ලෝක කුසලාන සුදුසුකම් සොයා ශ්‍රී ලංකා කාන්තාවන් සිම්බාබ්වේ දේශයට

908

නවසීලන්තයේ දී පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිම්බාබ්වේහි පැවැත්වීමට නියමිත සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියකට සහභාගි වීම සඳහා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම හෙට (16) අලුයම දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.

රටවල් 9ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ගෙවී ගිය මාස 5කට ආසන්න කාලයක් තුළ පුහුණු සැසි ගණනාවකට සහභාගි විය.

පිරිමි කණ්ඩායමට මෙන්ම කාන්තා කණ්ඩායමට ද පහසුකම්වල කිසිදු අඩුවක් සිදු නොකරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබූ අතර එහි දී නේවාසික පුහුණු කඳවුරු 3කට ද සහභාගි වීමේ අවස්ථාව ක්‍රීඩිකාවන් වෙත හිමි වුනා. එම නේවාසික පුහුණු කඳවුරු අතර එක් පුහුණු සැසියක් දඹුල්ලේ දී ද, අනෙක් සැසි දෙක කොළඹ දී ද පැවැත්වුනා.

හිටපු ටෙස්ට් නායක හෂාන් තිලකරත්න මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන කාන්තා කණ්ඩායම සිය අවසන් පුහුණු සැසිය සඳහා ඊයේ (14) පී. සරා ඕවල් පිටියේ දී සහභාගි වුනා. ඕස්ට්‍රේලියාවේ පැවති ‘බිග් බෑෂ්’ කාන්තා විස්සයි විස්ස තරගාවලියට සහභාගි වීමෙන් පසු නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ සිටින කණ්ඩායම් නායිකාව වන චමරි අතපත්තු ද පළමු වතාවට එම පුහුණු සැසියට සහභාගී ව සිටියා.

“අපි ඉතා සාර්ථක පුහුණු සැසි කීපයකටම සහභාගි වෙලා සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා හොඳ සූදානමකින් සිටිනවා”, යැයි කණ්ඩායම් නායිකා අතපත්තු පවසා සිටියා.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩය යටතේ තරග කරන අතර බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය සහ නෙදර්ලන්තය මූලික වටයේ ප්‍රතිවාදීන් වනවා. පැපුවා නිව්ගීනියා කණ්ඩායම ද මෙම කාණ්ඩයට ඇතුළත්ව සිටියත්, සිදු කරන ලද PCR පරීක්ෂණවල දී කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට කොරෝනා ආසාදනය වී තිබෙන බව තහවුරු වීම නිසා ඔවුන් තරගාවලිය සඳහා සහභාගී වන්නේ නැහැ.

“මූලික වටයේ තරග 3 ම හොඳින් ක්‍රීඩා කරන එක තමයි අපේ බලාපොරොත්තුව. මං හිතනවා අපිට හොඳ තරගාවලියක් ක්‍රීඩා කරන්න ලැබෙයි කියලා. කණ්ඩායම ගත්තහම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් රැසක් සිටිනවා. ඒ වගේම දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන් කීප දෙනෙක්ම ඉන්නවා. ඔවුන්ගේ සහයෝගයත් එක්ක මේ තරගාවලිය හොඳින් ක්‍රීඩා කරලා ප්‍රධාන තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා” , යැයි අතපත්තු වැඩි දුරටත් පවසා සිටියා.

කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් කාන්තා කණ්ඩායමට අවසන් වසර 2කට ආසන්න කාලයක් තිස්සේ ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වීමට අවස්ථාව හිමි වුනේ නැහැ. කෙසේ වෙතත් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමට සූදානම් වීම සඳහා මෙම පුහුණු සැසි අතරතුර දී පුහුණු තරග 19කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව සලසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

ඒ අතර කැපී පෙනෙනම ක්‍රීඩිකාව බවට පත්වීමට උප නායිකා හර්ෂිතා මාධවී පත් වූ අතර ඇය ශතක 3ක් වාර්තා කිරීමට සමත් වුනා. ඇයට අමතරව හසිනි පෙරේරා සහ ප්‍රසාදිනී වීරක්කොඩි ශතක ලබා ගත් සෙසු ක්‍රීඩිකාවන්. ප්‍රසාදිනී වීරක්කොඩි රැස් කරන ලද ශතකයට අමතරව ලකුණු 98ක් ද ලබා ගනිමින් පිතිකාරිණියන් අතර වැඩි බලාපොරොත්තු තබා ගත හැකි ක්‍රීඩිකාවක් බවට ඇය පත්වුනා.

ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන එම තරග වටයේ ඒ ඒ කාණ්ඩවල පෙරමුණ ගනු ලබන කණ්ඩායම් 3 නැවතත් සුපිරි කණ්ඩායම් 6 තරග වටයකට සුදුසුකම් ලබන නමුත්, එහි දී ප්‍රතිවාදී කාණ්ඩ සමඟ පමණක් එදිරිවාදීන් ලෙසින් තරග වදිනු ලබයි.

ඒ අනුව එක් කණ්ඩායමකට ප්‍රතිවාදී කාණ්ඩයේ සිටින කණ්ඩායම් 3 සමඟ තරග කිරීමේ අවස්ථාව උදා වන අතර ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට සමත් වන කණ්ඩායම් තුන 2022 වසරේ නවසීලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා වරම් ලබනු ඇත.

එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය යන රටවල් මේ වන විටත් ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලබා සිටියි.

මෙම ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය නොවැම්බර් 21 වැනිදා සිම්බාබ්වේ දී ආරම්භ වීමට නියමිතයි. මූලික සැලසුමට අනුව මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ ගෙවී ගිය 2020 වසරේ දී ශ්‍රී ලංකාවේ දී ය.

ජූලි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලියට කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ එය කල් දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සිදු වූ අතර පසුව මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය මෙම වසරේ නොවැම්බර් මාසයේ දී සිම්බාබ්වේ දී පැවැත්වීමට තීරණය කෙරුණා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම: චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා මාධවී (උප නායිකා), නිලක්ෂි ද සිල්වා, හසිනි පෙරේරා, සුගන්දිකා කුමාරි, ඕෂදී රණසිංහ, අමා කාංචනා, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, අනුෂ්කා සංජීවනී, කවීෂා දිල්හාරි, තාරිකා සෙව්වන්දි, ප්‍රසාදිනී වීරක්කොඩි, ඉමේෂා දුලානි, විශ්මි රාජපක්ෂ, සචිනි නිසංසලා.

අතිරේක ක්‍රීඩිකාවන්: උමේෂා තිමාෂිනී, කාව්‍යා කාවින්දි, මදුශිකා මෙත්තානන්ද, සත්‍යා සංදීපනී, ලිහිණි අප්සරා.

පුහුණු කාර්යය මණ්ඩලය – හෂාන්ත තිලකරත්න (ප්‍රධාන පුහුණුකරු, හේමන්ත දේවප්‍රිය (කළමනාකරු, ටස්නීම් යුසුෆ් (භෞතචිකිත්සක), රවීන්ද්‍ර පුෂ්පකුමාර (වේග පන්දු පුහුණුකරු), ලංකා ද සිල්වා (පිතිකරණ පුහුණුකරු), චාමිකා පෙරේරා (සම්භාහක), දිනුක් හෙට්ටිආරච්චි (දඟ පන්දු පුහුණුකරු), කවිරංග විජේසිංහ (පරිගණක විශ්ලේෂක), දර්ශන් වීරසිංහ (අභ්‍යාසක), මතීෂ ද සිල්වා (වෛද්‍යවරයා), ඉන්ද්‍රානි ආරියරත්න (ක්‍රීඩිකාවන් භාර නිලධාරිණි)

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<