එළඹෙන සැප්තැම්බර් මස 8 වැනිදා ශ්‍රී ලංකාව සහ ලෝක කණ්ඩායම අතර ආධාර මුදල් රැස්කර ගැනීමේ අරමුණින් ප්‍රදර්ශනාත්මක විස්සයි විස්ස ක්‍රිකට් තරගයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත. ඒ අනුව එදිනට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පැමිණෙන ක්‍රීඩාලෝලීන්ට කිසිදා නොවිඳි අපූරු ක්‍රිකට් අත්දැකීමක් විඳ ගැනීමේ දුලබ අවස්ථාවක් හිමිව තිබේ.

“දේශීය තරගවලට වේගවත් තණතිලි ලබා දෙන්න” – වාස්ගෙන් ඉල්ලීමක්

2016/17 වර්ෂ පදනම් කර ගනිමින් පැවැත්වුණු ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් තරගාවලියේ දී වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් 15 දෙනා අතරින් ..

තරගයෙන් එකතු වන ආධාර මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘ක්‍රිකට් අත්වැල’ (Cricket Aid) වැඩසටහන ඔස්සේ පසුගිය කාලයේ දී ගංවතුර, නියඟය සහ වෙනත් ස්වාභාවික ආපදා තත්ත්වයන්ගෙන් විපතට පත් අපේම දරු දැරියන් වෙනුවෙන් සහන සැලසීමට යොදා ගැනෙනු ඇත. ‘ක්‍රිකට් අත්වැල’ වැඩසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ අදහසක් වන අතර 2004 වසරේ ඇතිවූ සුනාමි තත්ත්වයෙන් සිදු වූ මහා විනාශයෙන් අනතුරුව ඒ සඳහා පදනම සැකසුණි. එම වැඩසටහන නැවතත් ගෙවුණු වසරේ සිට කරළියට පැමිණියේය.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන මේ වන තෙක් ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ඇත්දැයි තහවුරු කර නොමැති අතර පෙර එකඟතාවයන් අනුව තවත් සුපිරි ක්‍රීඩකයින් දෙපළක් වන ටී. එම්. ඩිල්ශාන් සහ සනත් ජයසූරිය මෙම තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. තරගයට සහභාගි වන කණ්ඩායම් දෙකම ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ විශ්‍රාමික සහ දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ගෙන් සමන්විත වන අතර විදෙස් ක්‍රීඩකයින්ට ඔවුන්ගේ සහභාගීත්වය වෙනුවෙන් සැලකිය යුතු ගෙවීමක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇත.

“අපි සියලුම සාමාජික රටවල්වලට මේ ගැන දන්වා යැවුවා, ඒ වගේම බොහොමයක් දෙනා මෙම උතුම් කර්තව්‍යය සාර්ථක කර ගැනීමට කැමැත්ත පළ කරලා තිබුණා. මෙය සම්පූර්ණයෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අනුදැනුම යටතේ පැවැත්වෙන තරගයක්. අපි මේ වන විට රටවල් 6-7කින් 13කට වඩා වැඩි ක්‍රීඩකයින් පිරිසක් ඇතුළත් ලැයිස්තුවක් සකසා තිබෙනවා. අපි තරගය සඳහා සහභාගි වන කණ්ඩායම් දෙක සකසා අවසන් වීමෙන් සතියක් ගතවීමට පෙර ක්‍රීඩකයින්ගේ නම් දැනුම් දීමට බලාපොරොත්තු වෙනවා. මෙම තරගය වෙනුවෙන් වැය වන මුදල රුපියල් මිලියන 35-40 අතර වනු ඇතැයි අප අනුමාන කරනවා.” ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා ප්‍රකාශ කර සිටියේය.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට