දෙවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා පිළෙන් දැවැන්ත අභියෝගයක්

940
Sri Lanka batsman Upul Tharanga is in action as Peter Moor looks on during the second day's play in the first Test match between Sri Lanka and hosts Zimbabwe at the Harare Sports Club, on October 30, 2016. / AFP PHOTO / Jekesai Njikizana
ශ්‍රී ලංකා පිතිකරු උපුල් තරංග ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී තරග කරමින් ©AFP

ශ්‍රී ලංකා පිළේ සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරමින් හරාරේහිදී ආරම්භ වූ ප්‍රථම ටෙස්ට් තරගයේ දෙවන දිනය වූ අද (30) දිනය අවසන් වන විට තරගයේ වැඩි වාසිය තවදුරටත් ආරක්ෂා කරගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පසුගිය ලිපි: කුසල් සහ කෞෂාල් ශ්‍රී ලංකාව ජය මාවතට රැගෙන යයි

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව රැස් කරගත් ලකුණු 537ට පිලිතුරු වශයෙන් මේ වන විට සිම්බාබ්වේ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 88කි.

අද උදෑසන තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා පිළ කඩුලු 4කට ලකුණු 317ක් ලබා සිටි අතර දිනයේ ප්‍රථම කඩුල්ල ලෙසින් ධනංජය සිල්වා ලකුණු 25ක් ලබා සිටියදී දවාගන්නට සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර් සමත් විය. සිම්බාබ්වේ පන්දු යැවීමේ බළ ඇණියේ වැඩි බර ඉසිලූ ඔහු, තරගය පුරා ලකුණු 142කට කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් විය.

ඉන් අනතුරුව පිටියට පිවිසි අසේල ගුණරත්න සිය මංගල ටෙස්ට් ඉනිමේදීම, අනෙක් අන්තයේ පිතිකරණයේ යෙදුනු උපුල් තරංගට මනා සහයෝගයක් ලබා දෙමින් ලකුණු 99ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් ඉනිමේදීම අර්ධ ශතකයක් වාර්තා කල 12 වැනි පිතිකරුවා බවට පත් වෙමින් ඔහු අද වාර්තා කල ලකුණු සංඛ්‍යාව 54ක්. ඊට හතරේ පහර 8ක් ඇතුළත් විය.

ඔහුගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි පිතිකරුවන්ට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමට නොහැකි වූ අතර දිල්රුවන් පෙරේරා ලකුණු 23කින් දායකත්වය දක්වන ලදී. කලකට පසු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සමග එක්වුනු උපුල් තරංග අද දිනයේදී සිය දෙවන ටෙස්ට් ශතකය ලෙසින් නොදැවී ලකුණු 110ක් රැස් කිරීමට සමත් විය. ඊට දර්ශනීය හතරේ පහර 10ක් ඇතුලත් විය. තේ විවේකයෙන් මද වේලාවක් ගත වන විට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 537කට නිමාවූ අතර මෙවැනි විශාල ලකුණු සංඛ්‍යාවක් කරා ගමන් කිරීමට සිම්බාබ්වේ දුර්වල පන්දු රැකීම සහ දුර්වල විනිසුරු තීරණ කිහිපයක් ද බලපාන ලදී.

අද තෙවැනි සැසියේ දී පන්දුවට පහර දීමට පිටියට පිවිසි සිම්බාබ්වේ පිතිකරුවන් යම් තරමකට සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට සමත් විය. ආරම්භක පන්දු යවන්නන් ලෙස සුරංග ලක්මාල් මනා සංයමයකින් යුතුව පන්දු යැවූවද, සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වන ලහිරු කුමාරට පන්දුවේ එල්ලය නිසි පරිදි තබා ගැනීමට හැකි වූයේ නැත. එයින් උපරිම ඵල නෙලාගත් සිම්බාබ්වේ පිතිකරුවෝ පැයට කිලෝමීටර් 140කට ආසන්න වේගයකින් පැමිණෙන පන්දුව පහසුවෙන් හතරේ සීමාව කරා යැවීමට උත්සුක විය. ලහිරු කුමාරට එරෙහිව සිම්බාබ්වේ පිතිකරුවන් වේගයෙන් ලකුණු රැස් කිරීම නිසා ඉක්මනින්ම පන්දුව අතට ගත් නායක රංගන හේරත් තමා විසින් යවනු ලැබූ ප්‍රථම පන්දු වාරයේදීම බ්‍රයන් චාරිව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට සමත් විය. ඒ වන විට ඔහු ලබා සිටියේ ලකුණු 5ක් පමණි.

ඉන් අනතුරුව පිටියේ එක්වුනු හැමිල්ටන් මැසකඩ්සා සහ ටීනෝ මවෝයෝ දිනය නිමාවන තෙක්ම නොදැවී කඩුල්ලේ රැඳී සිටින්නට සමත් වූ අතර ඔවුන් මේ වන විට ලකුණු 67ක සම්බන්ධතාවයක් පවත්වාගෙන ඇත. මැසකඩ්සා ලකුණු 2ක් පමණක් ලබා සිටියදී සුරංග ලක්මාල් විසින් යවනු ලැබූ පන්දුවකට ස්ලිප් කලාපය වෙතට ලැබුනු පහසු උඩපන්දුව දිමුත් කරුණාරත්න අතින් ගිලිහී යාම මෙම ලකුණු සම්බන්ධතාවය ඉහළ නැංවීමට මනා පිටුවහලක් විය. දෙවැනි දිනයේ නිමාව සනිටුහන් වනවිට ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 88ක් ලබාගෙන ශ්‍රී ලංකා ප්‍රථම ඉනිමට වඩා ලකුණු 449ක් පසුපසින් සිටියි.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 537 (පන්දුවාර 155): උපුල් තරංග 110*, කුසල් පෙරේරා 110, දිමුත් කරුණාරත්න 56, කෞෂාල් සිල්වා 56, අසේල ගුණරත්න 54, ග්‍රැහැම් ක්‍රීමර් 4/142, ක්‍රිස්ටෝපර් ම්පොෆු 2/96.

සිම්බාබ්වේ (ප්‍රථම ඉනිම) – එක් කඩුල්ලක් දැවී ලකුණු 88 (පන්දුවාර 23): ටීනෝ මවෝයෝ 41*, හැමිල්ටන් මැසකඩ්සා 33*, බ්‍රයන් චාරි 5, රංගන හේරත් 1/29.

SL battingZIM bowlingZIM innings

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට