කුසල්-තිසර සහ දසුන්ගේ උත්සාහයන් ලක්මාල් සඵල කරයි

1060

කුසල් පෙරේරා ආරම්භ කළ මැජික් ඉනිම, තිසර පෙරේරා සහ දසුන් ශානක විසින් තව දුරටත්  පවත්වා ගෙන යෑමත්, එම උත්සාහයන් සඵල කර ගැනීම වෙනුවෙන් සුරංග ලක්මාල් දැක්වූ දායකත්වයත් හේතුවෙන් ඊයේ (08) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා සිව්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 3ක ජයග්‍රහණයක් ලබා ගත්තා.

ඒ අනුව දකුණු අප්‍රිකාව හමුවේ පිට පිට තරග 11ක් පරාජය වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එම අඳුරු අතීතයට තිත තැබීමට ද සමත් වුනා.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකත්වයත් චන්දිමාල්ට

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිනේෂ් …

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 306ක් ලබා ගත්ත ද වරින් වර වැටි වර්ෂාව හේතුවෙන් ප්‍රතිවාදීන්ගේ ඉලක්කය වූයේ පන්දුවාර 21කට ලකුණු 191ක්. නමුත් ඔවුන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 187ක් පමණයි. තරගයේ තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ගණනය වුනා.

පිළිතුරු ඉනිමේ දී දකුණු අප්‍රිකානුවෝ කඩුලු 5ක් දැවී යද්දීත් පන්දු වාරයකට ලකුණු 10ක සාමාන්‍යයක් රඳවා ගත්ත ද එතැන් සිට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ක්‍රම ක්‍රමයෙන් තරගය තමන්ගේ ග්‍රහණයට ගැනීම නිසා අවසානය තමන්ගේ තරගයක් බවට පත් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුනා. එහෙත් අවසන් පන්දුවාර කිහිපයේ දී තරගය නැවත දෙපිළට ම දෝලනය වුනා.  

අවසන් පන්දු 30 දී දකුණු අප්‍රිකානු ඉලක්කය ලකුණු 38ක් වෙද්දී දකුණු අප්‍රිකානු පිතිකරුවන් හය දෙනෙක් ම ක්‍රීඩා විවේකාගාරයේ තරග නරඹන්නන් බවට පත්ව සිටියා. පිටියේ රැඳී සිටි ඩේවිඩ් මිලර් වෙත වැඩි වගකීම් පැවරී තිබුණ ද සුරංග ලක්මාල් විසින් යැවුණ අවසන් පන්දු වාරයේ දෙවැනි පන්දුවේ දී මිලර්ගේ ඉනිම ද අවසන් කළා. අවසන් පන්දුවාරයේ දී දකුණු අප්‍රිකා ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 8ක් අවශ්‍ය තිබුණ ද සුරංග ලක්මාල් එම පන්දුවාරය ලකුණු 4කට සීමා කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියා.

දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව පන්දුවාර 2ක් අවසානයේ කිසිවෙක් නොදැවී ලකුණු 21ක් ලබා සිටිය දී ඇද වැටුණ වර්ෂාව නතර වී නැවත තරගය ආරම්භ වූයේ තවත් පන්දුවාර 18ක් තරගයෙන් අඩු වෙමින්. ඒ අනුව දකුණු අප්‍රිකානුවන්ගේ ඉලක්කය පන්දුවාර 21ක් අවසානයේ ලකුණු 191ක් වුනා.  

දික්වැල්ල එළියට චන්දිමාල් ඇතුලට

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර මේ මස 14 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වීමට නියමිත එකම විස්සයි – විස්ස ක්‍රිකට් තරගය සඳහා තරග වදින ශ්‍රී ලංකා සංචිතය අද (8) නිකුත් වූ අතර කඩුලු රකින…

තම 94 වැනි ජාත්‍යන්තර එක්දින තරගයට සහභාගී වුන, ඊයේ තරගයේ නායක ක්වින්ටන් ඩි කොක් තමන් මුහුණ දුන් තෙවැනි පන්දුවේ දී හතරේ පහරක් එල්ල කරමින් තම පෞද්ගලික ලකුණු 4000 සීමාව පසු කිරීමට සමත් වුනා. දෙවැනි කඩුල්ල ලෙසින් ඩි කොක් දැවී යන විට පන්දු 13කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා.

පෙර තරගයේ දී ශතකයක් ලබා ගත් රීසා හෙන්ඩ්‍රිකස් ලකුණු 2කට සීමා කිරීමට දසුන් ශානක සමත් වුනා. එහෙත් ඔහු දැවී යන විටත් දකුණු අප්‍රිකානු ඉනිම තිබුණේ ලකුණු 51. ක්‍රියාත්මක වෙමින් පැවතියේ 5 වැනි පන්දුවාර ය.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් හෂීම් අම්ලා සමඟින් ජේ. පී. ඩුමිනි එක්ව ලකුණු 57ක සබඳතාවක් ගොඩ නැගුවා. අම්ලා පන්දු 23ක දී හතරේ පහර 6ක් සමඟ ලකුණු 40ක් ලබා ගනිද්දී දුවද්දී දැවී යෑමකට ලක්වූ ජේ. පී. ඩුමිනි පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා.  

කඩුලු ලබා ගැනීමේ දී සුරංග ලක්මාල් ලකුණු 46කට කඩුලු 3ක් දවා ගත් අතර තිසර පෙරේරා කඩුලු 2ක් ද, අකිල දනංජය, දසුන් ශානක සහ ධනංජය ද සිල්වා කඩුල්ල බැගිනුත් හිමිකර ගත්තා. තරගයේ වීරයා සම්මානයෙන් පුද ලැබීමට දසුන් ශානක සමත් වුනා.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණය සහ ඒ වටා අහස අඳුරු පැහැයෙන් යුත් වීමත් වර්ෂාවත් හේතුවෙන් තරගය ආරම්භ වීම සිදු වූයේ ප්‍රමාද වෙමින්. ඒ අනුව කාසියේ වාසිය උරගා බැලීමට දෙපිළේ නායකයෝ පිටියට පිවිසියේ තරගය ආරම්භ වීමට නියමිතව තිබූ වේලාවට වඩා පැය එකහමාරක ප්‍රමාදයකින්. වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 45කට සීමා කර තිබුණා. තරගය ආරම්භයෙන් පසුව ද අවස්ථා කිහිපයක දී ම වර්ෂාව නැවත ඇද වැටිම හේතුවෙන් තරගය පන්දු වාර 39කට සීමා වුනා.

දකුණු අප්‍රිකානුවන්ගෙන් පිට පිට  එක්දින ජාත්‍යන්තර තරග 11ක් පරාජය වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට සහභාගී වූයේ, මෙතෙක් ලත් තරග පරාජයන් කෙසේ වෙතත් මව්බිමේ දී අඩුම තරමින් තම ජාමය වත් බේරා ගැනීම අරමුණ කර ගනිමින්. ඒ අනුව සෑම තරගයක දී සේ ම මෙම තරගයේදීත් උපරිම තුරුම්පු ඇදීමට ශ්‍රී ලංකා නායකයා කටයුතු කළා. ඒ අනුව  නැවත වතාවක් දසුන් ශානක කණ්ඩායමට කැඳවමින් පෙර තරගයට ක්‍රීඩා කළ ප්‍රභාත් ජයසූරිය විවේක ගන්වා තිබුණා.

සංචාරක කණ්ඩායමේ නායක ෆෆ් ඩු ප්ලෙසිස් පසුගිය තරගයේ දී වූ අනතුරක් හේතුවෙන් තරගාවලියේ සෙසු තරග අහිමි කර ගැනීම නිසා ඊයේ තරගය මෙහෙයවීමේ වගකීම 25 හැවිරිදි කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් හට පැවරුණා. ඩි කොක් දකුණු අප්‍රිකාව බිහි කළ 14 වැනි එක්දින නායකයායි.

ඩු ප්ලෙසිස් සමඟින් අද තරගයේ දී කගීසෝ රබාඩා සහ තබ්‍රයිස් ශම්සි කණ්ඩායමෙන් ඉවත් කර තිබූ අතර ඒ වෙනුවට කේශව් මහරාජ්, හෙන්රිච් ක්ලසීන් සහ එක්දින වරම් හිමි කර දෙමින් ජුනියර් ඩලා කැඳවා තිබුණා.

ශ්‍රී ලංකා ඉනිම සුපුරුදු ලෙසින් නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 61ක් වුනා. ඉනිමේ ආරම්භක කඩුල්ල ලෙසින් දික්වැල්ල ලකුණු 34කට දැවී ගියා. දෙවැනි කඩුල්ල ලෙසින් උපුල් තරංග ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 92 රැඳී තිබිය දී දැවී ගියේ ලකුණු 36කට. කුසල් මෙන්ඩිස්ට අද රැස් කර ගත හැකි වූයේ ලකුණු 14ක් පමණයි.

අනතුරුව කුසල් පෙරේරා සමඟින් තම 200 වැනි එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගී වූ නායක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිමට ජවය එක් කරමින් ලකුණු පුවරුව ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළා. සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40ක දී ලකුණු 59ක සබඳතාවක් එක් කළ ඔවුන්ගේන් මැතිව්ස් ලකුණු 22කට දැවී ගියා.  

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තීන්දු වෙයි

ඉදිරි වසර දෙකක කාලය සඳහා බලපැවැත්වෙන ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හර්ෂ ද සිල්වා මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (8) තීරණය කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 11 වැනි අර්ධ ශතකය වාර්තා කළ කුසල් පෙරේරා තම එක්දින ලකුණු 2000 ද ඊයේ වාර්තා කළා. ඉනිමේ හය වැනි කඩුල්ල ලෙසින් ඔහු දැවී යන විට පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 51ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව තරගය සම්පූර්ණයෙන්ම සියතට ගත් තිසර පෙරේරා සහ දසුන් ශානක ශ්‍රී ලංකා ඉනිමේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 68ක දී ලකුණු 109ක සබඳතාවක් එක් කළා. ලකුණු පුවරුව 304ක් ලෙසින් කියැවෙද්දී දැවී ගිය දසුන් පන්දු 34කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තා. එම ඉනිම ඔහුගේ එක්දින තරග පිටියේ හොඳම ඉනිම ලෙසින් වාර්තා වුනා. දසුන් ශානක අද තම මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට වැය කළේ පන්දු 30ක් පමණක් වීමත් කැපී පෙණුනා.

තිසර පෙරේරා පන්දු 45කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 51ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් තම ඉනිමට ඇතුලත් කර ගනිමින්. ඔහු අද රැස් කළේ තම එක්දින පිටියේ 9 වැනි අර්ධ ශතකයයි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 12ක් ලබා ගත් අතර ඉනිම අවසන් වන විට අනෙක් අන්තයෙන්  අකිල දනංජය නොදැවී ලකුණක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී ලුන්ගි නිගිඩි සහ ජේ. පී. ඩුමින් කඩුලු දෙක බැගින් බෙදී ගියා.   

දෙරට අතර පැවැත්වෙන පස්වැනි සහ අවසාන එක්දින තරගය මේ මස 12 වැනි දින කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රි තරගයක් සේ ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව; කඩුලු 7ක් දැවී 306 (39.0) නිරෝෂන් දික්වැල්ල 34, උපුල් තරංග 36, කුසල් පෙරේරා 51, ඇන්ජලෝ මැතිව්ස් 22, තිසර පෙරේරා නොදැවී 51, දසුන් ශානක 65, ලුන්ගි නිගිඩි 2/65, ජේ. පී. ඩුමිනි 2/35

දකුණු අප්‍රිකාව; කඩුලු 9ක් දැවී 187 (21.0) ක්වින්ටන් ඩි කොක් 23, හෂීම් අම්ලා 40, ජේ. පී. ඩුමිනි 38, ඩේවිඩ් මිලර් 21, සුරංග ලක්මාල් 3/46, තිසර පෙරේරා 2/32

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ උණුසුම් තොරතුරු වඩාත් සවිස්තරව දැනගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<