ශ්‍රී ලංකාවට බැඩ්මින්ටන් රන් පදක්කම් තුනක්

ආසියානු කලාපීය බැඩ්මින්ටන් ශූරතාවය 2022

476

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ආසියානු කලාපීය බැඩ්මින්ටන් ශූරතාවයේ දී රන් පදක්කම් තුනක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

පිරිමි ඒකල තරගයේ රන් පදක්කම දිනා ගැනීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ පුලින වෙල්ලාලගේට හැකි වුනේ ඉරාන ක්‍රීඩක ආදිල් සවුරානි ලකුණු 21-18ක් සහ 21-09ක් ලෙස පරාජයට පත් කරමිනුයි.

බාලිකා ඒකල අවසන් තරගයේ දී ඉරාන ක්‍රීඩිකා අයිඩා එනයාටි ලකුණු 21-13ක් සහ 21-16ක් ලෙස පරාජය කළ ලුම්බිණි විද්‍යාලයේ වරංගනා ජයවර්ධන එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා.

බාලක යුගල තරගයේ දී සිය පාසල් සඟයෙකු වන ශෙනුක් සමරරත්න සමඟ එක්වූ පුලින ඉරාන ක්‍රීඩක යුගලයක් වූ ආදිල් සවුරාති සහ සෙයිඩ් මොහොමඩ් ලකුණු 21-13ක් සහ 21-16ක් ලෙස පරාජය කරමින් රන් පදක්කම දිනා ගත්තා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජෙයිරා නුවර පැවති මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින්ට අමතරව කණ්ඩායම සමඟින් කණ්ඩායම් කළමනාකාරිනිය සහ කණ්ඩායම් භාර නිලධාරිණිය ලෙස චන්ද්‍රිකා ද සිල්වා මහත්මිය එක්ව තිබුණා.

මෙම තරගාවලියේ දස්කම් දක්වමින් ජයග්‍රහණ ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ThePapare.com අපගේ උණුසුම් සුබ පැතුම්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<