ශ්‍රී ලංකාව කඩුලු ත්‍රිත්වයේ මාරකයට ළඟා වූ වගයි

5192
Sri lankan first nine wicket

සාමාන්‍යයෙන් 9 ගණන් ගැනෙනුයේ මාරක ඉලක්කමක් සේ ය. එසේ වූවද එය මගහැර යෑම අපට කෙසේවත් කළ නොහැකි ය. ඒ ඊට පසු යෙදෙන ගණනයට යා යුතු නම් අප එම ඉලක්කම පසු කර යා යුතුම නිසා ය. පෙර දින (ජනවාරි 27) රාත්‍රිය ක්‍රිකට් ලැදි අපට මේ මාරකය උදා වෙන්නේ Hat-trick එසේත් නැත්නම් කඩුලු ත්‍රිත්ව උණුසුමත් සමඟ ය.

[rev_slider LOLC]

“හූ හූ!” “ඉන්දියාව හූ හූ!”

“ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම” ශ්‍රී ලාංකික අපගේ ප්‍රියතම ක්‍රිකට් කණ්ඩායම නම් නොවේ..

ශ්‍රී ලාංකීය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයට අළුතෙන්ම එක්වූ කඩුලු ත්‍රිත්වලාභියා වන්නේ ෂෙශාන් මධුශංක ය. ඊට ප්‍රථම මේ කඩුලු ත්‍රිත්වයේ හිමිකාරීන් ලෙසින් චමින්ද වාස්, ලසිත් මාලිංග, ෆර්වීස් මහරූෆ්, තිසර පෙරේරා සහ වනිඳු හසරංග ගේ නම් පෙළ ගැසී ඇත. ඔවුන් විසින් මෙතෙක් එක්දින ජාත්‍යන්තර පිටියේ රැස් කර ඇති කඩුලු ත්‍රිත්වයන් ප්‍රමාණය 9කි. ThePapare.com මේ උත්සාහය එකී කඩුලු ත්‍රිත්වයේ ශ්‍රී ලාංකීය ඉතිහාසය අකුරු කර තබන්නට ය.

පළමු කඩුලු ත්‍රිත්වය

ශ්‍රී ලාංකීය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් පළමු වැන්නා වන්නේ චමින්ද වාස් ය. එක්දින තරග පිටියේ කඩුලු 400ක් ලබා ගනිමින් ක්‍රිකට් දිවියට සමු දී තිබෙන වාස්ගේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා වන්නේ 2001 වසරේ දෙසැම්බර් මාසයේ ය. ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ය.

සනත් ජයසූරියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එස්. එස්. සී. තණතිල්ලට පිවිසෙන්නේ එල්. ජී.  අබාන්ස් තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමිනි. මෙම තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද සහභාගී විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 38කට සීමා වන්නේ ය. එම ඉනිමේ දී ය වාස් පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීමට සමත් වෙන්නේ. ඔවුන්ගේ අවාසනාව වන්නේ මේ කඩුලු ත්‍රිත්වයේ මුල පුරන්නා සිම්බාබ්වේ කණ්ඩයමේ නායක ස්ටුවට් චාල්ස් වීමයි. දැවී ගිය ක්‍රීඩකයන් තිදෙනා ම දකුණත් පිතිකරුවෝ වීම ද විශේෂ වේ.  

පන්දු වාරය පිතිකරු දැවී ගිය ආකාරය
1 10.3 ස්ටුවට් කාලයිල් ඇ. සුරේෂ් පෙරේරා
2 10.4 ක්‍රෙග් විශාට් කඩුල්ල මුවා කළා
3 10.5 ටටෙන්ඩා තායිබු කඩුල්ල මුවා කළා

සිම්බාබ්වේ ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම තරගයේ දී වැය කරනුයේ පන්දු වාර 15.4ක් පමණි. එක් අන්තයකින් දිගටම ක්‍රියාත්මක වූ වාස් එම තරගයේ දී ලබා ගත් කඩුලු සංඛ්‍යාව 8කි. ඉනිම අවසානයේ වාස්ගේ පන්දු යැවීම සටහන් වූයේ 8-3-18-8ක් ලෙසිනි. එය අදටත් එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ක්‍රීඩකයෙක් තරගයක දී දැක්වූ හොඳම දක්ෂතාවය වන්නේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුවාර 4.2ක දී අදාළ ඉලක්කය සපුරා ගනිති. ඒ අනුව ඉතාම ඉක්මනින් අවසන් වූ එක්දින ජාත්‍යන්තර තරගය ලෙසින් ද මෙම තරගය වාර්තා පොත් අතරට එක්ව ඇත. තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ද වාස් ය.

දෙවැනි කඩුලු ත්‍රිත්වය

ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ දෙවැනියා බවට පත් වෙන්නේ ද චමින්ද වාස් ය. 2003 වසරේ පෙබරවාරි මස පැවති 10 වැනි ලෝක කුසලාන තරගාවලියේ 10 වැනි තරගය ලෙසින් පැවතියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයයි. මෙම තරගයේ ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ඉසිලුවේ සනත් ජයසූරිය ය.

පීටර්මරිට්ස්බර්ග් පිටියේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයන්ට සිදු වූයේ අදහා ගත නොහැකි සිදුවීමකි. චමින්ද වාස් විසින් යැවුණ පළමු පන්දු වාරයේ පළමු පන්දු ත්‍රිත්වයේ දී කඩුලු ත්‍රිත්වයක් කඩා වැටුණේ ය. දැවී ගිය ක්‍රීඩකයන් තිදෙනාම දකුණත් පිතිකරුවෝ ය.

පන්දු වාරය පිතිකරු දැවී ගිය ආකාරය
1 0.1 හන්නාන් සර්කාර් පන්දුව කඩුල්ලේ වැදීමෙන්
2 0.2 මොහොමඩ් අශ්රාෆුල් ඇ. සහ පන්දු යැවුවා
3 0.3 එසනුල් හක් ඇ. මහේල ජයවර්ධන

එම පන්දු වාරය වාස් අවසන් කළේ 5 වැනි පන්දුවේ දී ද තවත් කඩුල්ලක් දවා ගනිමිනි. ඒ සන්වර් හුසෙන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනි. වාස්ගේ එම පන්දු යැවීම ද ශ්‍රී ලාංකීය තරග ඉතිහාසයේ එවැන්නක් කළ පළමුවැන්නා ලෙසින් ලියැවුණි.

එම තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක් හිමි වූ අතර තරගයේ වීරයා ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ ද වාස් ය.

වාස්ගේ මෙම කඩුලු ත්‍රිත්වයන් වඩාත් වැදගත් වනුයේ ශ්‍රී ලාංකීය කඩුලු ත්‍රිත්වයන් හී පුරෝගාමියා වීම පමණක් නොව වමත් පන්දු යවන්නන්ගෙන් මෙම දක්ෂතාවන් දැක්වූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ ද ඔහුම බැවිනි.

එමෙන්ම මෙරට දී සේ ම අන් රටක දී සේ කඩුලු ත්‍රිත්වයන් වාර්තා කිරීම වර්ග කෙරෙන්නේ නම් එහි දී ද කඩුලු ත්‍රිත්වයන් ලබා ගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ වාස් වීම සුවිශේෂී ය. එමෙන්ම එක් නායකයෙක් යටතේ කඩුලු ත්‍රිත්වයන් දෙකක් වාර්තා කළ පළමුවැන්නා ද වාස් ය.

තෙවැනි කඩුලු ත්‍රිත්වය

2007 වසරේ පැවති අයි. සී. සී. 11 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගී වෙන්නේ මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුක්තව ය. තරගාවලියේ සුපිරි අට වටය නියෝජනය කිරීමට වරම් ලැබූ අප ක්‍රීඩකයෝ ප්‍රොවිඩන්ස් හි දී දකුණු අප්‍රිකාව සමඟ තරග වැදුණේ තරගාවලියේ 26 වැනි තරගයටයි.

තරගයෙන් අප ක්‍රීඩකයෝ කඩුල්ලකින් පරාජය ලැබූව ද දකුණතින් වේගපන්දු යවන ලසිත් මාලිංග කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට ගෞරවය දිනා දුන්නේ ය. නැවතත් සුපුරුදු ලෙසින්ම දැවී යන්නේ දකුණත් පිතිකරුවෝ ම ය.

පන්දු වාරය පිතිකරු දැවී ගිය ආකාරය
1 44.5 ෂොන් පොලෝක් පන්දුව කඩුල්ලේ වැදීමෙන්
2 44.6 ඇන්ඩෘ හෝල් ඇ. උපුල් තරංග
3 46.1 ජැක් කලිස් ඇ. කුමාර් සංගක්කාර

මෙම කඩුලු ත්‍රිත්වයට පසුව යැවුණ 46.2 වැනි පන්දුවේ දී පන්දුව කෙළින්ම කඩුල්ලේ දැවටීමෙන් මකායා නිට්නි ද දවා ගැනීමට මාලිංග සමත් වෙන්නේ ය. පිට පිට පන්දු 4ක දී කඩුලු 4ක් දවා ගත් ලොව පළමු පන්දු යවන්නා සේ ම එතෙක් මෙතෙක් එම වාර්තාවේ හිමිකාරිත්වය මාලිංග සතු වෙන්නේ ය.

එම තරගයේ සම තරගයේ වීරයා සම්මානයෙන් මාලිංග පිදුම් ලැබූ අතර දෙවැනියට පන්දුවට පහර දුන් පිළක කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් පළමු ශ්‍රී ලාංකිකයා මෙන්ම කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් පළමු දකුණත් වේගපන්දු යවන්නා වෙන්නට ද මාලිංග ය. එමෙන්ම පන්දු වාර දෙකක දී පිට පිට පන්දු 3ක දී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් පළමු ශ්‍රී ලාංකික පන්දු යවන්නා වූයේ ද මාලිංග ය.

ශ්‍රී ලංකා තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් වාර්තා වෙමින් පරාජිත එකම තරගය වෙන්නේ ද මෙම තරගයයි.

සිව්වැනි කඩුලු ත්‍රිත්වය

2010 වසරේ ජුනි මාසයේ මෙරට පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන්නේ කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුක්තව ය. තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් දඹුල්ලේ දී ඉන්දියාව සමඟ පැවති තරගයේ මෙරට ඉතිහාසයේ සිව්වැනි කඩුලු ත්‍රිත්වය වාර්තා වෙන්නේ ය. එහි හිමිකරුවා වන්නේ දකුණතින් වේගපන්දු යැවූ ෆර්වීස් මහරූෆ් ය.

පන්දු වාරය පිතිකරු දැවී ගිය ආකාරය
1 38.1 රවින්ද්‍ර ජඩේජා කඩුල්ල මුවා කළා
2 38.2 ප්‍රවීන් කුමාර් පන්දුව කඩුල්ලේ වැදීමෙන්
3 38.3 සහීර් ඛාන් ඇ. කුමාර් සංගක්කාර

මෙම තරගයේ දී ය පළමු වරට වමත් පිතිකරුවෙක් මෙරට ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයකට ගොදුරු වෙන්නේ. ඒ රවින්ද්‍ර ජඩේජා ය. මෙම තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 7ක ජයක් ලබා ගන්නා අතර තරගයේ වීරයා ලෙසින් මහරූෆ් නම් කෙරුණි.

පස්වැනි කඩුලු ත්‍රිත්වය

නැවත වරක් කඩුලු ත්‍රිත්ව කරළියට පිවිසෙන්නේ ලසිත් මාලිංග ය. ඒ අනුව චමින්ද වාස් විසින් කඩුලු ත්‍රිත්ව දෙකක් ලබා සිටි වාර්තාව මාලිංග සම කරන්නේ ය. තරගාවලිය 2010 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයි. ප්‍රතිවාදීන් වූයේ කෙන්යාව ය. මෙවර මාලිංගගේ නායකයා වන්නේ කුමාර සංගක්කාර ය.

පන්දු වාරය පිතිකරු දැවි ගිය ආකරය
1 41.6 ටන්මේ මිශ්රා කඩුල්ල මුවා කළා
2 43.1 පීටර් ඔන්ගොන්ඩා පන්දුව කඩුල්ලේ වැදීමෙන්
3 43.2 ෂේම් නගොඩි පන්දුව කඩුල්ලේ වැදීමෙන්

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවති මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 9කින් ජයග්‍රහණය ලබන අතර මාලිංග තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලබන්නේ ය. කෙසේ නමුත් නැවත වතාවක් මාලිංගට කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට පන්දු වාර දෙකක පිට පිට පන්දු 3ක් වැය වන්නේ ය. එම කඩුලු ත්‍රිත්වය සහෝදර ක්‍රීඩකයන්ගේ දායකත්වයක් ලබා නොගනිමින් වාර්තා කළ පළමු කඩුලු ත්‍රිත්වය ද වන්නේ ය.

එම තරගයේ දී මාලිංග තමන් යැවූ 43.4 වැනි පන්දුවේ දී ඔටිඑනෝගේ කඩුල්ල ද දවා ගනිමින් පිට පිට පන්දු 5ක දී කඩුලු 4ක් වාර්තා කරමින් චමින්ද වාස්ට පසු එවැන්නක් කළ තැනැත්තා බවට පත් විය.

හයවැනි කඩුලු ත්‍රිත්වය

ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයන් ත්‍රිත්වයක් වාර්තා කළ පළමුවැන්නා බවට පත්වෙමින් ලසිත් මාලිංග හය වැනි කඩුලු ත්‍රිත්වය වාර්තා කරන්නේ ය. ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව 2011 වසරේ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ය. මාලිංග මෙම තරගයේ දී ද පිටියට පිවිසෙන්නේ කුමාර් සංගක්කාරගේ නායකත්වය යටතේ ය.

පන්දු වාරය පිතිකරු දැවී ගිය ආකාරය
1 45.2 මිචෙල් ජොන්සන් පන්දුව කඩුල්ලේ වැදීමෙන්
2 45.3 ජෝන් හේස්ටින්ග්ස් කඩුල්ල මුවා කළා
3 45.4 සේවියර් ඩෝර්ටි පන්දුව කඩුල්ලේ වැදීමෙන්

වමත් පිතිකරුවන් දෙදෙනෙක් ගොදුරු වූ පළමු කඩුලු ත්‍රිත්වය ලෙසින් මෙය ඉතිහාස ගත වෙන්නේ ය. ඒ මිචෙල් ජොන්සන් සහ සේවියර් ඩෝර්ටි ය. ඔවුන් දෙදෙනා ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමෙන් දවා ගැනීමට සුවිශේෂී වේ. ඒඅනුව එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකීය පන්දු යවන්නන්ගේ කඩුලු ත්‍රිත්වයන්වලට ගොදුරු වූ වමත් පිතිකරුවන් තිදෙනෙක් පමණක් වන අතර ඔවුන් තිදෙනාම දැවී යන්නේ කඩුල්ල කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් වීම ද සුවිශේෂී වේ.

එතෙක් පන්දු වාර දෙකක දී පිට පිට පන්දු තුනක දී කඩුලු ත්‍රිත්වයන් වාර්තා කළ මාලිංග මෙම තරගයේ දී එක් පන්දු වාරයක දී පිට පිට පන්දු ත්‍රිත්වයක දී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් වීම විශේෂ සැමරුමකි. එමෙන් ම නායකයන් දෙදෙනෙක් යටතේ කඩුලු ත්‍රිත්වයන් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකිකයා වෙනනේ ද මාලිංග ය.

හත්වැනි කඩුලු ත්‍රිත්වය

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තෙවැනි වරටත් කඩුලු ත්‍රිත්වයකට පාර සකසමින් දකුණතින් වේගපන්දු යවන තිසර පෙරේරා හත් වැනි කඩුලු ත්‍රිත්වයේ හිමිකාරිත්වය ලබා ගන්නේ ය. ඒ 2012 වසරේ දී මෙරට සංචාරයක යෙදුණ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ය.

පන්දු වාරය පිතිකරු දැවී ගිය ආකාරය
1 40.2 යුනිස් ඛාන් ඇ. කුමාර් සංගක්කාර
2 40.3 සහීඩ් අෆ්රිඩී ඇ. චන්දිමාල්
3 40.4 සෆ්රාඩ් අහමඩ් ඇ. මහේල ජයවර්ධන

නැවත වරක් නායකත්වයේ කිරුළ කුමාර් සංගක්කාර සතු වෙන්නේ ය. ඒ අනුව කඩුලු ත්‍රිත්වයන් හතරක් වෙනුවෙන් කණ්ඩායම මෙහෙය වූ එකම නායකයා බවට සංගක්කාර පත් වෙන්නේ ය. ඉන් කඩුලු ත්‍රිත්වයන් ත්‍රිත්වයක්ම වාර්තා වී ඇත්තේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය.

දෙවැනියට පන්දුවට පහර දෙන ඉනිමේ දී වාර්තා වූ මෙම කඩුලු ත්‍රිත්වය හේතුවෙන් තරගයේ වීරයා සම්මානය තිසරට හිමි වෙන්නේ ය.

අටවැනි කඩුලු ත්‍රිත්වය

කෝඩුකාර ක්‍රීඩකයෙක් ලෙසින් පිටියට පිවිසි මංගල තරගයේ දී ම කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකිකයා වෙමින් වනිඳු හසරංග මෙම ලැයිස්තුවේ අට වැනි කඩුලු ත්‍රිත්වය වාර්තා කරන්නේ ය. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය. මෙම කඩුලු ත්‍රිත්වය එක්දින තරග පිටියේ ශ්‍රී ලාංකික දඟපන්දු යවන්නෙක් ලැබූ පළමු කඩුලු ත්‍රිත්වය ලෙසින් ද ඉතිහාස ගත වන්නේ ය.

පන්දු වාරය පිතිකරු දැවී ගිය ආකාරය
1 33.2 මැල්කම් වොලර් පන්දුව කඩුල්ලේ වැදීමෙන්
2 33.3 ඩොනල්ඩ් තිරිපානෝ කඩුල්ල මුවා කළා
3 33.4 ටෙන්ඩායි චටාරා පන්දුව කඩුල්ලේ වැදීමෙන්

2017 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පැවති දෙවැනි තරගයේ දී මෙම දක්ෂතාව කිරීමට වනිඳු සමත් වන්නේ ය. එවර නායකත්වය උසුලන්නේ ඇන්ජලෝ මැතිව්ස් ය. තරගයෙන් කඩුලු 7ක ජයක් ශ්‍රී ලාංකිකයෝ ලැබූ අතර තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණේ ඉනිමේ ඉදිරි පෙළ කඩුලු 4ක් ලකුණු 52කට ලබා ගත් ලක්ෂාන් සඳකැන් ය. ඒ අනුව කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරමින් තරගයේ වීරයා සම්මානය අහිමි පළමු වැනි ශ්‍රී ලාංකීය පන්දු යවන්නා ලෙසින් ද වනිඳු ඉතිහාස ගත වන්නේ ය.

එමෙන්ම අඩුම වයසින් කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් ශ්‍රී ලාංකිකයා ලෙසින් ද වනිඳුගේ නම සටහන් වන්නේ වයස අවුරුදු 20 දී එකී දක්ෂතාව කිරීම හේතුවෙනි.

නවවැනි කඩුලු ත්‍රිත්වය

නැවත වතාවක් කෝඩුකාරයෙක්ටම කඩුලු ත්‍රිත්වය ලියැවෙන්නේ ය. ඒ දකුණත් වේගපන්දු යවන්නෙක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වරම් හිමි කර ගන්නා ෂෙහාන් මධුශංක ය. ෂෙහාන් ද තම කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීමට පන්දු වාර දෙකක පිට පිට පන්දු තුනක් උපයෝගී කර ගන්නේ ය.

පන්දු වාරය පිතිකරු දැවී ගිය ආකාරය
1 39.5 මෂ්රාෆ් මොර්ටාසා ඇ. කුසල් මෙන්ඩිස්
2 39.6 රුබෙල් හුසේන් පන්දුව කඩුල්ලේ වැදීමෙන්
3 41.1 මහමුදුල්ලා ඇ. උපුල් තරංග

බංග්ලාදේශයේ දී නිමා වූ තුන්කොන් එක්දින තරගාවලියේ අවසාන මහා තරගයේ දී ෂෙහාන් මෙම දක්ෂතාව කිරීමට සමත් වෙන්නේ ය. ඒ අනුව අවසන් මහා තරගයක කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික පන්දු යවන්නා වෙන්නේ ෂෙහාන් ය. දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතුව පැවති මෙම තරගයේ දී ද තරගයේ වීරයා සම්මානය අහිමි වූ දෙවැනි කඩුලු ත්‍රිත්ව ලාභියා ලෙසින් ෂෙහාන් ඉතිහාසයට එකතු විය.

ශ්‍රී ලාංකීය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයන් හෙට දවසේ දී කෙසේ ලියැවේ දැයි කිසිවෙක්ටවත් කිව නොහැකි ය. එහෙත් ඒ වාර්තාවන් ද මේ ආකාරයෙන් ම විවිධාකාර ඡේදයන්ගෙන් අනූන විය හැකි ය. එදාට ද ThePapare.com එහි උණුසුම සමඟ නිබඳවම ඔබ සමඟ එකතු වෙනු ඇත.  

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<