තරග 100කටත් වඩා අත්දැකීම් ඇති ක්‍රීඩකයින් රැසක් පිරිවරාගත් ශ්‍රී ලංකා පිළ අසරණ කරමින් තෙවැනි එක්දින තරගයෙන් සහ එක්දින තරගාවලියෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඊයේ (18) පාකිස්තානු කණ්ඩායමට අවස්ථාව උදා විය.

එහි දී සුපිරි දක්ෂතා අතරට පිවිසියේ තවමත් 24 වැනි වියටවත් පා තබා නැති යොවුන් ක්‍රීඩකයින් දෙපළක් වන ඉමාම් උල්-හක් සහ හසන් අලියි. අබුඩාබි නුවර දී පැවති මෙම තරගය, එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ දී ජයග්‍රහණ වාර්තා කිරීමට නම් අත්දැකීම්වලට වඩා වැදගත් වන්නේ හොඳින් දක්ෂතා අතර සිටීම බව තහවුරු කිරීමට කදිම නිදසුනක් සැපයීය.

ලාහෝර් 20-20 තරගයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය ස්ථීර කරයි

ලබන 29 වැනිදා පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙන…

ඊයේ කාසියේ වාසිය දිනාගත් උපුල් තරංග තීරණය කළේ ප්‍රථමයෙන්ම පිතිකරණයේ යෙදීමටයි. ඒ අනුව එක්දින තරගාවලිය තුල මුලින් පන්දුවට පහර දීමට ප්‍රථම වරට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව හිමි විය. ඊයේ තරගය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා පිළට චාමර කපුගෙදර සහ දුෂ්මන්ත චමීර එක්කර තිබුණේ කුසල් මෙන්ඩිස් සහ සුරංග ලක්මාල් වෙනුවටයි. පාකිස්තානු කණ්ඩායම ද පෙර තරග දෙකේ දී ම අසාර්ථක වූ අහමඩ් ශෙෂාඩ් සහ ඉමාඩ් වසීම් වෙනුවට ෆහීම් අශ්රාෆ් සහ ඉමාම් උල්-හක් කැඳවා තිබුණි. වමතින් පිත්ත හසුරුවන 21 හැවිරිදි ඉමාම් උල්-හක් ඊයේ ක්‍රීඩා කළේ තම මංගල එක්දින තරගයටයි.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල පළමු කඩුල්ල වෙනුවෙන් අර්ධ ශතක සබඳතාවක් ගොඩ නැගුවේ ප්‍රේක්ෂකයින්ට විශාල ලකුණු පුවරුවක් පිළිබඳව අපේක්ෂා ඇති කරමිනි. ඒ වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් රැස් කරමින් ආධාර විය. කෙසේ වෙතත් ඔහුට ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම ලකුණු 1000 වාර්තාව තමන් සතුකර ගැනීමේ අවස්ථාව ඊයේ දිනයේ දී අහිමි වී ගියේය. ඒ ඔහු ඉනිම 27ක් ක්‍රීඩා කර මේ වනතුරුත් රැස් කරගෙන සිටින්නේ ලකුණු 931ක් පමණක් වන බැවිනි.

දික්වැල්ල දැවී යාමෙන් පසු ශ්‍රී ලංකා පිළේ ලකුණු වේගය තවදුරටත් පහළ වැටුණේ පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් දියත් කළ ඉතාමත් මන්දගාමී පිතිකරණ රටාව හේතුවෙනි. ඔහු පන්දු 49කට මුහුණ දී රැස්කර ගත්තේ ලකුණු 19ක් පමණි. ඒ හැරුණු කොට ශ්‍රී ලංකා පිළේ DRS අවස්ථාව ද චන්දිමාල් අනවශ්‍ය ලෙසින් අහිමි කර ගන්නා ලදි. පන්දු යවන්නන්ට උචිත තණතිල්ලක දී යම් ආරක්ෂාකාරී පිතිකරණ රටාවක් බලාපොරොත්තු විය හැකි වුවද මේ අන්දමේ මන්දගාමී පිතිකරණයක යෙදීමෙන් සිදුවන්නේ කණ්ඩායම තව තවත් පීඩනයට ගොදුරු වීම බව වැඩි වේලාවක් ගත වන්නට පෙරම පැහැදිලි විය.

රාජකීය බලකොටුවට උතුරෙන් එල්ලවූ අනපේක්ෂිත වෙඩිමුරය

කේ. කපිල්රාජ්ගේ සහ එම්. අභිනාෂ්ගේ සුපිරි පන්දු යැවීමේ දක්ෂතා හමුවේ..

ඒ චන්දිමාල් දැවී යනවිට ලකුණු 102ට කඩුලු 2ක් ලෙස දැක්වුණු ශ්‍රී ලංකා ඉනිම සුළු මොහොතකින් ලකුණු 163ට කඩුලු 8ක් බවට පරිවර්තනය වීම හේතුවෙනි. ලකුණු අතර නොසිටින බව දැන දැනත් කණ්ඩායමට එක්කළ ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් රැසක් මෙම ගරා වැටීමේ වගකිව යුත්තන් බවට පත්විය. කුසල් මෙන්ඩිස් වෙනුවට ඊයේ කණ්ඩායම සමඟ එකතු වුනු චාමර කපුගෙදර ද අද හතරේ පහර දෙකක් එල්ල කරමින් ලකුණු අතරට පිවිසීමට උත්සාහ දැරූව ද අවසානයේ පන්දු රකින්නා අතටම පහසු උඩපන්දුවක් ලබා දී දැවී ගියේය. ඒ ලකුණු 18ක් පමණක් ලබා සිටිය දීයි.

ලහිරු තිරිමාන්න ලකුණු 28ක් රැස්කර ගත්ත ද DRS ක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට තම කඩුල්ල අහිමි විය. ඒ මොහොමඩ් හෆීස් යැවූ පන්දුව තිරිමාන්නගේ පිත්ත යන්තමින් සිපගෙන පසුව පාදයේ ගැටී කඩුලු රකින්නා අතට ඇදී යන අයුරු පුනරූපන මඟින් පැහැදිලි වූ බැවිනි. තමන් එක්දින කණ්ඩායමේ සිටින්නේ ඇයි දැයි තමන්වත් නොදන්නා මිලින්ද සිරිවර්ධන ඊයේ ලකුණු 2කට දැවී ගියේ ඉතාමත් අපරීක්ෂාකාරී පහරක් එල්ල කරමිනි. ඔහු තරගාවලිය තුල දී පිට පිටම අසාර්ථක වූයේ තෙවැනි වතාවටයි.

නිරන්තරයෙන්ම කඩුලු බිඳ වැටෙද්දී ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් අර්ධ ශතකයක් හෝ රැස්කර ගැනීමට සමත් වූයේ නායක උපුල් තරංග පමණි. ඔහු හතරේ පහර 5ක් සමඟින් ලකුණු 61ක් රැස් කළේ තම 35 වැනි එක්දින අර්ධ ශතකය ලෙසයි. ලකුණු 163ට කඩුලු 8ක් බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම ලකුණු 208ක් දක්වා රැගෙන ගියේ තිසර පෙරේරා දියත් කළ සටන්කාමී පිතිකරණයයි. ඔහු පන්දු 37කට මුහුණ දී ලකුණු 38ක් රැස්කර ගත්තේ හතරේ පහර 5ක් සමඟිනි.

ඔහුට පිතිකරණයේ යෙදීමට කාලය ලබා දීමට දුෂ්මන්ත චමීර ක්‍රීඩා කළ ලකුණු 10ක කෙටි ඉනිම ද වැදගත් විය. පන්දු යැවීමේ දී නැවතත් ශ්‍රී ලංකාවට හිසරදයක් වූ හසන් අලි ලකුණු 34කට කඩුලු 5ක් දවා ගත්තේය. මේ වන විට 2017 වර්ෂය තුල වැඩිම කඩුලු බිඳ හෙලා ඇත්තේ ද ඔහු විසිනි. එසේම පාකිස්තානය වෙනුවෙන් වේගවත්ම එක්දින කඩුලු 50 වාර්තාව ද තමන් සතුකර ගැනීමට හසන් අලි ඊයේ දිනයේ දී සමත් විය. ඒ තරග 24කදී කඩුලු 51ක් බිඳ දමමිනි. මීට අමතරව නවක තුන් ඉරියව් ක්‍රීඩක ශදාබ් කාන් කඩුලු 2ක් දවා ගත්තේය.

පන්දු යවන්නන්ට සහයක් දක්වන අබුඩාබි තණතිල්ලේ මෙම අඩු ලකුණු සංඛ්‍යාව වෙනුවෙන් යම් සටනක් ලබා දීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුව ද ආරම්භක කඩුල්ලේ සබඳතාවයම එම සිහින බොඳ කර දැමීය. ඒ ෆකාර් සමාන් සහ නවක ක්‍රීඩක ඉමාම් උල්-හක් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක සාර්ථක සබඳතාවක් ගොඩ නැගූ බැවිනි. එහි දී ෆකාර් සමාන් ලකුණු 29ක් රැස්කර ගනිමින් දස්කම් දැක්වීය. තවමත් යොවුන් වියේ පසු වුවත් මෙම ක්‍රීඩකයින් දෙදෙනා එක්දින ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාමත් යෝග්‍ය පිතිකරණයක යෙදුණේ පළපුරුදු ශ්‍රී ලංකා පිතිකරුවන්ට පවා ආදර්ශයක් ගෙන දෙමිනි.

එක්දින තරගාවලි ආරම්භයේ සිටම පිට පිටම ශතක දෙකක් රැස් කර ගත් බාබර් අසාම් ඊයේ ලකුණු 30ක් ලබා සිටිය දී දැවී ගියේය. ඒ ලහිරු ගමගේ යැවූ වේග පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීම හේතුවෙනි. නමුත් මෙම කඩුල්ල ඔවුන්ට එතරම් තර්ජනයක් ගෙන නොදුන්නේ “වගකීම් සහගත මැදපෙළක්” පාකිස්තානය සතුවන නිසාවෙනි. තම මංගල ජාත්‍යන්තර එක්දින තරගයම රන් අකුරින් සනිටුහන් කළ ඉමාම් උල්-හක් ඊයේ දිනයේ දී ම තම ප්‍රථම එක්දින ශතකය වාර්තා කර ගත්තේ පාකිස්තානු ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමිනි.

පන්දු 125කට මුහුණ දී හරියටම ලකුණු 100ක් ලබාගත් 21 හැවිරිදි මෙම යෞවනයා ශ්‍රී ලංකා පිතිකරුවන්ට මරු කතරක් වූ තණතිල්ලේ ඉතාමත් නිදහසේ ලකුණු රැස් කළේය. ඔහුගේ මංගල එක්දින ඉනිම දැකුම්කළු හතරේ පහර 5කින් සහ දැවැන්ත හයේ පහර 2කින් ද වර්ණවත් විය. තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබා දී ඔහු දැවී යන විට පාකිස්තානු කණ්ඩායම සිටියේ ජයග්‍රහණයට ඉතාමත් ආසන්නවයි. එය තහවුරු කර ගැනීමට මොහොමඩ් හෆීස් නොදැවී රැස් කරගත් ලකුණු 34 උපකාරී විය.

ඒ අනුව පාකිස්තානය මෙම තරගය කඩුලු 7කින් පහසුවෙන් ජය ගත්තේ තවත් පන්දුවාර 7කටත් වඩා ඉතිරිව තිබිය දීයි. එම විශිෂ්ට ජයග්‍රහණය පසුපස 23 හැවිරිදි හසන් අලි සහ 21 හැවිරිදි ඉමාම් උල්-හක් සිටීම හණමිටි තීන්දු තීරණ ගන්නා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට සිතන්නට දෙයක් ඉතිරි කළේය. ඒ වත්මන් එක්දින ක්‍රිකට් ක්‍රීඩාව ජය ගැනීමට වැදගත් වන්නේ “නම ප්‍රසිද්ධ ක්‍රීඩකයින්” නොව “ජවයෙන් පිරුණු දක්ෂයින්” වන බැවිනි. මේ දක්වා එය තේරුම් නොගත් නිසා තරගාවලි පරාජය මෙන්ම අඛණ්ඩව ලැබූ 10 වැනි එක්දින පරාජයත් ශ්‍රී ලංකාවට උරුම විය.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 208 (පන්දුවාර 48.2): උපුල් තරංග 61, තිසර පෙරේරා 38, ලහිරු තිරිමාන්න 28, දිනේෂ් චන්දිමාල් 19, නිරෝෂන් දික්වැල්ල 18, චාමර කපුගෙදර 18, හසන් අලි 5/34, ශදාබ් කාන් 2/37.

පාකිස්තානය – කඩුලු 3ක් දැවී ලකුණු 209 (පන්දුවාර 42.3): ඉමාම් උල්-හක් 100, මොහොමඩ් හෆීස් 34*, බාබර් අසාම් 30, ෆකාර් සමාන් 29, තිසර පෙරේරා 1/22, ලහිරු ගමගේ 1/35, ජෙෆ්රි වැන්ඩර්සේ 1/43.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<