක් පැවති තරග තොරතුරු

වර්ෂය සා. ඇලෝසියස්  නායක රිච්මන්ඩ් නායක තරගයේ විසඳුම
1992 මනෝරා ජයවර්ධන නිශාන්ත පෙරේරා රිච්මන්ඩ්
1993 ජෙරොම් බීබී රෙෂාන් මලවැන්න රිච්මන්ඩ්
1994 රුෂාන් විමලසේන රෝනක වීරරත්න ඇලෝසියස්
1995 රනිල් ප්‍රසංක යොහාන් හේවාවසම් විසඳුමකින් තොරයි
1996 ජෙරාඩ් විමලසේන සුරංග සෙනෙවිරත්න රිච්මන්ඩ්
1997 නිහාඩ් තාහීර් එම්.කේ. රවී ඇලෝසියස්
1998 දුෂ්මන්ත චන්ද්‍රකුමාර් ලසන්ත ගමගේ ඇලෝසියස්
1999 අමේන්ද්‍ර කුමාර ඉන්දික ජීවප්‍රිය රිච්මන්ඩ
2000 යොහාන් ධර්මතිලක එම්.ඒ.ජී. බණ්ඩාරනායක ඇලෝසියස්
2001 ලක්මාල් ජයවර්ධන එස්.එම්. ඒකනායක රිච්මන්ඩ්
2002 ඩී.එස්.කේ. බෝපගේ කේ.ඩී.එන්. රංග පෙරේරා රිච්මන්ඩ්
2003 ජීවන් වික්‍රමනායක හිරාන් කේසර ද සිල්වා රිච්මන්ඩ්
2004 මධූ මිහිරාජ් වජිර ලියනගේ ඇලෝසියස්
2005 සුභාෂ් එරංග නිලංක තිලකරත්න ඇලෝසියස්
2006 ඒ.එච්. ද සොයිසා සමීර පී. ගමගේ ඇලෝසියස්
2007 ඩබ්ලිව්.එම්. දිනේෂ් මාධව තිලාන් තරග කළේ නැත
2008 ලහිරු ජයසේන අකලංක ද සිල්වා තරග කළේ නැත
2009 ගීමාල් කාංචන තරිඳු දක්ෂින රිච්මන්ඩ්
2010 තරිඳු නදීශාන් සකිල විලෝචන ඇලෝසියස්
2011 එම්.එස්.සී. වීරක්කොඩි සම්මාන මෙන්ඩිස් විසඳුමකින් තොරයි
2012 කවිඳු ගිශාන් ෂෙහාන් සමීර ඇලෝසියස්
2013 එම්.ඩී.එච්.ඩී. ආනන්ද නිශාද් මධුශංක ඇලෝසියස්
2014 ලහිරු ජයසේන මොහොමඩ් ෆාහීම් විසඳුමකින් තොරයි
2015 ඉසුරු දුලාජ් කුශාන් රත්නායක රිච්මන්ඩ්
2016 ඩබ්ලිව්.ටී. කාශ්‍යප කළණ සමරනායක රිච්මන්ඩ්

මෙම තරගය  www.thepapare.com වෙතින් සහ Dialog TV නාලිකා අංක 1 ඔස්සේ සජීවීව විකාශය කිරීමට ThePapare.com  කටයුතු යොදා ඇත. මෙවර තරගාවලියේ කුසලානය ජයග්‍රහණය කරන කණ්ඩායම වන්නේ කුමක් ද? ඔබේ අදහස පහතින් සඳහන් කරන්න.

තරගාවලියේ ඡායාරූප, වීඩියෝ සහ පුවත් සඳහා ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<