ඉතිහාසයේ ප්‍රථම වරට මෙරට දී තරග 5කින් සමන්විත එක්දින තරගාවලියක් සම්පූර්ණයෙන්ම ජය ගැනීමට අද (03) ඉන්දීය කණ්ඩායමට අවස්ථාව උදා විය. එම බලාපොරොත්තුව ඔවුන් මුදුන්පත් කර ගත්තේ අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති පස්වැනි සහ අවසන් එක්දින තරගයෙන් ද කඩුලු 6ක පහසු ජයක් වාර්තා කර ගනිමිනි.

ශ්‍රී ලංකාවට පහසුවෙන්ම ලෝක කුසලානයට එක්වීමේ අවස්ථාව මග හැරෙයි!

1996 වසරේ ජගත් එක්දින ලෝක ශූරතාවය ද දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට මීළඟ ලෝක කුසලානය සඳහා නිතරගයෙන්ම සුදුසුකම්..

මීට දින 3කට පෙර මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවති සිව්වැනි එක්දින තරගය නැරඹීමට ප්‍රේක්ෂකයින් ඉතාමත් සුළු ප්‍රමාණයක් පමණක් පැමිණි අතර වෙනදාට අතුරු සිදුරු නැතිව පිරී යන ක්‍රීඩාංගණයේ පැවතියේ නිහඬ බවකි. දිගින් දිගටම ලබන ක්‍රිකට් තරග පරාජයන් ප්‍රේක්ෂකයින්ව ක්‍රීඩාවෙන් කෙතරම් ඈත්කර ඇත්දැයි යන්න එය මනාව කියා පෑවේය. හීන වී ගිය ප්‍රේක්ෂක ඔල්වරසන් සමඟින් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එදින තම මව්බිමේ දී ලැබූ දරුණුතම එක්දින තරග පරාජය ද භුක්ති විඳීමට සිදු විය. ඒ ලකුණු 168කින් තරගය පරාජය වෙමිනි.

වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය නිසා අද තරගයේ කාසියේ වාසිය උරගා බැලුනේ පැය භාගයක පමණ ප්‍රමාදයකින් අනතුරුවයි. එහි ජයග්‍රහණය තරග දෙකක තහනමකින් අනතුරුව කණ්ඩායම සමඟ එක්වුණු ශ්‍රී ලංකා නිත්‍ය නායක උපුල් තරංගට හිමි විය. ඒ අනුව ඔහුගේ තීරණය බවට පත්වූයේ ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමයි. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය සඳහා නැවතත් නවක තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග එක්කොට තිබූ අතර ඉන්දීය කණ්ඩායම ආරම්භක පිතිකරු ශිකර් ධවාන් වෙනුවට අජින්ක්‍යා රහානේත්, හාර්දික් පාණ්ඩ්‍යා වෙනුවට යුශ්වේන්ද්‍ර චහාල් කණ්ඩායමට එක් කරමින් තරගයට පිවිසී තිබුණි.

ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් අද ඉනිම ඇරඹූ නිරෝෂන් දික්වැල්ලට සහ උපුල් තරංගට අද පළමු කඩුල්ල වෙනුවෙන් සාර්ථක සබඳතාවයක් ගොඩ නඟන්නට හැකි වූයේ නැත. ඒ නිරෝෂන් දික්වැල්ල ලකුණු 2ක් පමණක් රැස්කර සිටිය දී බුවනේශ්වර් කුමාර් යැවූ වේගය අඩාල කළ පන්දුවකට ගොදුරු වීමත් සමඟයි. ඩිල්ශාන් මුණවීර ද පැමිණි විගස හතරේ පහරක් එල්ල කළ ද ඊළඟ පන්දුවටත් යාර 30 සීමාවට උඩින් පහරක් එල්ල කිරීමට ගොස් නිකරුණේ කඩුල්ල පූජා කළේය. මෙය පන්දුවාර 50ක එක්දින තරගයක් මිස විස්සයි විස්ස තරගයක් නොවන බව සිතට ගත්තා නම් ඔහුට අද මීට වඩා දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කිරීමට අවකාශය තිබුණි.

උපුල් තරංග අද වෙනදාට වඩා වේගවත් අයුරින් පිතිකරණයේ යෙදුණු අතර පන්දු 34ක් තුල දී ලකුණු 48ක් රැස්කර ගන්නට සමත් විය. ඒ හතරේ පහර 9ක් සමඟිනි. කෙසේ වෙතත් තම 35 වැනි අර්ධ ශතකය ආසන්නයේ දී බුම්රාහ්ගේ පන්දුවකට ගොදුරු වී පිටිය හැර යන්නට ඔහුට සිදු විය. ඉන් අනතුරුව මැදපෙළ පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් සහ ලහිරු තිරිමාන්න අතරේ ලකුණු 122ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නැගුණු අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 185ක් දක්වා ද ඉහළ නැගුණි.

නැවතත් ජාත්‍යන්තර පිටියට පිවිසි ලහිරු තිරිමාන්න අද පන්දු 102කින් ලකුණු 67ක් ලබා ගත්තේ තම 19 වැනි එක්දින අර්ධ ශතකය වශයෙනි. ඔහුගේ දැකුම්කළු ඉනිමට හතරේ පහර 3ක් සහ මිඩ්-විකට් හරහා එල්ල වුනු දැවැන්ත හයේ පහරක් ද ඇතුළත් විය. ඔහුත් සමඟ එකතු වී පරිණත ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජෙලෝ මැතිව්ස් අද ලකුණු 55ක් වාර්තා කළේය. පන්දු 98ක් වැයවුණු ඔහුගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 4ක් පමණි. කෙසේ වෙතත් මොවුන් දෙදෙනාම අවසන් පන්දුවාර 10 ඇරඹීමත් සමඟම දැවී යාම නිසා ශ්‍රී ලංකා පිළේ දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමේ සිහිනය බොඳවිය.

මිලින්ද සිරිවර්ධන අද පන්දු 13ක දී ලකුණු 18ක් රැස්කර ගත්ත ද කණ්ඩායම ඔහුගෙන් ඊට වඩා යමක් බලාපොරොත්තු වූයේ පන්දු යවන්නන්ට පෙර සිටින අවසන් ප්‍රහාරාත්මක පිතිකරුවා ඔහු වන බැවිනි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මැදපෙළ සහ අවසන් පෙළ හිටි හැටියේ කඩා වැටීම නිසා අවසානයේ කණ්ඩායමට මුළු ලකුණු 238කට සීමා වන්නට සිදු විය. ඒ ඉනිම නිමාවීමට තවත් පන්දු 2ක් ඉතිරිව තිබියදීයි. ශ්‍රී ලංකා පිළේ අවසන් කඩුලු 7ම ලකුණු 53ක් තුල දී බිඳ වැටීම පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණයට උදාහරණ ගෙන හැර දැක්වීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියානු කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 2ක් ලකුණු 29ක් තුල දී බිඳ වැටුනත් අනෙකුත් පිතිකරුවන් තත්ත්වය මැනවින් පාලනය කර ගත් නිසා ඔවුන්ට අවසන් ඉලක්කය ජය ගැනීම අසීරු නොවීය. නමුත් අද තරගයට පමණක් එක්කළ අජින්ක්‍යා රහානේ නම් මාලිංගගේ පන්දුවක් හමුවේ ලකුණු 5ක් ලබා සිටිය දී දැවී ගියේ තම එක්දින ක්‍රිකට් අනාගතය පවා අභියෝගයට ලක්කර ගනිමිනි. ලකුණු 16ක් ලබා සිටි රෝහිත් ශර්මා ද ෆයින්-ලෙග් ක්‍රීඩකයාගේ හිසට ඉහළින් එල්ල කිරීමට උත්සාහ දැරූ පහරක් මාලින්ද පුෂ්පකුමාර ගුවනේ පියඹා ගොස් රැක ගැනීම නිසා දැවී ගියේය.

මේ අවස්ථාවේ වගකීම කරට ගෙන පිටියට පිවිසුණු විරාත් කෝලි පිට පිටම තම දෙවැනි ශතකයත් වාර්තා කරන්නට අද සමත් විය. පන්දු 116ක් තුල දී රැස් කර ගත් ඔහුගේ ලකුණු 110ට හතරේ පහර 9ක් අන්තර්ගත විය. ඔහුගේ එක්දින ශතක නාමාවලියට අද එක්වූයේ 30 වැනි ශතකයයි. කෝලි සමඟ අගනා ලකුණු සබඳතා ගොඩ නැගූ මනිෂ් පාණ්ඩේ ලකුණු 36ක් ද, කෙඩාර් ජාදෙව් ලකුණු 63ක් ද රැස්කර ගත්හ. මේ අතරින් ඉන්දීය ඉනිම ජයග්‍රහණය අසලටම කැටුව ආ ජාදෙව්ගේ ඉනිමට හතරේ පහර 7ක් ද ඇතුළත් විය.

පන්දු යැවීමේ දී ලසිත් මාලිංග, විශ්ව ප්‍රනාන්දු, මාලින්ද පුෂ්පකුමාර සහ වනිඳු හසරංග අතරේ එක් කඩුල්ල බැගින් බෙදී යද්දී පසුගිය තරගවල දී විශිෂ්ට දක්ෂතා දැක්වූ අකිල ධනංජයට එකදු කඩුල්ලක් හෝ හිමි නොවීම ද සුවිශේෂී සිදුවීමක් බවට පත්විය. තරගයේ වීරයා සම්මානය මෙම සංචාරය පුරාවටම කඩුලු ඉඩෝරයකට මුහුණ දී සිටි නමුත්, අද තරගයේ දී ලකුණු 42කට කඩුලු 5ක් දවාගත් බුවනේශ්වර් කුමාර්ට හිමි විය. තරගාවලියේ වීරයා සම්මානය හිමිවූයේ අත්‍යවශ්‍ය අවස්ථාවල දී කඩුලු දඩයම් කරමින් ශ්‍රී ලංකාවට හිසරදයක් බවට පත්වූ ජස්ප්‍රිට් බුම්රාහ්ටයි.

ඒ අනුව ජයග්‍රහණයක හෝඩුවාවකින් හෝ තොරව ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය ද නිමාවට පත්විය. ශ්‍රී ලංකාව මේ ආකාරයට තම මව්බිමේ දී ම එක්දින තරගාවලියක් සම්පූර්ණයෙන්ම පරාජය වූයේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. මේ වන විට සංචාරයේ සම්පූර්ණ තරග 8ක දී ම ශ්‍රී ලංකා පිළ ජයග්‍රාහී රිද්මය සොයා ගැනීමට අපොහොසත් වී තිබේ. සංචාරය නිමා කරමින් පැවැත්වෙන පළමු සහ එකම ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය ලබන 6 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයම කේන්ද්‍ර කොට ගනිමින් ආරම්භ වීමට නියමිතව ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට 

Scorecard