ශ්‍රී ලංකාවට නිතරගයෙන් හිමි වීමට තිබුණු A1 ස්ථානය අහිමි වෙයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

697

2021 ක්‍රිකට් ලෝක කුසලානයේ නීතිරීති කිහිපයක් වෙනස් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. එම නීති වෙනස් කිරීමෙන් සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව ඇතුළත් වීමට නියමිත කාණ්ඩයට සෘජුවම බලපෑමක් වීම විශේෂත්වයක්.

මීට පෙර ICCය දැනුම් දුන් පරිදි ශ්‍රී ලංකාව මූලික වටයේ දී සිය කාණ්ඩයේ පළමු ස්ථාන දෙකෙන් එකකට හෝ පැමිණීමට සමත් වුවහොත් ශ්‍රී ලංකාව දෙවැනි වටයට පිවිසෙන්නේ A1 කණ්ඩායම ලෙසයි.

කෙසේ වෙතත් නව නීති රීති වෙනස් කිරීමට පසුව ශ්‍රී ලංකාවට නිතරගයෙන් A1 ලෙස දෙවැනි වටයට පිවිසීමට තිබුණු අවස්ථාව අහිමි වන අතර ඔවුන් A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත් වුනහොත් පමණක් ඔවුන්ට A1 ස්ථානය හිමි වෙනවා.

ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් වුනහොත් ඔවුන්ට දෙවැනි වටයට යෑමට සිදුවන්නේ A2 ලෙසයි.

ඔක්තෝබර් 20 වැනිදා නිකුත් කරනු ලැබූ ICC නිවේදනයේ, “A කාණ්ඩයේ හා B කාණ්ඩයේ පළමු ස්ථානයන්ට පත්වන කණ්ඩායම් සුපිරි 12 වටයේ දී A1 හා B1 ලෙස ස්ථාන හිමිකර ගනියි. එලෙසම දෙවැනි ස්ථානය හිමිකර ගන්නා කණ්ඩායම් සුපිරි 12 වටයේ දී A2 හා B2 ස්ථාන හිමිකර ගනියි”, යැයි සඳහන්.

මේ අනුව ශ්‍රී ලංකාවට ස්ථිර වශයෙන්ම A1 ස්ථානය හිමි නොවන අතර ශ්‍රී ලංකාව A කාණ්ඩයේ පළමු වටය අවසන් කරන ස්ථානය අනුව ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ දී තරග කරන්නේ පළමු කාණ්ඩයේ ද, දෙවැනි කාණ්ඩයේ ද යන බව තීරණය වනු ඇත.

පෙර ආකාරයට ශ්‍රී ලංකාව තමන් ක්‍රීඩා කරන කාණ්ඩයේ පළමු ස්ථානයට පැමිණියත්, දෙවැනි ස්ථානයට පැමිණියත් ඔවුන් සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයට ඇතුළත් වන අතර එවිට ඔවුන්ට ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් හා B2 ස්ථානයේ සිටින කණ්ඩායම හා ක්‍රීඩා කිරීමට සිදු වෙනවා.

නවතම වෙනස් කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව පළමු වටයේ දී දෙවැනි ස්ථානයට පත් වුවහොත් ඔවුන්ට සුපිරි 12 වටයේ දෙවැනි කාණ්ඩයේ ක්‍රීඩා කිරීමට සිදු වන අතර එවිට ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය හා නවසීලන්තයයි.

බංග්ලාදේශය, ස්කොට්ලන්තය හමුවේ පරාජය වූ නිසා සුපිරි 12 වටයේ දී ශ්‍රී ලංකාව හා බංග්ලාදේශයත් එකම කාණ්ඩයට ඇතුළත් වීමට ඉඩකඩ තිබෙනවා.

ශ්‍රී ලංකාව අද (20) අයර්ලන්තය සමඟ ක්‍රීඩා කරන අතර 22 වැනිදා නෙදර්ලන්තය සමඟ ක්‍රීඩා කිරීමට නියමිතයි. 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තොරතුරු සඳහා ThePapapre.com සමඟින්ම රැඳී සිටින්න.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<